දකුණේ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ සිංහල සහෝදරයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව දකුණේ සුලුතරයක් විසින් හඬනැඟීම ආරම්භ කරන ලදී. ඔවුන් අතරින් ද සාතිශය බහුතරය, රඳවාතබා ගැනීමට ලක්වූවන් නියෝජනය කරනු ලබන කණ්ඩායම්හි ක්‍රියාධරයින් ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සිංහල සහෝදරයින් අතරින් එක් සහෝදරයකු මුදාහරින ලද අතර ඉතිරි සොයුරන් දෙදෙනා වෙනුවෙන් හඬනැගීම ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන කණ්ඩායමෙහි මැදිහත්වීම මත, දකුණේ වත්මන් ජනප්‍රිය අරගල බිම මත දිගින් දිගට ම සිදු කරමින් පවතී. දෙමළ සහෝදරයන් කොපමණ නම් පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පීඩා වින්දේ ද, පීඩා විඳිමින් සිටින්නේ ද මර්දනයට ලක් වූයේ ද ලක්වෙමින් සිටින්නේ ද යන්න දකුණේ අති සුලුතරයක් විසින් සිහිපත් කරනු ලැබුව ද, දකුණේ සාතිශය බහුතරයට එය කිසිසේත් අදාළ නැත. දකුණේ ජනප්‍රිය අරගල බිමට ද එය කිසිසේත් අදාළ නැත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2019 - 2020 වර්ෂවල දී උතුරු නැගෙනහිර පළාත්වලින් අත්අඩංගුවට ගත්, එස්. උදයසිවම්, යූ. උමාසුදන්, එම්. පාර්තීපන්, එල්. ඉම්රාජ්, වයි. රොබින්සන්, ආර්. සයන්තන්, පී. නගුලේෂ්වරන්, එස්. සුදාහරන්, යූ. සතීස්කුමාර්, එස්. සසීදන්, ආර්. විවේකානන්දන්, වයි. ඩඩ්ලි සහ එල්. අජන්තන් යන දෙමළ ජාතික සිරකරුවන් 13 දෙනා තම නිදහස පතා සැප්තැම්බර් මස 6 වන දින සිට කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ ඔවුන්ට සමබන්ධ දේශපාලන පක්ෂයට ද, එම පක්ෂය විසින් නොමදව අනුග්‍රහ දැක්වූ දකුණේ වත්මන් ජනප්‍රිය අරගල බිමට ද, එය ද අදාළ නැත.
වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ජීවන්ත යන ශිෂ්‍ය ක්‍රියකාරීන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90 ක් රඳවා තබා ගැනීමට දැක්වූ විරෝධතාවය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි විරෝධතාවය සමඟ ද බද්ධ කරනු ලැබුව ද එම එරෙහි වීමේ පදනම නිශ්චිතව ලිහා දැක්වීමට අදාළ දේශපාලන කණ්ඩායම්හි වගකිව යුත්තන් සෘජුව විධිමත්ව ඉදිරිපත් නොවුණේ, ජනප්‍රිය අරගල බිම මතින් තමන් ප්‍රතික්ෂේප වීම වැළැක්වීමේ ප්‍රායෝගිකවාදී අර්ථයෙන් මෙන්ම ඔවුන්ට පැහැදිලි පොදු එකඟතාවයකට සෘජුව එළඹීමට නොහැකිවීමේ උභතෝකෝටිකය හේතුවෙන් ද අරගල සාමාජීකයින්ගේ සිංහල ජාතිවාදී ඛණ්ඩාංක නොසොල්වා සිටීමේ දේශපාලන දරිද්‍රතාවය හේතුවෙන් ද විය හැක. දකුණේ අරගලකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වන්නේ, 'අප පමණක් ත්‍රස්තවාදීන් නොවේ.' යන මතයේ සිට නම්, 'සන්නද්ධ අරගලකරුවන් ත්‍රස්තවාදීන් ය.' යන මතයේ සිට නම්, 'අපි ත්‍රස්තවාදීන් නොවූව ද උතුරේ අරගලකරුවන් ත්‍රස්තවාදීන් ය.' යන මතයේ සිට නම්, එය අතිශය වැරදිසහගත ප්රවේශයකි. උතුරේ අරගලකරුවන් ද ත්‍රස්තවාදීන් නොවන බව දකුණේ අරගල කරුවන් විසින් පිළිගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කොන්දේසි විරහිතව එරෙහි වන්නේ නම් පමණක්, එම එරෙහිවීම සැබෑ එරෙහි වීමක් වනු ඇත.
තත්වය එසේ විය යුතුව තිබිය දී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු දකුණේ අරගල බිම මත කුමන දේශපාලන පදනමින් හෝ කරළියට ගෙනා 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු.' යන සටන් පාඨය 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා නොකරනු.' යන සටන් පාඨය දක්වා පල්ලම් බසින ආකාරයක් පසුව පෙන්නුම් කළ අතර, අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියකාරීන් තිදෙනාගෙන් හෂාන් ජීවන්ත මුදාහළ පසු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම රඳවාතබා ගැනීමට එරෙහිව කරනු ලබන වත්මන් විරෝධතා තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වීමේ සටන් පාඨය මේ වන විට මුලුමනින්ම අතුරුදහන්ව ඇත. ජනතාව විසින් දේශපාලන ව්‍යාපාරවල හැඩය තීරණය කිරීම මිස, දේශපාලන ව්‍යාපාර විසින් ජනතාව ගොඩනැගීම දකුණ මත තවදුරටත් සිහිනයක් බව ද, ජනතාව වෙනස් කිරීම උදෙසා වූ දේශපාලන ව්‍යාපාරයක මහා හිඩැස දකුණ මත තවදුරටත් එලෙසම පවතින බව ද, එමගින් නැවතත් සනාථ කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය 43 සේනාංකය සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව සාකච්ඡා කිරීමේ හාස්‍ය නාටකය ද මේ සියල්ල අතුරතුර ප්‍රදර්ශනය කරන ලදී. ඔවුන්ට ඇති ගැටලුව වන්නේ PTA නොව, එය දකුණේ අරගලකරුවන්ට එරෙහිව භාවිතා කිරීම පමණක් නම්, එම හමුවෙහි ඇත්තේ හාස්‍යජනකත්වයක් නොව බියජනකත්වයකි. මෙම තත්වය වනාහි, උතුරටත් දකුණටත් පොදු වන ලෙස කොන්දේසි විරහිතව කාලාන්තරයක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වූ අති සලුතරයට ද එල්ල කරන පහරකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වීම පිළිබඳව පාඨලී සමඟ සාකච්ඡා කිරීමේ බියජනක හාස්‍ය නාටකයෙන් ඉක්බිති, PTA පිළිබඳව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බනම් දැනුවත් කිරීමේ විහිලුව ද අන්තරේ විසින් සිදුකළ අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගෙන් අන්තරේ PTA පිළිබඳව උගත යුතුව ඇත. ඉක්බිතිව අන්තරේ විසින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම සොයුරන් අත්අඩංගුවට ගැනීමට විරෝධයපෑමේ තම වේදිකාව මතට සරත් ෆොන්සේකා කැඳවීමෙන් තම දේශපාලන අනවබෝධය තවදුරටත් ප්‍රකට කරන ලදී.
ත්‍රස්තවාදියා වනාහි රාජ්‍යය මිස, ත්‍රස්තවාදී රාජ්‍යයට එරෙහි වන අරගලකරුවන් නොවේ. එය දකුණට සේ ම උතුරටත් පොදු ය. බහුතර වත්මන් දකුණු අරගලකරුවන් යළි යළි උදම් අනනා ලෙසට, නිරායුධ වූ පමණින් අරගලයක් 'ආදරණීය' නොවේ. සන්නද්ධ වූ පමණින් අරගලයක් 'අනාදරණීය' නොවේ. නිවැරදි පුළුල් දේශපාලන අරමුණක් සහිත සන්නද්ධ අරගල 'අතිශය ආදරණීය' ය. දකුණු අරගලකරුවන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රශ්න කරමින් සිටි මොහොතේ දී, උතුරු අරගලකරුවන් විසින් දකුණේ බහුතරය එම පනතට එරෙහි වන දේශපාලන පදනම ප්‍රශ්න කරන ලදී. ඒ සාධාරණ නිවැරදි තර්කයන් මත පිහිටා සිටිමිනි. 'ත්‍රස්තවාදය' පිළිබඳව රාජ්‍යය විසින් දකුණේ සාතිශය බහුතරයට ලබා දී ඇති දෘෂ්ටියට ගොදුරු වූවන්ට ද ඔවුන්ගේ ප්‍රකාශයන් මගහැර යා නොහැකි වනු ඇත. පහත දැක්වෙන්නේ උතුරේ දෙමළ සහෝදරයකු විසින් මේ අවස්ථාවේ තැබූ සටහනක සිංහල පරිවර්තනයකි.
''රඝුපති ෂර්මා නමැති ශෛව පූජකවරයා ත්‍රස්තවාදී පනත යටතේ වසර 300ක සිර දඬුවමකට යටත්ව තවමත් සිරගතව සිටියි. මොරටුව විශ්වවිද්යාලයේ ඉංජිනේරුවෙකු වන අවුරෝරන් 2008 වසරේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දේශපාලන සිරකරුවෙකු ලෙස පසුගිය වසර 12ක කාලයක් සිරගතව සිට ඇත. බලහත්කාර පාපොච්චාරණයක් මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ආනන්ද සුදාකරන් තවමත් සිරගතව සිටියි. චිත්‍රපට සංස්ථා දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂ කනකසබෙයි දේවදාසන් ත්‍රස්තවාදී පනත යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටියි. පාර්තීපන් වයස අවුරුදු 19 දී අත්අඩංගුවට ගෙන වසර 26ක් දේශපාලන සිරකරුවෙකු ලෙස සිරකර තබා ඇත. දෙමළ වෛද්යවරයකු වන සිවරූබන් 2019 වසරේ සිට රඳවා තබා ඇත. දේශපාලන සිරකරුවෙකු වූ සෙල්ලපිල්ලේ මහේන්ද්‍රන් වයස අවුරුදු 19 සිට වසර 26ක් සිරගතව සිට 45 හැවිරිදි වියේදී සිරගෙදරදී මිය ගියේය. වසර 13ක් සිරගෙයින් නිදහස් වීමට බලාපොරොත්තුවෙන් සිටි මුත්තයියා සහදේවන් දියවැඩියා රෝගයෙන් පෙළුණු අතර වකුගඩු රෝගයෙන් බන්ධනාගාරයේදීම මිය ගියේය. දෙමළ දේශපාලන සිරකරුවෙකු වන තිරු ගනේෂන් නිමලරූබන් සිරගෙදරදී පහර කෑමට ලක්ව මිය යයි. එම සිද්ධියේදී මරියදාස් දිල්රුක්ෂාන් නමැති දේශපාලන සිරකරුවාට ද පහර දී ඝාතනය කරන ලදී. එසේම බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් 41 දෙනාගෙන් 27 දෙනෙකු ඝාතනය කර තිබේ.
ඉහත සඳහන් කර ඇත්තේ උදාහරණ කිහිපයක් පමණි. ඔවුන් වැනි තවත් සිය ගණනක් කිසිදු මූලික හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටිති. යුක්තිය ඉටු නොවී බොහෝ දෙනෙක් සිරකඳවුරු තුළ මිය ගියහ. බොහෝවිට ඔවුන්ට පහර දී මරාදමන ලදී. සමාජ මාධ්ය ජාලාවල සිදුකළ පළකිරීම් සඳහා පමණක් 80කට අධික පිරිසක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන තිබේ. මේවා ප්‍රමාණවත් නොවූවාක් මෙන් හිටපු ඇමති ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ත්රස්ත මර්දන පනත යටතේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන්ට මරණීය තර්ජනය කළේය.
ත්රිකුණාමලය කුමාරපුරම් සමූලඝාතනය, ත්රිකුණාමලයේ සිසුන් 5 දෙනෙකු ඝාතනය, ජාත්යන්තර ඇක්ෂන් රාජ්ය නොවන සංවිධානයේ සේවක සංහාරය, කොළඹින් පැහැරගෙන යන ලද දෙමළ සිසුන් 11 දෙනෙකු ඝාතනය කිරීම යන සිද්ධීන්වලට සම්බන්ධ ශ්රී ලංකා හමුදා නිලධාරීන් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. එලෙසම රවිරාජ්, ජෝශප් පරරාජසිංහම් ඝාතනවලට සම්බන්ධ පිල්ලෙයාන් සහ හමුදා නිලධාරීන් ද නිදහස් විය. මිරුසුවිල් ප්රදේශයේදී පස් වියැති දරුවකු ද ඇතුළුව දෙමළ ජාතිකයන් 8 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනයට නියම වූ යුධ හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායකට පොදු සමාව හිමිව ඇත. ගිනි අවි ළග තබා ගැනීමේ නඩුවකට සිරදඬුවම් නියම වූ මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරාධිපති සුමන හිමියන්ට පොදු සමාව හිමිව තිබේ. වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිරදඬුවම් විඳිමින් සිටි ඥානසාර හිමියන්ට පොදු සමාව ලැබී ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්රධානියා ලෙස පසුගිය කාලයේ පත් කෙරිණි. ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණ දණ්ඩනය නියම වූ ජූඩ් ශාමන්ත ජයමහට ද පොදු සමාව හිමි විය.
මේවායින් පෙනෙන්නේ, නීතිය සාධරණ නොවන බවයි. පවතින්නේ නීති විරෝධී පාලනයකි. අධිකරණය විසින් එම නීති විරෝධී පාලනය පිළිගෙන තිබේ. එනම් ලංකාවේ සිංහල බෞද්ධ දේශපාලන අධිකාරිය, නීතිය හා අධිකරණයට වඩා ඉහළින් පවතී. සිංහල බෞද්ධ දේශපාලනයේ හෝ ජාතික ආරක්ෂාවේ මූලික මතවාදය ප්රශ්න කිරීමට නීතිය හෝ අධිකරණය කිසිවිටෙක සූදානම් නැත...''
මෙම අදහස් දක්වන දෙමළ සොයුරාගේ අනන්‍යතාව හෙළි නොකිරීමට සිදුව ඇත්තේ ද නීතිය විසින් ඔවුන්ගේ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කර ඇති බැවිනි. මේ අනුව නැවත නැවත තහවුරු වන්නේ නීතිය යනු මූලිකවම රාජ්‍ය පීඩනය සුරකිමින් ජනතාවට එරෙහිව පවතින්නක් බව යි.
Comments
Post a Comment