ටකරං සහ වඩිම්බු (Short Story Book) First Printing - 2014, Sanghinda Publishers,


                                             













 ඉස්කෝලෙ මහත්තය නටබුන්වලට ඇහෙන්න කෑගැහුවා.


‘තොපි නෙමෙයි යකෝ ඉතිහාසෙ ගොඩනැගුවෙ අපි. ඒත් කෝ අපි ඉතිහාසෙ. ඉතිහාසෙ ලියල තියෙන්නෙ තොපේ නං විතරයි. කෝ අපේ නං. ඉතිහාසෙ කියන්නෙ අපේ දාඩිය. ඒත් පොතේ ඉන්නෙ තොපි. ඉතිහාසෙ තොපි නෙමේ යකෝ අපි. කෝ අපි. ඉතිහාසෙ හැදුවෙ තොපි නෙමේ අපි.’
ඉස්කෝලෙ මහත්තය. ඉස්කෝලෙ මහත්තයගෙ වම් අත ධර්මෙගෙ කරේ. කසිප්පු ධර්මෙ. ධර්මෙ ඉස්කෝලෙ මහත්තයව අදත් වත්තන් කරන් එක්කන් යනව. පාර දිගේ. 
‘යං මහත්තයො ගුරු නිවාසෙට. මේ පොඩි එව්වොත් හිනාවෙනව. රජගොල්ලන්ට දැං ඇහෙන්නෑ ඔව්ව.’
‘හිනාවෙංඩ කියාපිය. උං හිනාවෙන්නෙ මට නෙමෙයි බං උංට. උංට උං හිනා වෙන්නෙ. රජගොල්ලන්ට නෙමෙයි තොපිටයි ඇහෙන්නැත්තෙ මෙව්ව. මෙව්ව රජගොල්ලො දන්නව. දන්නැත්තෙ උඹල. ඇහෙන්නැත්තෙ උඹලට. උංට මෙව්ව ඇහෙනව. ඉතිහාසෙ හැදුවෙ රජාල නෙමේ අපේ උං. ඕකුං මට හිනාවෙද්දෙං. ඕකුංගෙ බෙර ටික තෙමිල දිරල ගිහිං. බිමට පාත්වෙන්න ඔන්න මෙන්න බිත්ති. හදාගන්ඩ තඹදොයිතුවක් දෙන්නෙ නෑ ඕකුංගෙ ලබ්බෙ ආංඩුවෙං. ඕකුංගෙ බඩ පිටේ ඇලිල බං පිටේ ඇලිල. ඕකුංගෙ මහඑවුංට පුලුවංද ඉස්කෝල හදංඩ. උංට හරිහමං පැලක්වත් තියේද මට කියාපිය දරුමෙ. බඩුටික පරිස්සං කරගංඩ ගුරු නිවාසෙට දාගත්තම ඕකුංගෙ මහඑව්වො මගෙ අම්ම මතක් කළා. උංගෙ මංත්‍රී උංට දුන්නු බෙරලු. අම්මගෙ රෙද්ද. උංගෙ මංත්‍රීගෙ අම්මගෙ අප්පගෙ බූදලෙං දීපුව කියල උංගෙ හිතේ. ඕකුංගෙ ළමයි කලන්තෙ දාපුවාම බනිස් ගෙඩිය දෙන්නෙ මම යකෝ. හිනාවෙංඩ කියාපිය.’
පාර දෙපැත්තෙ යාර ගානක් දුරට ඉස්කෝලෙ මහත්තයගෙ කෑගැහිල්ල ඇහෙනව. ඉස්කෝලෙ මහත්තයගෙ කකුල් පැටලෙනව. පාර දෙපැත්තෙ අතරින් පතර ගෙයක් දෙකක්. වැඩිමනක් පඳුරු. නටබුන් නගරෙ ළඟපාත. නටබුන් නගරය. නගරය නටබුන්. 
‘යකෝ මේ තමා සොහොන. සොහොන. අපේ එව්වො වළදාපු සොහොන. රජාල හදාපු කෙංගෙඩියක් නෑ. ඔව්ව හැදුවෙ ඕකුං නෙමෙයි. ඔව්ව හැදුවෙ අපේ එව්ං. හදපු උංගෙ අත් කැපුව. ඇස් පොට්ට කළා. උංගෙ නං ඉතිහාසෙ ලියෝගෙන අපේ උංව මැරුව. යකෝ නාහෙං බේරෙන වතුර බිංදුව මාපටෑඟිලිවලට වැටෙන්න පතාක පිළිම හැදුවෙ තොපි නෙමේ අපි.’
‘මහත්තයො ඉස්කෝලෙ යන්ට එපෑ හෙට උගන්නන්ට. කෑනොගහ යං.’
‘මට යංඩ ඕන්නෑ දරුමයො බැල්ලිගෙ පුතාගෙ ලබ්බෙ උගංනංඩ. උංට ඇත්ත උගංනද්දි උං මට හිනාවෙනව. උං හිනාවෙන්නෙ උංට. උංට මාව පිස්සෙක් දරුමෙ. උංට මාව පිස්සෙක්. මට උංව පිස්සො. අපි පිස්සො දරුමෙ අපි පිස්සො. උඹ දැක්කද ටවුමෙ බාර් මුදලාලි ඉස්කෝලෙට දුන්නු බුදු පිළිමෙ. ගිහිං වැඳපිය තෝත්. ආං අරුං වඳිනව. උංට වගේ උඹටත් හිතෙනවද බං බුදුහාමුදුරුවො ඔය පිළිමවල ඉන්න තරමටම ගෑනියෙක් වාගෙ රූප සෝබාවයි කියල. රජගෙයි ඉද්දි නං ඔහොම ඉංඩ ඇති. ඒත් උංදැ බණ දෙසංඩ ගත්තෙ බං තරුණ කාලෙ පහුවෙලා. තිස් පහ. හතළිස් පහ. පනහ. පනස් පහ. හැට. හැට පහ. හැත්තෑව. හැත්තැ පහ. අසූව. හා කියපං වැඩි කාලයක් නාකිද නැද්ද? උඹවත් පිළිගන්නවද ඒ මනුස්සය ඔය පිළිමෙ වාගෙ නෑ කියල. ඇවිද්දෙ පයිං බං ඇවිද්දෙ පයිං. හා බලපං අර පිළිමෙ යටිපතුල. දූවිලි පොදක් තියේද හා. හමේ එක රැල්ලක් තියේද හා. උඹට මතකද කාලයක් මෙහෙ හිටියයි කියන නන්දදාස ලොකු ඉස්කෝලෙ මහත්තය. මිනිහ මැරිල මයෙහිතේ දැං. පැන්ෂං ගියෙ ගල්ගමුවෙ ඉස්කෝලෙන්නෙ. ඌ කියනව ඌ හොඳ කොමියුනිස්ට්කාරයලු. තව ඌ කියනව ඌ හොඳ බවුද්දයලු. අම්මගෙ රෙද්ද. මට කියහං දරුමේ ඒ දෙක එකෙකුට තියෙන්නෙ කොහොමද කියල. සූත්‍රපිටකෙයි දැදිගමයගෙ පොතුයි ඌ කලවමේ කියවනව කියල උඹට විස්වාසද බං දරුමෙ. ඌ මට බැන්නෙ ආගමක් ජාතියක් නැති අසප්පුරුසය කියල. හා මට කියහං දරුමෙ ආගමක් ජාතියක් නැති එකාද අසප්පුරුසය, තියෙන එකාද අසප්පුරුසය. තියෙන එකා බං තියෙන එකා. හා මට කියපං උට ආගමක් ජාතියක් තියෙනවයි කියන ඌ කොහොමද කොමියුනිස්ට්කාරයෙක් උනේ.’
‘අනේ මං දන්නෑ මහත්තයො. අර ගෑනිට තනියෙං වෙළඳාම කරගන්ට බෑ අර වසවර්තියො එක්ක. මං විජහට ආපහු එතෙන්ට යන්ට ඕනෙ.’
‘ඉතිං පලයංකො බං. මොන රෙද්දකට මාව උඹ මේ කුදලං යනවද. පල පල පල. උඹ පල. මට පුලුවං යංඩ. පුලුවං උනත් මං යන්නෑ මට යංඩ ඕන්නැත්තං.’
ඉස්කෝලෙ මහත්තය නුග ගහ ගාව ඉඳගත්ත.
‘දැං බලපං සුද්දො. හා කියපං මට සුද්දද හොඳ අපේ උංද හොඳ. සුද්ද බොල හොඳ සුද්ද. ඌ දන්නවද තොගෙයි මගෙයි කුලේ. උට වැඩක්ද ඒව. ඒත් අපේ උංට වැඩක් නැතත් අපේ උං හොයන්නෙ එව්ව. හා ඉතිං අපිට වඩා ඌ හොඳ නැද්ද. ඌත් නරකයි තමා. ඒත් අපි තරං නරක නෑ බං. තොගෙ දුව දුන්නද පුහුලයගෙ මුනුබුරාට. නෑ. පුහුලයට දැම්මෙ උගෙ අම්ම අප්ප කියපු නමද. නෑ. උට නම දැම්මෙ රටේ එව්වො. උඹේ ගෑනි වීරසේකරය එක්ක හාද වෙලා හිටියට ඌ බැන්දද ඒකිව. නෑ. බුදියෑව විතරයි. ඒකි එක්ක බුදියෑවට උංගෙ වංසෙ කිලුටු වෙන්නෙ නෑ. ඒකි එක්ක පෝරුවට නැග්ගොත් කිලුටු වෙනව. දෙකම එකනෙ බං. අංතිමට උඹ බාරගත්ත. උඹලගෙ ආතයි ඒකිගෙ ආතයි එක කම්මලේ හංද. දැං කියපං අපිද හොඳ සුද්දද හොඳ. පුහුලයගෙ ආච්චි ළමාතැනීට වැඩිය රූපසෝබාවයි කිවුවෙ, එවුංට උඩට අඳිංඩ දුන්නෙ නැත්තෙ වලව්වෙ පොඩි රජාලගෙයි රටේ මහ රජාලගෙයි වලත්තකමට. මහරජා කළෙත් ගමක් ගමක් ගානෙ ගිහිං ගෑනු ඇදං ආපු එක. උං කෙරුවෙ අංතප්පුර පුරෝ පුරෝ බුදියෙන එක විතරයි බොල. උංද කියපං ඉතිහාසෙ හැදුවෙ.’
‘අනේ මහත්තයො මට ඕනැ ගෑනිගෙයි ළමයිංගෙයි බඩකට යංතංවත් පුරෝගන්ට විතරයි. මට ඔය කුණුහරුප වැඩක් නෑ මහත්තයො.’
‘රංගම්මගෙ තෝඩු කඩන්නෑ බොල අපේ උංට තෝඩු තිබ්බනං. පර සුද්දො හොඳා බොල රංගම්මලාට වැඩිය. උඹ හිතංඩ එපා මට ප්‍රස්නෙ තියෙන්නෙ දෙමෙල්ලු එක්ක කියල. දෙමෙල්ලු අපේ උං බොල. දෙමෙල්ලු අපේ උං. මට ප්‍රස්නෙ තියෙන්නෙ රජාල හැතිකරේම එක්ක බොල. ඔය රජාලට පුලුවංද කැත්තක් මන්නයක් පොරවක් හදංඩ. ඕකුංට පුලුවංද බෙරයක් ගහංඩ. මැංඩියට ඉංඩ. ඕකුංට පුලුවංද පැදුරක් වියංඩ. ආබරණයක් හදංඩ. රෙද්දක් හෝදංඩ. කැටයමක් කපංඩ. ඕකුංට පුලුවංද වළඳක් හදංඩ. සුද්දො අල්ලපුඑක හොඳා බං කන්ද උඩරට. බැල්ලිගෙ පුතාගෙ කන්ද උඩරට. අපේ එව්වො කඹුර කඹුර රජාගෙ බාණ්ඩාගාරෙ පිරෙව්ව. අපේ උං පොළොව වාගෙ. ඔක්කොම තියෙන්නෙ අපේ උඩ. අපේ උං පොළොව වාගෙ. පෑගෙනව. සුද්දො හොඳ නෑ. ඒත් සුද්දො අපිට වඩා හොඳා බොල. අපේ රජාලට වඩා සුද්ද හොඳා බොල. අපේ රජාල අපේ එවුංගෙ අතපය කපන එක නැවැත්තුවෙ උඩරට ගිවිසුම යකෝ. අපේ රජාල අපේ එවුංට වද දීල මරණ එක නැවැත්තුවෙ උඩරට ගිවිසුම. රාජකාරිය නැතිකළේ සුද්දො. මොන රෙද්දකට උංගෙ කොඩිය පාගල අපේ එක ඉස්සුවද හරක් එද්දාස් අටසිය පහළොව මාර්තු දෙක.’
‘මහත්තය මෙහෙම පාරෙ දාල යන්ට මට බෑ. ඊයෙත් අපේ ගෑනි කිව්ව ඉස්කෝලෙ මහත්තය සුදුත් ඇඳන් බීල  කානුවෙ කියල.’
‘යකෝ මේක මළකෙලියක්නෙ. සුදු ඇඳං බීල කානුවෙ ලගිංඩ බෑ කියල ඒකිට ඉගැන්නුවෙ කවුද. එංඩ කියාපිය ඒකිට. මං සුදු අඳින්නෙ මට තියෙන්නෙ එක රෙද්දයි කියල පිට උංට නොතේරෙංඩ.’
‘මේක හැමදාම කරන්ට බෑ මහත්තයො. මට පාඩුයි. මං යනව.’
‘පලයං බං පලයං. උඹේ පොඩිඑකා තාම හොඳ එකා. ඌ මට කීවා මද්දුමබණ්ඩාරය පොඩිඑකා හංද උගෙ නොතේරුංකමට ගොං කතාවක් කියල බෙල්ල තිබ්බයි කියල. උට තිබ්බෙ නැද්ද රජාට තිත්ත කුණුහරුපෙං දෙකක් කියංඩ කියල උඹේ පුතා මගෙං ඇහුව. අම්මප බං ඌ මද්දුම බණ්ඩාර උනානං රජාට විරිත්තලහරි පස්ස දික්කරලහරි එතනිං පැනල යයි.’ 
ඉස්කෝලෙ මහත්තයට ධර්මෙගෙ රූපෙ ටික ටික පොඩි වෙවී පේනව. පොඩියට තිබ්බ පියුං මල්ලිගෙ රූපෙ ලොකු වෙවී පේනව.
‘ආං බලහං පියුං මල්ලියෙ පර්යාවලෝකනේ.’
‘අප්පොච්චියේ අදත් බීල නේද. නගින්න මහත්තය බයිසිකලේට. යං යං ගුරු නිවාසෙට යං.’
‘මෙහෙං ඉඳගනිං පියුං මල්ලියෙ. මට බෑ ඒ අපායට යංඩ. ආං අර දරුමයගෙ පොඩිඑකී ගිය සතියෙ ඔය ගුරු නිවාසෙ මිදුලෙ ඉංදෙව්වා අටපෙතිය පැළයක්. පැළේ පණගහල එංඩ කලිං ටීචර් ගෑනු ආඩපාලි කීව ඒකි බඩිං කියල. ඒ ගෑනු බඩිං හිටියෙ නැද්ද පියුං මල්ලියෙ. දරුමෙගෙ කෙල්ලගෙ බඩේ අමුත්ත මොකද්ද. පොඩි හාමුදුරුවො කෙල්ලට පොරොන්දු උනාලු සිවුර බෝ අත්තෙ එල්ලල ඇවිත් දරුමයගෙ කසිප්පු කරුමාන්තෙට උදව් වෙන්නං කියල. එහෙම කියද්දිනෙ මේකි වැවේ පැන්නෙ. නනා හිටපු ගෑනු හිනාඋනා කියල. දියසේනය හරක් නාවනාව ඉද්දි දැකල කෙල්ලව ඇදං ඇවිත් තියෙන්නෙ.’
‘ඕවට කම්පා වෙලා වැඩක් නෑ මහත්තයො. දියසේනය ඒකිව දැක්ක හන්ද බේරගත්තට ඌ ඔය වැවේ නාවනාව හදන සත්තුත් විකුණගෙන කන මිනිහ.’
‘කටකට යකෝ මේව පූජා බූමිලු. වැඳපිය වැවට. මේව හැදුවෙ රජවරු නෙමේ මල්ලියෙ. උං කළේ හදාපිය කියන එක විතරයි. ඒක කියංඩ කාටද බැරි. හැදෙව්ව උංද මල්ලියෙ ලොකු, හදාපු උංද ලොකු.’
දරුමයා. දරුමයගෙ පොඩිකොලූ. දරුමයගෙ පොඩිඑකී. වැඩකට නැති නටබුන් අස්සෙ ඉස්කෝලෙ මහත්තයගෙ ඇහැට අහුවෙච්ච වැඩකට ඇති දේවල් කීපෙ.
‘ඉස්කෝලෙ මහත්තයට ටෙලිග්‍රෑම් එකක් තියෙනව.’
‘තමුසෙ මට ගේන්නෙ ටෙලිග්‍රෑම් විතරනෙ ඕයි. කවද්ද තමුසෙ මට ලියුමක් ගෙනාවෙ. තමුසෙ දන්නවද මල්ලියෙ කලිං පාර තමුසෙ ගෙනාපු ටෙලිග්‍රෑම් එකේ තිබ්බෙ මොකද්ද කියල. අම්මගෙ මිනිය ගංඩ ඉස්පිරිතාලෙට බිල ගෙවංඩ එංඩ කියල. අම්මට අමාරු වෙලා බාගෙට ගෙවන ඉස්පිරිතාලෙක නංගි අම්මව නවත්තල. ආණ්ඩුවෙ ඒවෑ ලෙඩෙක්ට ඉංඩ බෑ කියල. ඒවෑ හරියකට ලෙඩාව බලන්නෑ කියල. බාගෙට ගෙවන ඉස්පිරිතාලෙං අම්මගෙ මිනිය දෙංඩ බෑ කීවලු බිල ගෙවනකං. තමුසෙ දන්නවද මං මොකද කළේ කියල. මං ඉස්පිරිතාලෙට ගිහිං කීව මං තොපිට ගෙවන්නෙ නෑ, මට ගෙවංඩ සල්ලි නෑ, මිනිය තොපි තියාගනිල්ල කියල. මං ආව ගෙදර. අම්ම මැරිච්ච එකට වැඩිය නංගි ඇඬුවෙ මං මිනිය දාල ආපු එකට. මිනිය මොන රෙද්දකට මල්ලියෙ පණ නැතුව.’
‘මේපාර එහෙම ආරංචියක් නෙමේ මයෙහිතේ. දැං ගෑනු හොයාගන්න අමාරුනං දීගෙ ඇරිල වයසටගිය ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්වත් හොයාගත්තොත් නරකද මහත්තයො.’
‘දැං මට පැන්ෂං යන්නත් ළඟයි ඕයි.’
‘පැන්ෂන් ගියාම තමා මහත්තයො ගෑනියෙක් හිටියනං හොඳා කියල හිතෙන්නෙ.’
‘අනේ පලයං බං ඔන්න ඔය කඩදහිය දීල. ගෑනු එයිද බං අතේ පිච්චිය නැති මාත්තෙක්ක අර ගරාවැටිච්ච ගුරු නිවාසෙ ලගිංඩ.’
පියුං මල්ලි කඩදාසිය ඉස්කෝලෙ මහත්තය අතට දීල පාර දිගේ ඈතට ඈතට පැඩල්එක පෑගුව.
‘දුව කොටහලු වුණා. කරාඹු ජෝඩුවකුත් අරන් එන්න. -මෙයට නංගී’
ඉස්කෝලෙ මහත්තයට පියුං මල්ලි පොඩිවෙවී පේනව.
‘මල්ලියෙ ටිකක් දිගට ටෙලිග්‍රෑම් එකක් ගහංඩ කීයක් විතර යයි ද’
පර්යාවලෝකනය කපාගෙන යන්න ඉස්කෝලෙ මහත්තයා බෙරිහන් දුන්නා.
‘උඹේ මගුලටයි දෑවැද්දටයි ගේ හදංඩයි ගත්තු ණය මං තාම ගෙවනවා. උඹට ඕනෙ කරපු විදියෙ මගුල් දෑවැදි ගෙවල් මං අනුමත නොකළට උඹ අඬනව බලංඉංඩ බැරිකමට මං ඒව කළා මගෙ ගොංකමට. ණය ගෙව්වාම මාසෙකට අතට එන්නෙ හාරදාහයි. වන සත්තුත් කොටහලු වෙනව බොල මගුල් නොගත්තට. ඕක උනා කියලත් තොපිට මගුල් ගංඩ ඕනැද ගෝත්රිකයො වාගෙ. මොන කෙංගෙඩියකට ඒකිගෙ කන විද්දද බොල. මේං මේටික ලියල ටෙලිග්‍රෑම් එකක් යවාපං මල්ලියේ.’







Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව