'அகழ்' පිළිසඳර - 2021 අප්‍රේල්

ප්‍රියදර්ශනී සිවරාජා විසින් දමිළ භාෂාවට පරිවර්තනය කරන ලද, අනෝජන් බාලක්‍රිෂ්ණන් විසින් තක්ෂිලා ස්වර්ණමාලි සමග කරන ලද පිළිසඳර


ඔබ ඉපදී හැදී වැඩුණු පවුලේ සාහිත්‍ය පසුබිම පිළබඳව සඳහන් කළොත්...

මගෙ තාත්තා 1961 අවුරුද්දෙ උපාධිය ගත්තු, සිංහල සාහිත්‍ය විෂය උගන්වපු, පරණ පාසල් ගුරුවරයෙක්. තාත්තට විශාල පොත් එකතුවක් තිබුණා. පුංචි කාලෙ මම ඒව කියවල තේරුම්ගන්න උත්සාහ කළා. තාත්ත සාම්ප්‍රදායික සාහිත්‍ය රාමුව ප්‍රතික්ෂේප කරපු, එවකට නූතන සාහිත්‍ය ධාරාව අගය කරපු කෙනෙක්. ඉස්කෝලෙ 13 ශ්‍රේණිය දක්වා අවුරුදු 5 ක් මට සිංහල සාහිත්‍යය විෂය උගන්වපු ගුරුවරයත් මගෙ තාත්ත. මගේ ජීවිතේ ආරම්භක කාලෙ මගෙ සාහිත්‍ය වටපිටාව ගොඩනැගුණෙ ප්‍රධාන වශයෙන්ම මගෙ තාත්ත අතින් කියල මට හිතෙනව. 

ලාං‌කේය දෙමළ සාහිත්‍යයේ නොවැළැකිවිය හැකි ලෙස යුද අත්දැකීම් පවතිනවා. සිංහල සාහිත්‍යයේ යුද්ධය පිළිබඳව කොතරම් දුරට සාකාච්ඡා වී පවතිනවා ද?

සිංහල සාහිත්‍යය තුළ යුද්ධය තේමාවුණු නිර්මාණ වැඩි වශයෙන්ම හමුවෙන්නෙ කාව්‍ය සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය තුළ. දෙමළ ජනතාව වින්ඳ පීඩනය පිළිබඳව සිංහල සාහිත්‍යය තුළින් කතා කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. කවුරුහරි සිංහල කෙනෙක් කියනව නම්, “සිංහල සාහිත්‍යයේ යුද්ධය තේමාවුණු නිර්මාණ බහුලව තියෙනව” කියල. මම කියන්නෙ “නෑ. ඒක බොරු” කියල. සිංහල ජාතිවාදී කෝණයෙන් යුදකාමීව ලියල තියෙන නිර්මාණ මම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරල බැහැර කරනව. මානුෂික දැක්මකින් ලියල තියෙනවයි කියන හුඟක් නිර්මාණ ඇතුළෙ වුණත් තියෙන්නෙ සැඟවුණු සිංහල ජාතිවාදය. දෙමළ ජනතාවට එරෙහි පීඩනය නිවැරදිව දකිමින් සිංහලෙන් සාහිත්‍ය නිර්මාණ කරපු කිහිපදෙනාට මම ගරු කරනව.    

ඔබේ නිර්මාණවලට යුද්ධය පාදක වී ඇත්තේ කුමන ආකාරයෙන් ද?

යුද්ධය පදනම් කරගෙන මම කරල තියෙන්නෙ නිර්මාණ කිහිපය යි. ඒ ගැන මම තෘප්තිමත් නැහැ. උතුර පිළිබඳව දකුණ සංවේදී කරවීමට සාහිත්‍යය සතුව පවතින කාර්යභාරය වැදගත් තමයි. ඒත් ඊටත් වඩා වැදගත් වෙන්නෙ අවංක දේශපාලනික මැදිහත් වීම.

ඔබේ පොට්ටු කෙටිකතාවෙන් දෙමළ - සිංහල බැඳීමක් කාව්‍යමය ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. මනුෂ්‍යත්වය පිළිබඳ එබඳු පුළුල් දැක්මකට ඔබ පැමිණියේ කෙසේද?

මම ජීවත්වෙන සිංහල සමාජයේ බහුතරය ජාතිවාදීයි. ඔවුන් අතර නිවරුදි සමාජ විග්‍රහයක් තියෙන ඉතාම සුළුතරයක් ජීවත් වෙනව. ඒ සුළුතරය නිතරම මට බලපෑම් සහගත වුණා කියල මට හිතෙනව.

පුද්ගලික බැඳීම් සම්බන්ධ ගැටලු ඔබේ නිර්මාණවලට බහුලව පාදක වෙන්නේ ඇයි? 

ඒවා පුද්ගල සම්බන්ධතාවලට අදාළ ගැටලු විතරක් නෙමෙයි. ඒවා හරහා මම සමාජ විග්‍රහයක් ඉදිරිපත් කරන්නයි උත්සාහ කළේ. 

ඔබේ නිර්මාණ සඳහා ළමා කාලයේ දී බලපෑ යම් විශේෂ පුද්ගලයෙක් ඉන්නවා ද?

මායි අයියයි ඉස්කෝලෙ යන කාලෙ, මගෙ අයිය එයාගෙ තෘප්තිය සඳහා විතරක් හොරෙන් ලියපු කවි සහ කෙටිකතා එයාගෙ පොත් අස්සෙ තිබිල හම්බවෙලා මම හොරෙන් කියවල තියෙනව. මට කවි, කෙටිකතා ලියන්න ආස හිතුණෙ ඒව කියවල. ඒක මගෙ අයිය තවම දන්නෙ නෑ. 

කුඩා දරුවන්ගේ කෝණයෙන් කෙටිකතා ගොඩනැගීමට ඔබ උත්තේජනක් ලැබුවේ කොහොම ද ?

දරුවෙක් කියන්නෙ සමාජයෙ සම්මත සංකල්පවලට ඇතුළු වෙමින් ඉන්න කෙනෙක්. දරුවා සම්පූර්ණයෙන් රාමුගත වෙලා නැහැ. එහෙම ඇහැකින් යමක් ලියද්දි සම්මත රාමුවෙන් එහාට යන්න පහසුයි. එතකොට ගැඹුරු දෙයක් සරලව ලියන්නත් පුලුවන්. අපි ගොඩක් අය ඇතුළෙ අඩු වැඩි වශයෙන් දරුවෙක් ඉන්නව. 

ඔබ දෙබස් වලින් කතාන්දර ගොඩනගනවා. බාහිර විස්තරයන් කතාවක් ගොඩනැගීමට කොතරම් දුරට අවශ්‍යදැයි ඔබ සිතනවාද?

තමන්ගෙ නිර්මාණයෙන් ලේඛකයා ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන දේ මතයි ඒක තීරණය වෙන්නෙ. පුද්ගල ස්වරූපයන්, පුද්ගල සම්බන්ධතාවල සංකීර්ණත්වයන් සහ විවිධ සමාජ සංකල්ප ගැන විවරණය කරද්දි, දෙබස්වලින් ඒවා ඉස්මතු කරන එකේ මට පහසුවක් සහ අව්‍යාජකමක් දැනෙනවා. 

ඔබේ නිර්මාණවල ඔබ දකින අඩුපාඩු තිබෙනවා ද?

විවිධ කාලවලදි මම ලිපයු නිර්මාණවල තියෙන්නෙ ඒ ඒ කාලවල මට ලෝකය ගැන තිබුණු දැක්ම. මගෙ ඒ දැක්ම කාලෙන් කාලෙට වෙනස්වුණා. මම ලියපු නිර්මාණ දිහා ආපහු හැරිල බලද්දි මට ගොඩක්ම පේන අඩුපාඩුව, ඒ නිර්මාණ තුළින් පෙන්නුම් කරන මගෙ දැක්මේ අඩුපාඩු. අපි ලියන දේක වැදගත්ම දේ කියල මට හිතෙන්නෙ නිර්මාණය තුළින් හෙළිවන දැක්ම. ඒ කියන්නෙ නිර්මාණකරු මේ ලෝකය සහ සමාජය විග්‍රහකරගෙන තියෙන විදිය. නිර්මාණ හරහා ඒ දැක්ම පාඨකයන්ට බලපෑම් කරනව. 

සිංහල සාහිත්‍යයේ විචාර සම්ප්‍රදායන් සහ වාද විවාද පවතිනවාද?

