අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය
“ අපෙන් පස්සෙ මේ කර්මාන්තෙ අඟුල්මඩුවෙන් නැත්තටම නැතිවේවි.” (‘රාවය‘ පුවත්පත - 2017.06.25)
“ඉස්සර මේ මුලු ප්‍රදේශයටම කිව්වෙ අඟුල්මඩුව කියල. මේ ගම ඉස්සර අයිති වුණේ මාතර දිසාවට. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කෙට. දැන්නම් අගුල්මඩුව කොටස්වලට බෙදිලා. අපි පොඩි කාලෙ මෙහෙට කිව්වෙ පහළ බෙලිගල්ල කියල. පහළ බෙලිගල්ලෙ කොස්ගහගොඩ ගම ඇරුණාම ඉතුරු අපි හැමෝම පාරම්පරික රන්, රිදී, පිත්තල, ලාක්ෂා, යකඩ ශිල්පී පවුල්වල අය. හැමෝම ඒ හැමදේම කළා. දැන් පහළ බෙලිගල්ල කොටස්වලට බෙදලා. අගුල්මඩුව, බෙලිගල්ල උතුර, බෙලිගල්ල දකුණ, වාඩිය කියලා. මම ඉන්නෙ බෙලිගල්ල උතුරෙ. මේ ඔක්කොටම තමා ඉස්සර අඟුල්මඩුව කිව්වෙ. ලංකාවෙ ඉස්සෙල්ලම ලාක්ෂා කර්මාන්තෙ පටන් අරන් තියෙන්නෙ අගුල්මඩුවෙන්.”
ඇය, වඩුමේත්‍රීගේ දනෝරිස්හාමිගේත් ලෝකුරුගේ කිරිහාමිගේත් දියණිය වූ වඩුමේත්‍රීගේ ලීලාවතීගේ දියණිය වන දේවසුරේන්ද්‍ර රතුගේ චිත්‍රා ය. ඇගේ පියා පාරම්පරික ලෝහ භාණ්ඩ ශිල්පියකු වන දේවසුරේන්ද්‍ර රතුගේ නිකුලස්හාමි ය. පනස් හය හැවිරිදි දේවසුරේන්ද්‍ර රතුගේ චිත්‍රා පාරම්පරික ලාක්ෂා ශිල්පිනියක වූයේ ඇයගේ මව් පාර්ශවය පාරම්පරික ලාක්ෂා ශිල්පීන් වූ බැවිනි. චිත්‍රා මේ වන විට අඟුල්මඩුවේ ලාක්ෂා ශිල්පයෙහි නියැලෙන එකම පාරම්පරික ලාක්ෂා ශිල්පියා යි. ඇය අගුල්මඩුවේ අවසන් ලාක්ෂා පුරුක වීමේ ඉඩකඩ බෙහෙවින් වැඩි ය.
“ලාක්ෂා කියන්නෙ කවදාවත් දිරන්නෙ නැති, පාට යන්නෙ නැති, මැකෙන්නෙ නැති ස්වාභාවික පින්තාරුවක්. ප්ලාස්ටික් වාගෙ. ශ්‍රීමහා බෝධියත් එක්ක ආපු ශිල්ප ශ්‍රේණි අතරෙ ලාක්ෂා ශිල්පී පවුල් ඉඳලා තියෙනව. ලංකාවෙ ලාක්ෂා ශිල්පීන් පැවතගෙන එන්නෙ ඒ අයගෙන්. ඊවඩු කියල තමයි පොත්වල තියෙනවයි කියන්නෙ. ඒත් දැන් එහෙම වචනයක් පාවිච්චි වෙන්නෙ නෑ. ඊවඩු ආචාරිගේ කියල වාසගම් නම් තියෙනව.” චිත්‍රා පවසයි.
ඊවඩු යන නාමය ලාක්ෂා ශිල්පීන්ට හිමිවූයේ ආසියානු වැඩවසම් නිෂ්පාදන ක්‍රමය තුළ ඔවුන් සාමූහිකව සංවිධානය කිරීමේ ආරම්භක වකවානු තුළ ඊතල නිෂ්පාදනය ප්‍රමුඛ කරගත්තවුන් බැවිනි. ලාංකේය කුල වැඩවසම් ක්‍රමයේ ස්තරගතවීම් පිළිබඳව ලියැවුණු පැරණිතම ග්‍රන්ථය ලෙස සැලකෙන ජනවංශයෙහි ඊ වඩුවන් හඳුන්වා ඇත්තේ උසුකාරොසු වඞ්ඩෝව - වඞ්ඩකාරස්ස භේදනං යනුවෙනි. ඒ අනුව ඊ වඩුවෝ යනු ඊ ගස් දුනු කරවන වඩුවෝ ය. පාලක පැළැන්තියේ ඊතල සහ මුර ආයුධ ඇතුළු ආරක්ෂක උපකරණ ද ඉහළ සමාජ පාන්තිකයින්ගේ දාරුමය පරිභෝජන භාණ්ඩ ද ඊවඩුවන් විසින් ලාක්ෂා මගින් පින්තාරු කර ඇත.
අගුල්මඩුව යන ග්‍රාම නාමය ගොඩනැගී ඇත්තේ අගුරුමඩුව යන වදනින් බව අඟුල්මඩුව වැසියන්ගේ අදහසයි. අඟුරු යනු පාරම්පරික ලෝහ නිර්මාණ ශිල්පීන් සහ ලාක්ෂා නිර්මාණ ශිල්පීන් විසින් පොදුවේ භාවිතා කරනු ලබන අමුද්‍රව්‍යයකි. අගුලෙන් ඇවිත් මඩුවට ගොඩබැස්ස නිසා අඟුල්මඩුව ලෙස හදුන්වන බවටද මතයක් ඇත. ප්‍රදේශයේ විවිධ අවශ්‍යතා සඳහා අඟුරු සැපයීම සිදුකළ ගම බැවින් අඟුරු මඩුව නම් වූ බව ද පසුව එය අඟුල්මඩුව වූ බව ද පැවසේ. නිෂ්පාදන ක්‍රියාවලිය පුරුෂයින් අත පැවතුනා වූ වැඩවසම් ආර්ථික ක්‍රමය විසින් ශේෂ කරගියා වූ ද ධනවාදී ආර්ථිකයට උචිත ලෙස වෙනස් වීමට උත්සාහ දරා මියැදෙමින් පවතින්නා වූ ද ලාක්ෂා කර්මාන්තය, අගුල්මඩුවේ දී ස්ත්‍රීන් අතට පත් නිෂ්පාදන කාර්යයක් බවට මීට පරම්පරා තුනකට පමණ ඉහත දී පත්ව තිබේ.
“පාරම්පරිකව අගුල්මඩුවෙ ගැහැනු පිරිමි දෙගොල්ලොම ලාක්ෂා වැඩ කළා. ඒත් ගැහැනු අය තමයි වැඩි. මාතලේ මාඋස්සාගොල්ලෙ ලාක්ෂා කරන්නෙ පිරිමි විතරයි. මීට පරම්පරා හතරකට කලින් අඟුල්මඩුවෙ හිටපු දොන් බස්තියන් දේවසුරේන්ද්‍ර ගම්මුලාදෑනිත් එක්ක මෙහෙන් ගිය පිරිසක් තමයි දළදා මාළිගාවේ පත්තිරිප්පුවෙ බීරළු ලාක්ෂා කළයි කියන්නෙත්. ඒත් දැන් මේ අගුල්මඩුවෙ පාරම්පරිකව ලාක්ෂා වැඩ කරන අය නැහැ. මම විතරයි ඉතුරු වුණේ. පාරම්පරිකව ලාක්ෂා වැඩ කරපු හැමෝම ඒක අතෑරිය. අපි පොඩි කාලෙ ගමේ හුගක් පවුල් ලාක්ෂා කළා. අසූගණන්වලදි වාගෙ තමයි මේ තරමට නැති උනේ. ඉස්සර ගෙවල් ගාවින් ලාක්ෂා වැඩ කරන්න පොල් අතු හෙවිල්ලපු මඩුවක් හදාගෙන තිබුණා. මාතලේ හපුවිදයි මාඋස්සාගොල්ලෙයි ටික ටික තවම ලාක්ෂා වැඩ කරනව. වෙන කොහෙවත් නෑ. නුවරත් දැන් කවුරුත් කරන්නෙ නෑ. මේකෙන්ම විතරක් ජීවත් වෙන්න දැන් කාටවත් බෑ.” දැනට අඟුල්මඩුවේ පවත්නා වූ තත්ත්වය මත ඩී ආර් චිත්‍රා අඟුල්මඩුවේ අවසන් පාරම්පරික ලාක්ෂා ශිල්පියා වීමට ඉඩඇතිවාක් මෙන් මහනුවර අවසන් පාරම්පරික ලාක්ෂා ශිල්පියා ලෙස දැනට හඳුනාගත හැක්කේ හුරීකඩුවේ අසූපස් හැවිරිදි ඇකිරියා කුඹුරේ ගෙදර දේවේන්ද්‍ර ශිල්පියා යි.
ලාක්ෂා සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන වචනය ලැකර් ය. ලැකර් යන වචනය සඳහා පාදක වී ඇත්තේ ලැක් යන වචනය යි. ලැක් යනු ලාක්ෂා සඳහා යොදා ගන්නා ස්‍රාවය පිටකරන ආසියානු රටවල දක්නට ලැබෙන කෘමියා ය. එම කෘමියා ශාක මත තම ස්‍රාවය තැන්පත් කිරීම කරනු ලබයි. පුරාණ ප්‍රංශ භාෂාවේ ලැක්‍රෙ යන වචනයෙන් ඉටි තැවරීම අදහස් කෙරේ. පෘතුගීසි, අරාබි, තෙලිඟු හෝ පර්සියානු භාෂාවල එන ලැක්‍රෙ යන්නට සමාන වචනයන් සියල්ලෙන්ම ද ලැකර් ආලේපනය යන්න අදහස් කෙරෙයි. මේ අනුව ලැක් කෘමියාට එම නම ලැබෙන්නේ ද ඉටි තැවරුම හැඳින්වීම පිණිස විවිධ භාෂා භාවිතයන් තුළ සමාන උච්චාරණයකින් යුක්ත වචන හරහා ය.
ලැකර් යන වචනය වෙනුවට සිංහල භාෂාව තුළ භාවිත වන ලාක්ෂා යන පද නිෂ්පත්තිය සිදුවන්නේ වෙනත් පදනමක් මත පිහිටා ය. සංස්කෘත වචනයක් වන ලාක්‍ෂා යන්නේ තේරුම සියක්දහස හෙවත් ලක්‍ෂය යි. ලාක්ෂා කෘමීන් හෙවත් ලැක් කෘමීන්ගේ විශාල ගහණය නිසා එම කෘමියන් හැඳින්වීමට ලැක් හෝ ලාක්ෂා නාමය භාවිත කරන්නට ඇති බවට ද මතයක් ඇත. මේ අනුව ලැකර් යන ඉංග්‍රීසි වචනය නිර්මාණය වන්නේ ද ලාක්ෂා යන වචනයේ ශබ්දය සහ අර්ථය අනුව බවට අනුමානයක් පවතී.
“ලාක්ෂා ගාන්නෙ ලී බඩුවල. හැම ලී බඩුවම ලාක්ෂා කරන්නෙ නෑ. ලාක්ෂාවලින් වැඩ දාන්නෙ රේන්ද බීරලු, ආබරණ මංජුසා, හෙප්පු, පුස්කොළපොත් කම්බ, දැකුම් බඳුන්, ගොඩනැගිලිවල බීරලු, පුටු කකුල්, අවාන් මිටවල්, වටාපත්, බස්තම්, මල්පෝච්චි, අලුබඳුන්, මුර ආයුධ, මේස කකුල්, ජනෙල් පොලු, ඉලත්තට්ටු, සේරක්කාල, කනප්පු, බෝල කූඩු වගේ දේවල්. ඒ වාගෙම හැම ලීයම ලාක්ෂා කරන්නත් බෑ. කැකල, සපු, සූරිය, ගම්මාලු, වෙලන් වාගෙ ලී වර්ග තමයි ලාක්ෂා කරන්න ඉස්සර අරන් තියෙන්නෙ. ඉස්සර ලාක්‍ෂා කර්මාන්තෙට හුගක්ම අරන් තියෙන්නෙ කැකල ලීය. දැන් අපි වැඩිපුරම ලාක්ෂා වැඩදාන්න ගන්නේ ඇට්ටෝනියායි ගංසූරියයි මැහෝගනීයි. දැව භාණ්ඩවල ලාක්ෂා ආලේප කරන ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනව. අඟුල්මඩුවෙ කරන්නෙ පට්ටල් වැඩ. පට්ටල් වැඩ කියන්නෙ පට්ටලෙන් ලාක්ෂා ගාන එකට. ඉස්සර නම් අත් පට්ටලෙන් ලාක්ෂා ගෑවෙ. දැන් ලියවන පට්ටලේ පාවිච්චි කරන්නෙ. කැරකෙන පට්ටලේට දැව භාණ්ඩෙ සම්බන්ධ කරලා පාට ලාකඩ කෑල්ල අල්ලන් ඉන්නව. එතකොට කැරකෙන භාණ්ඩෙ පාට පටි ගෑවෙනව. පට්ටලෙන් තට්ටු කීපයක් පාට පාටින් එක උඩ එක ගාල කටුවලින් සූරලා යට පාට මතුවෙන්න රටා දානවා. නැත්නම් පටි රටා විතරක් දාන්නත් පුලුවන්. දිස්නෙ ගන්න වැටකෙයිය කොළෙන් මදිනවා. නියපොතු වැඩවලදි ලාක්ෂා රත් කර කර කෙඳි ඇදලා අතින් වැඩ දාන්නෙ. ලාක්ෂාවලින් පලාපෙති, අරිම්බුව, පනාව, දිය රැල්ල, පිකඩය, පතුරු, තොරණ කෙන්ද, හවඩිය, තනිබින්දුව, මුතුදැල, ලණුව වාගෙ පරණ මෝස්තර දානවා.”
ලාක්ෂා පින්තාරු ශිල්පය මේවර වැඩ, නියපොතු වැඩ සහ පට්ටල් වැඩ ලෙස තෙආකාර ය. මේවර වැඩ යනු සායම් යොදා තලා සකස් කර ගත් ලාකඩ කැබලි ලාකඩ කූරේ අලවා රත්කරමින් ලාකඩ කූර අතින් ගෙන භාණ්ඩයෙහි ලාක්ෂා ගෑමයි. නියපොතු වැඩ යනු නියපොත්ත සහ ඇඟිලි භාවිතයෙන් ලාකඩ කෙඳිවලින් දාරුමය භාණ්ඩයේ සැරසිලි යෙදීම යි. සායම් මිශ්‍ර කොට තලා පදම් කර ගත් ලාකඩ කැබැල්ල ලාකඩ කූරේ දවටා ගිනි කබලෙන් රත් කරමින්, එක් අතකින් ලාකඩ කූර ගෙන අනික් අතේ මහපටැඟිල්ලේ සහ දබරැඟිල්ලේ තුඩුවලින් රත් කළ ලාකඩ කැබෙල්ලේ කොනක් අල්ලා ලාකඩ කූර ඔසවා අදියි. එවිට නූල් පටක් වැනි ලාකඩ කෙන්දක් ඇදී එයි. එය දණ හිස වටේ කරකවමින් ලාකඩ කෙඳි ගණනාවක් සකසාගනියි. ලාකඩ ඇදගන්නා අතර ලාකඩ කෙඳි සුළං වැදුණු වහාම ඝන වේ. එය ගිනි කබලෙන් මද වශයෙන් රත් කරමින් අභිමත මෝස්තරය සෑදෙන ලෙස ලාකඩ කෙඳි දැවමය භාන්ඩයෙහි රටාවන් අනුව අලවයි. ලාකඩ කෙඳි භාණ්ඩයේ අලවනු ලබන්නේ මහපටැඟිල්ලේ නියපොත්ත මගිනි. මෙසේ ලාකඩ කෙඳි අලවන විට වැඩි පුර ඉතිරි වන කෙන්දේ කොටස කඩා ගත හැක.
ලාංකේය ලාක්ෂා කලාවේ බහුලවම පැවතියේ සහ පවතින්නේ පට්ටලයෙන් ලාක්ෂා ආලේප කිරීමේ ක්‍රමය යි. දැවයෙන් භාණ්ඩ ලියවීම සහ භාණ්ඩවල ලාකඩ ගෑම, තට්ටු සිටින සේ ගෑම, බින්දු සිටින සේ ගෑම, කැටයම් ගිල්ලවීම, වලාකු`ඵ ගෑම, ඉරි ගැසීම යනාදි ලාක්‍ෂා කර්මාන්තයේ විවිධ කාර්යයන් සඳහා ලාකඩ පට්ටලය භාවිත කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ දැනට දැකියහැකි අතින් ක්‍රියා කරවන සාම්ප්‍රදායික ලාක්ෂා පට්ටලය යනු විසි වන සියවසේ විසිවන දශකයේ දී කොට්ටල් බද්දේ හංගෙඩිගෙදර අබේවර්ධන ශිල්පියා විසින්, එවකට ධර්මපාල ප්‍රමුඛ ජාතික ව්‍යාපරයේ සහාය මත ඉන්දියාවට ගොස් උගෙන මෙරටට හඳුන්වාදුන් ඉන්දීය පට්ටල් ක්‍රමය යි. ඉන්දීය පට්ටලයක කොටස් වන්නේ පට්ටල් කඳ, ලොකු ගුලු ඇණය, හරස් කඩය, පට්ටල් කණුව, කුඩා ගුලු ඇණය, කටු දණ්ඩ, කටු දඬු කණුව, කටු දඬු මුක්කුව, සක්කය සහ දුන්න ය. ඊට පෙර ලංකාවේ භාවිතා වී අභාවයට ගිය පැරණි සිංහල පට්ටල් ක්‍රමයක් අඟුල්මඩුවේ සහ හුරීකඩුවේ තිබී ඇත. සිංහල පට්ටලය භාවිතා කිරීමට ශිල්පීන් දෙදෙනෙකුගේ ශ්‍රමය අවශ්‍ය වන අතර ඉන්දීය පට්ටලය එක අයෙකුට තනිව ක්‍රියාකරවිය හැක්කකි. මේ වන විට ලාක්ෂා ශිල්පීන් විසින් භාවිත කරනු ලබන්නේ විදුලියෙන් ක්‍රියා කරවන පට්ටල් ය.
“ජාතික ශිල්ප සභාවෙන් අගුල්මඩුවෙ ලාක්ෂා මධ්‍යස්ථානයක් පටන්ගත්තා 2014 අවුරුද්දෙ. ඒ ලාක්ෂා මධ්‍යස්ථානෙ හපුවිදින් ආපු පිරිමි කෙනෙක් උගන්නන්නෙ. එතන තිස් පස් දෙනෙක් විතර ඉගෙනගන්නවා. එයාල හැමෝම ගැහැනු අය. ඒ කවුරුත් පාරම්පරික ලාක්ෂා පවුල්වල අය නෙවෙයි. රස්සා නොකර ගෙවල්වල ඉන්න කාන්තාවොයි ඉගෙනගන්නෙ. ඒත් ඒ කවුරුත් මේක දිගටම කරගෙන යන්නෙ නෑ. පාඨමාලා ඉවරවෙනකල් විතරයි හැමෝම කරගෙනයන්නෙ. ඊට පස්සෙ අතාරිනව. එයාලට තියා පාරම්පරිකව පුරුදු වෙච්ච අපිටවත් මේක දිගටම කරගෙන යන්න බෑ. මේ වැඬේට යොදාගන්න ලාක්ෂා එන්න එන්න ගණන් යනව. ලාකඩ කිලෝ එක හත්දාහට අටදාහටත් යනව. ඉතින් කොහොමද කර්මාන්තෙ කරගෙන යන්නෙ. බඩුවලට හොඳ වෙළඳපොළකුත් නෑ. වියදම වැඩි නිසා හදන බඩුත් මිල අදිකයි. ඒ ගානට ලාක්ෂා ගාපු බඩු ගන්නවට වඩා ප්ලාස්ටික් බඩු ගන්න එක සාමාන්‍ය මිනිස්සුන්ට ලාබයි. පිටරටින් එන සංචාරකයොයි ලංකාවෙ පොහොසත් මිනිස්සුයි තමා ගත්තොත් ගන්නෙ. අනාගතේදි මේක නැත්තටම නැති වෙලා යයි. මගෙ දරුවො තවම ඉස්කෝලෙ යනව. ඒ අය කවදාවත් මේක කරනඑකක් නෑ. වියදමෙයි මහන්සියෙයි හැටියට අදායම මදි නිසා දරු පරම්පරාව මේකෙන් ඈත්වෙනව. ළගක් වෙනකල් මගෙ අයිය චන්ද්‍රදාස මේ කර්මාන්තෙ කළා. දැන් එයත් කරන්නෙ නෑ. අපෙන් පස්සෙ මේ කර්මාන්තෙ අඟුල්මඩුවෙන් නැත්තටම නැතිවේවි. මම කරන්නෙත් ඕඩරයක් ආවොත් විතරයි. මේකෙන් ලාබ ගන්න අමාරුයි. තෘප්තියටයි කරන්නෙ. ඇඳ කකුල් ලාක්ෂා කරන් තියාන ඉන්නව, කවදහරි දරුවන්ට දෙන්න.”
අතීත ලාක්ෂා ශිල්පය පිළිබඳව, තමා කුඩා කල තම සීයාගෙන් අසා දැනගත් දේ චිත්‍රා පැවසුවේ මෙසේ ය. “ලාක්ෂා හදන්නෙ ලාක්ෂා කෘමියා පිට කරන ලාටුවලින්. ලාක්ෂා කෘමියා අබ ඇටයක් තරම් පොඩි ලා රතු පාට සතෙක්. අපේ සීයලා පොඩි කාලෙ මේ ගම්මාන කැලෑ ප්‍රදේශ. ඒ කැලෑවල ලාක්ෂා කෘමියො ඉඳල තියෙනව. දැන් එහෙම කැලෑ නෑ. සීයලාගෙ තාත්තලා ගෙවල්වල අතින් ලාක්ෂා හදල තියෙනව. දැන් ලංකාවෙ ලාක්ෂා හදන්නෙ නෑ. ඉන්දියාවෙන් ගෙන්නන්නෙ. ඒවත් දැන් හදනවයි කියන්නෙ යන්ත්‍රවලින්. කෝන්, මසන්, කැප්පෙටිය, මොර, කොබ්බෑ ගස්වල ඉස්සර ලාක්ෂා කෘමියො ඉඳල තියෙනව. මෙහෙ ගොඩක්ම ලාක්ෂා හදල තියෙන්නෙ කැප්පෙටිය ගස්වල තිබුණු ලාක්ෂා කෘමි ලාටුවලින්. ඒවට කැප්පෙටිය ලාකඩ කියලත් කියනව. දැන් ලාක්ෂා කෘමියො තියා ඒ ගස්වත් නෑ.”
“හොඳට පැහුණු ලාක්‍ෂා තියෙන අතු කපල ගහේම තියෙන්න අරිනවලු. දවස් තුනකින් විතර කපපු අතුවල හිටපු ලාක්‍ෂා කෘමියො අතු වේළීගන යනකොට කපපු නැති අමු අතු රිකිලිවලට මාරුවෙනව. ලාක්‍ෂා කෘමීන් ගියාට පස්සෙ ඒ අතුරිකිලි පවනේ වේලල ඒවායේ තියෙන ලාක්‍ෂා කෘමි ලාටු පිහියකින් සූරගන්නව. ඒවට කියන්නෙ අමු ලාකඩ නැත්නම් බොර ලාකඩ කියල. ඒව ඇල් වතුරෙන් කීපපාරක් හෝදල වේලනව. ඒ බොර ලාකඩ පෙන්දුවට දාල රත් කර කර පෙරන්න ඕනෙ. ඒකට කියන්නෙ ලාකඩ පෙරනව කියල. ලාකඩ පෙරන උපකරණෙට කියන්නෙ ලාකඩ පෙන්දුව කියල. ඒක ගෙදර හදාගත්ත සුදු පාට රෙදි උරයක්. කීපපාරක් පෙරාගත්තට පස්සෙ ලාකඩ කූරෙ ලාකඩ පටලව පටලව රත් කර කර අතින් අදින්න ඕනෙ. ලාක්‍ෂා රත් කරකර අදිනවට කියන්නෙ කහට අදිනව කියල. ඊට පස්සෙ පාට දානව. ලාකඩවලට පාට දානවට කියන්නෙ කලිබිලිච්චි කරනව කියල. ඉස්සර ලාකඩ පාට කළේ ස්වාභාවික දේවල්වලින්. දැන් අපි කඩෙන් ගන්න ලාකඩවලට කඩෙන් ගන්න සායම් දාන්නෙ. අපේ ගමේ ස්වාභාවික දේවල්වලින් ලාඩක පාට දාපු ගෙදර තාම ගමේ තියෙනව. එහෙට කියන්නෙ සායම් ගෙදර කියල. දැන් එහෙ කවුරුත් ලාක්ෂා වැඩ කරන්නෙ නෑ.”
සායම් ගෙදර අමරසේන තම මතකය අවදි කළේ මෙලෙස ය. “අපේ ගෙදර අවුරුදු 50 කට විතර එහා තමයි අන්තිමට ස්වභාවික සායම් හැදුවෙ. තාම ඒ ස්වභාවික සායම් දාපු ලාකඩ කෑලියි ලාක්ෂා බඩුයි කීපයක් තියෙනව. කවදාවත් පාට යන්නෙ නෑ. ලාකඩවලට ඉස්සර දැම්මෙ කහ, රතු, ක`ඵ, කොළ පාට විතරයි. කහ පාට හදාගන්න හිරියල්, රතු පාටට සාදිලිංගම්, ක`ඵ පාටට අඳුන් දැලි නැත්නම් සැහැල්ලු ලී අගුරු, කොළ පාටට කොළ යුෂ විශේෂයෙන් අවරිය කොළ පාවිච්චි කළේ.”
“ගංගොඩවත්තෙ ගෙදරයි මැදගොඩවත්තෙ ගෙදරයි තමයි අඟුල්මඩුවෙ මුලින්ම ලාක්ෂා වැඩ කරපු පවුල් දෙක. ඒකෙනුත් මුලින්ම ලාක්ෂා තිබ්බෙ මැදගොඩවත්ත ගෙදර. මගෙ තාත්තගේ අම්මා මැදගොඩ වත්තෙ. තාත්තගෙ අම්මයි ලක්ෂා වැඩකලේ. මේක මෙහෙ ගෑනු රස්සාවක්. තාත්තගෙ අම්ම බමරන්ද බඩල්ගේ සිද්දොහාමි දන්තනාරායන. තාත්තා ඩී බී එන්දෝරිස්හාමි. මම කොළඹ නැවතිලා අවුරුදු විසි හයක් විදුලි බල මණ්ඩලේ වැඩ කළේ. දැන් වී ගොවිතැන් කරනව. මගෙ දූලා විශ්වවිද්‍යාලවල ඉගෙනගන්නව. ලාක්ෂා කලාව මේ රටේ මේ කාලෙට ගැලපෙන හම්බකරන්න පුලුවන් කර්මාන්තයක් නෙවෙයි. වෙන රටවල්වල නම් මේක දියුණු කරන් තියෙනව. ඒත් මහන්සිවෙලා වැඬේ කරන මිනිහට ලාබයක් නෑ.”
පාරම්පරික ශිල්පීන් අබියස ඇති කඩතුරා විනිවිද දැකීමට තැත් කරන, අමරසේන තවදුරටත් පවසන්නේ “මේ කර්මාන්තෙන් වැඩ ගත්තෙ සල්ලිකාරයොයි බලපුලුවන්කාරයොයි. ලොකු ලොක්කන්ගෙ වැඩි සල්ලිවලට කරන්න දෙයක් නැතුවට කරගත්තුවා මේවා. සාමාන්‍ය මිනිස්සු තමන්ගෙ බඩුමුට්ටු ලාක්ෂා කරවගත්තෙ නෑ. ඉස්සරත් පොඩි මිනිහ ලාක්ෂා බඩු පාචිච්චි කරල නෑ. ලොකු පන්සල්වලයි රජගොල්ලන්ගෙයි ඕනෙඑපාකමට හදාගත්තු දෙයක් මේක. අපේ අයගෙ හැකියාවයි මහන්සියයි පාවිච්චි උනේ පලක් නැති වැඩට.” යනුවෙනි. අධිපති මතයට යටහත්ව උරුමයක උජාරුව උත්කර්ශයට නැගීමේ මුලාව වෙනුවට පවත්නා සහ පැවතුනා වූ යාන්ත්‍රණය හැකිපමණින්හෝ කියවීමට දරන්නා වූ උත්සාහයන්, කුමන ක්ෂේත්‍රයක දී වුව ද පාරම්පරික ශිල්පීන් තුළින් දුලබව හෝ හමුවන්නකි.
ඉතා කුඩා කෘමියකුගේ ජීව ක්‍රියාවලයක් තුළින් ලාක්ෂා ශිල්පය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යය සාදා ගැනීමට හැකිවීම, විශේෂයෙන් විස්මයට කරුණක් නොවන්නේ ස්වාභාවික පරිසරය සතු උද්භිත විද්‍යාත්මක ගුණයන් සියල්ල මිනිස් ඇසින් බැලූ කළ අපූර්ව වන බැවිනි. කුඩා කෘමියකුගේ ශ්‍රාවයකින් ලාකඩ නැමති අමුද්‍රව්‍යය නිෂ්පාදන කිරීමේ විස්මයජනකත්වය වන්නේ එම ලාටුවලින් මෙතරම් කලාත්මක, කල්පවත්නා, නිර්මාණශීලී ශිල්පයක් සිදුකළහැකි බව හඳුනාගත් ගවේශනශීලී මිනිස් ව්‍යවහාරය යි. මානව ඉතිහාසය පුරා නිර්මාණශීලී ශ්‍රමය වගුරන්නන් තම ව්‍යවහාර ඥානය තුළින් ලබාගත් ශිල්පීය දැනුම සමස්ත ලාක්ෂා ශිල්පීය ක්‍රියාවලියට පදනම්ව ඇත.
වර්තමානයේ ඉන්දියාව, මියන්මාරය, වියට්නාමය, කාම්බෝජය, චීනය, ජපානය, බූතානය වැනි ආසියාතික රටවල ද සාම්ප්‍රදායික ලාක්ෂා ශිල්පය සමාජ ආර්ථික ක්‍රමය සමඟ බද්ධව විපර්යාසයට ලක්වෙමින් නොනැසී ශේෂව පවතින අතර, පහළ පාන්තික ජනතාවගේ නිර්මාණශීලී ඥානයට ගෙවීමක් ලෙස ඉඩම් භුක්තිය නම් වූ ප්‍රෝඩාව පමණක් උරුම කළ වැඩවසම් ආර්ථික ක්‍රමය තුළ ඉහළ පාන්තිකයින්ගේ පරිභෝජන භාණ්ඩ විසිතුරු කරවාගත් ලාක්ෂා කර්මාන්තය, ධනවාදී ආර්ථික ක්‍රමය තුළ ද ඉහළ පැළැන්තියේ විසිතුරු භාණ්ඩ සරසමින්, නිර්මාණ ක්‍රියාවලිය සඳහා ශ්‍රමය වැය නොකරන්නන් පිරිසකට ලාබ උපයාදෙන මාර්ගයක් බවට පත්ව ඇත.
තක්ෂිලා ස්වර්ණමාලි
Comments
Post a Comment