තිබුණත් ඒ සුළු වශයෙන්. ඒවා ඉතා දියුණු තලයක තියෙන, ගැඹුරු, පුළුල් වාද විවාද නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. ඒවා බහුතරයක් පුද්ගලික යාලුමිත්‍රකම් මත පදනම් වෙනවා. ඒ වගේම පුද්ගල ප්‍රතිරූප ගොඩනගාගැනීමේ තරඟයක් සහ වෙළඳ තරඟයක් ඒවා තුළ තියෙන්නෙ.  


ඔබේ කෙටිකතාවලට එල්ල වී ඇති විවේචන කවර ආකාර ද?

මම ළමයෙක්ගෙ කෝණයෙන් ලියපු කෙටිකතාවලදි, ළමයි ඒ විදියට හිත්නෙ නෑ කියල විචාරකයො කියල තියෙනව. මම ලිංගිකත්වය කියන තැනදි නිහඬ වෙලා නවතිනව මිසක් ඒ මාතෘකාව ගැන කතා කරන්නෙ නෑ කියල තියෙනව. මගෙ නිර්මාණ ගැන කරන අගයකිරීම් හෝ විවේචන ගැන මම වැඩිය හිත යොමු කරන්නෙ නෑ. මම කරන්නෙ විචාර නොතකා නිදහසේ ලියන එක. 

ඔබට පෞද්ගලික සාහිත්‍ය න්‍යායක් පවතිනවා ද?

පාඨකයන්ට විනෝදය පමණක් ලබා දීම සඳහාවත්, මුදල් ඉපයීම අරමුණු කරගෙනවත්, පවතින සමාජ ක්‍රමය සාධාරණීකරණය කිරීම සඳහාවත්, ලේඛකයාට සමාජ වටිනාකමක් ගොඩනගාගැනීම සඳහාවත්, සම්මාන බලාපොරොත්තුවෙන්වත්, සාහිත්‍ය නිර්මාණ කිරීම මම අනුමත කරන්නෙ නෑ. යම් යම් තත්වයන් මත මිනිස්සුන්ට දැනෙන පීඩනයන් අවංකව මුදාහැරීම සඳහා ලියන දේවල් සහ මිනිස්සුන්ව වැරදි රාමුවලින් එහාට කැඳවාගෙන යමින්, පවතින සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමට අනුබල දෙන ලිවීම් මම අගය කරනව. ඒක තමයි මගෙ මතය. 

ඔබ සාහිත්‍ය න්‍යායන් විශ්වාස කරනවා ද?

ප්‍රධාන ධරාවේ පවතින විවිධ සාහිත්‍ය මතවාද ගැන ඇත්තටම මගෙ අවදානයක් නැහැ. මම ඒව ගැන තැකීමක් කරන්නෙ නැහැ. 

දෙමළ ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණ සිංහල භාෂාවෙන් කියවිය හැකි පරිසරයක් පවතිනවා ද?

දෙමළ ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණ සුළු ප්‍රමාණයක් තමයි සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන්නෙ. ඒ පරිවර්තනයන් ගැන අපි ප්‍රශංසා කරන්න ඕනෙ. ඒත් දෙමළ සාහිත්‍ය කෘති සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙන ප්‍රමාණය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. දෙමළ ලේඛකයෙක් ඉතාම අවංකව ලියන දෙයක් සිංහලට පරිවර්තනය කළොත්, ඒක නිවැරදිව දකින්න පුලුවන් පුළුල් මනසක් බහුතර සිංහල පාඨකයන්ට නැහැ. ඒක තමයි ඇත්ත. ඉතිහාසයක් පුරා ලංකාවෙ දෙමළ ජනතාව වින්ඳ පීඩනය, ලංකාවෙ දෙමළ ජනතාව කරපු උතුම් කැපකිරීම්, අනාගත පරපුර වෙනුවෙන් දෙමළ ලේඛකයින් විසින් ලියන එකයි වැදගත්. රාජ්‍ය මර්දනය නොතකමින් ඒවා කවදාහෝ සිංහලට පරිවර්තනය විය යුතුයි. සිංහල පරිවර්තකයින් ඒ අභියෝගය භාර ගතයුතුයි කියලා යෝජනා කළත්, ‌අදාළ දෙමළ ලේඛකයින් තවම ජීවත් වෙනවා නම් ඔවුන්ගේ ජීවිත අනතුරේ නොදැමීමටත් අපිට වගකීමක් තියෙනවා.
 

Comments

Post a Comment

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව