නවාලි මතක - මොරීන් අර්නස්ට්

 


ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නවාලි වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 2020 ජූලි 9 වන දිනට වසර 25ක් සපිරේ.
මම මොරීන් අර්නස්ට්. මේ, එදින පිළිබඳ මගේ මතකයත්, එයින් පසු සිදුවූ දේ මා ඇසින් දුටු ආකාරයත්, එතැන් පටන් මගේ ගමනත් ගැන සටහනකි.

නවාලි යනු ශ්‍රී ලංකාවේ යාපන නගරයේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි මගේ ගමයි. එය වෙල් යායකින් වට වී ඇත. නවාලි ගම්මානයෙන් බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් බිහි වී ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් නවාලියූර් සෝමසුන්දර පුලවර් ය. ඔහු ජනප්‍රිය කවියෙකු සහ දෙමළ විද්වතෙක් වූ අතර, 1953 දී ඔහු මිය යන තෙක් ම ඔහුගේ ජීවිත කාලය තුළ, ඊළම (ශ්‍රී ලංකාව සඳහා දේශීය දෙමළ නම) තුළ ඉතා ඉහළ පිළිගැනීමක් ලැබීය. ළමයින් සඳහා වූ ඔහුගේ කවි සමකාලීන දෙමළ සාහිත්‍යය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

ඉඩිකුණ්ඩු නමින් හැඳින්වන ප්‍රසිද්ධ ස්වාභාවික ජල ළිඳක් නවාලි ග්‍රාමයේ ඇති අතර එහි අර්ථය ගිගුරුම් ළිඳ යන්නයි. පුරාවෘත්ත පවසන්නේ එය විසි වන සියවසේ මුල් භාගයේ දී අකුණු සැර වැදීමකින් නිර්මාණය වූ බවයි. තවද ඇතැමුන් අනුමාන කරන්නේ එය ග්‍රාහකයක් ගැටීමෙන් බිහිවූවක් විය හැකි බවයි. මෙම ළිඳ බොහෝ ගැඹුරු වන අතර එම ගැඹුර කොතරම් ද යන්න කිසිවෙක් නොදනී.
නවාලි ග්‍රාමයේ බොහෝ හින්දු කෝවිල් ද ශාන්ත පීතර සහ ශාන්ත පෝල් කතෝලික දේවස්ථානය ද රෙපරමාදු පල්ලි කිහිපයක් ද පිහිටා ඇත. නවාලි යන දමිළ වචනය ගොඩනැගෙන්නේ හින්දු කෝවිල් නවයක් ඇති ගම්මානය යන අර්ථයෙනි.

නවාලි ග්‍රාමයේ ප්‍රාථමික පාසල් සහ සාමාන්‍යපෙළ දක්වා වූ ද්විතීයික පාසලක් ඇත. මම නවාලිහි පිහිටි ශාන්ත පීතර රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ සාඩම්බර ආදි ශිෂ්‍යාවකි.

දෙමළ ජාතිකයෙකු  වීමේ වේදනාව...

1995 ජුලි 9 වන දින ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් යාපනය අර්ධද්වීපය නැවත අත්පත් කර ගැනීම සඳහා යාපනය නගරයට උතුරින් පිහිටි දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ)  පාලන ප්‍රදේශවලට එරෙහිව මහා පරිමාණ මිලිටරි ප්‍රහාරයක් දියත් කරන ලදී. එම ඉදිරි පිම්ම මෙහෙයුම ජූලි 9 වැනිදා අලුයම ආරම්භ විය. පලාලි කඳවුරේ නිරිතදිග කොටසෙන් ඉවත් වෙන ලෙස හමුදාව සිවිල් වැසියන්ට අනතුරු ඇඟවූ අතර, පල්ලි සහ කෝවිල්වල නවාතැන් ගන්නා ලෙස නිර්දේශ කළේය. දැඩි කාලතුවක්කු ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මගින් මෙහෙයුම ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවති අතර, වහාම දස දහස් ගණනක් සිවිල් වැසියන්ට ප්‍රදේශයෙන් ඉවත් වීමට බල කෙරුණි. සිවිල් වැසියන්ට සිදුවන හානිය වළක්වා ගැනීමේ පූර්වාරක්ෂක ක්‍රියාවක් ලෙස, කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින අර්ධද්වීපයේ දෙමළ සිවිල් වැසියන් හට මරණයට පත්වීමට හෝ තුවාල වීමට ඇති ඉඩකඩ අවම කර ගැනීම සඳහා කෝවිල් සහ පල්ලි වෙත ගොස් රැකවරණය ලබන ලෙස දන්වමින් හමුදාව විසින් පත්‍රිකා බෙදා හැර තිබුණි. දහස් ගණනක් ජනතාව අතින් ගෙන යා හැකි බෑග් පමණක් රැගෙන ආරක්ෂිත ප්‍රදේශවලට පලා ගියහ.

මහා නික්මයාමක් දෑසින් දැකීම..

භීතියෙන් ඇළලී ගිය ජනතාව විළාප තබමින් නවාලි පටු මාවත් හරහා තදබද වෙමින් සරණාගතයින් ලෙස පිටව ගියහ. මම මගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිටට වී, සින්තාමනී පිල්ලෙයාර් කෝවිලට යාබදව, සැතපුම් ගණන් පයින් ගිය ජනතාවට වතුර බෙදමින් සිටියෙමි. මාර්ගය අවහිර වී තිබිණි. එළුවන්, එළදෙනුන්, බල්ලන්, කූඩුවල දැමූ කුරුල්ලන් සමඟ මාවත දිගේ මිනිස්සු ඇදෙමින් සිටියහ. ඇතැමුන් බයිසිකල්වල අත්‍යවශ්‍ය දෑ පටවාගෙන අනෙක් අය සමඟ එක්ව ඇවිද ගියහ. ඇතැම් පිරිමි අය විසින් දරුවන්, මහල්ලන්, ගර්භනී කාන්තාවන් සහ ආබාධිතයින් තම බයිසිකලයේ තබාගෙන ගියහ. සමහරු කරත්තවල ගමන් කළහ. ඒ දැවැන්ත අවතැන්වීම අතර දක්නට ලැබුණේ යතුරුපැදි, මෝටර්රථ සහ ට්‍රැක්ටර් ස්වල්පයක් පමණි.

නවාලියේ ශාන්ත පීතර සහ පෝල් දේවස්ථානයේද නවාලි චින්න කදිර්ගාමර් මුරුගන් කෝවිලේ ද සිටි සරණාගතයින් සිය ගණන ඇතුළුව, අවතැන් වූවන්ගෙන් බොහෝ දෙනා පල්ලි සහ කෝවිල්වල නවාතැන් ගත්හ. බහුතරයක් පාවහන් නොමැතිව නවාලියට පැමිණියේ ප්‍රහාරයෙන් ගැලවීමට තම නිවෙස්වල සිටියදී හදිසියේ පලා ආ බැවිනි.

ආගන්තුක සත්කාර ගුණයෙන් පිරි ගමක්...

නවාලි ජනතාව විසින් සරණාගතයින් බාරගත් අතර ඔවුන්ට කිරි, වියළි ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි දෛනික අවශ්‍යතා ලබා දෙන ලදී. නවාලි ග්‍රාම නිලධාරිනී හේමලතා මහත්මිය සරණාගතයින් සඳහා ආධාර සැපයීමට නවාලි ශාන්ත පීතර දේවස්ථානයට යන අයුරු මම දුටුවෙමි. රාත්‍රී ආහාරය සඳහා සහ රාත්‍රී නවාතැන් සූදානම් කිරීම සඳහා නවාලි ජනතාව දේවස්ථාන පරිශ්‍රයට රැස් වූහ. කලින් සිදුවූ ගුවන් ප්‍රහාරවලින් බේරීමට එහි ආ නවාලි වැසියන්ගෙන් සහ සරණාගතයින්ගෙන් දේවස්ථාන භූමිය පිරී ගොස් තිබුණි.

ස්වර්ගයෙන් ආ ව්‍යසනය...

1995 ජූලි 9 සවස - මම ගුවන් යානයක් දුටුවෙමි. කුඩා කළු පැහැ මොනයම් හෝ දේවල් එයින් පිටතට එන ආකාරය ද මම දුටුවෙමි. මා සිතුවේ ඒවා ශ්‍රී ලංකා රජයෙන් අපේ ජීවිත බේරගැනීමට යම් මඟ පෙන්වීමක් සඳහා බෙදන පත්‍රිකා කියා ය. මා අසල සිටි මිනිසා අපට බිම වැතිරෙන ලෙස අණ කළේය. මම ගල් සහිත බිමෙහි වැතිර ගතිමි. පසුව මට දැනගන්නට ලැබුණේ එය යුද කලාපයෙන් කිලෝමීටර් තුනක් ඔබ්බෙහි පිහිටි නවාලි පල්ලිය දෙසට පියාසර කළ ආර්ජන්ටිනාවේ නිෂ්පාදිත පුකාරා ප්‍රහාරක යානයක් බවත්, එයිිින් විවිධ ස්ථාන 8කට පොකුරු බෝම්බ 8ක් හෙළුෑ බවත් ය. 8 වැනි බෝම්බය මගේ පිය පාර්ශවයේ සීයාගේ නිවසට වැටුණි. බොහෝ නිවාස බිමට සමතලා වී තිබූ අතර තවත් නිවාසවලට විශාල වශයෙන් හානි සිදු විය.

මිනිස් ජීවිතවල අහිමි වූ වටිනාකම...

පල්ලිය තුළ රැඳී සිටි බහුතරය කාන්තාවන් සහ ළමයින් වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා එතැනම ඝාතනයට ලක්වූහ. තවත් අයගේ අත් පා කැබලි වී ගියේ ය. සුන්බුන් අතරින් සිරුරු ගොඩගන්නා ලදී. ඔවුන්ගෙන් එක් අයෙක් මගේ මවගේ ඥාති සහෝදරයෙක් විය. නවාලි සංහාරයේ ප්‍රතිඵලයක් ලෙස අතිවිශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදු වූ අතර, පසුව පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බොහෝ බිළිඳුන් සුන්බුන් අතරින් ගොඩගන්නා ලදී. ගොඩනැගිලි සුන්බුන් යට සිරවී මිනිසුන් මිය ගියහ. පිපිරුණු බෝම්බවල තියුණු කැබලි වැදී බොහෝ දෙනෙක් මිය ගියහ. 150කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූ අතර අත් පා අහිමි විය. මාගේ නැන්දණිය ද බෝම්බ කැබැල්ලක් වැදී තුවාල ලැබුවා ය.

දිවි ගලවාගනු පිණිස සටන...

දිවි ගලවා ගත් පිරිස කිලෝමීටර් 6 ක් දුරින් පිහිටි යාපනය ශික්ෂණ රෝහල වෙත ගෙන යාමට ප්‍රවාහන පහසුකම් සොයා ගැනීම ඉතා දුෂ්කර විය. ඇතමුන්ව ට්‍රැක්ටර්වලින් ගෙන යන ලදී. මාගේ නැන්දනිය යතුරුපැදියකින් රැගෙන ගිය අතර මගදී ඇයව ගිලන් රථයකට මාරු කරන ලදී. එදින සවස සහ රාත්‍රිය වනතුරු ශ්‍රී ලංකා රතු කුරුස කාර්ය මණ්ඩලය විසින් තුවාලකරුවන්ගෙන් වැඩි පිරිසක් ගිලන් රථවලින් රෝහල වෙත ගෙන යන ලදී. නමුත් රෝහල සහ එහි එකම ශල්‍ය වෛද්‍යවරයා ඊට ප්‍රමාණවත් වූයේ නැත. වෙළුම් පටි, ප්‍රතිජීවක ඖෂධ සහ ඇඳන් වේගයෙන් අවසන් විය.

මරණ බිය ජීවිතය බවට පත් වේ...

මාගේ නවාලි ග්‍රාමයේ සියලුම ජනතාව සරණාගතයින් ලෙස ආරක්ෂිත ප්‍රදේශවලට පලා ගියහ. බොහෝ ඥාතීන් තම ආදරණීයයන් අහිමි වීම නිසා පමණක් නොව, ඔවුන්ගේ අවසන් චාරිත්‍ර හෝ භූමදාන කටයුතු සිදු කිරීමට අවස්ථාව අහිමි වීම නිසා මානසික කඩා වැටීම්වලට ලක් වූහ.  ප්‍රදේශය පුරා විසිරුණු ඉරී ගිය අත් පා සහ මිනිස් මස් කැබලි පසුකරමින් අප ගමන්ගත් අතර, ලේ පැල්ලම් සහ ලේ තැවරුණු ඇඳුම් තවමත් භූමියේ විසිර තිබෙනු අපට හමු විය. ප්‍රහාරය සිදු වූ ස්ථානයට පසුදා උදෑසන පැමිණ සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයෝ සිදුව ඇති සුවිසල් හානිය සටහන් කර ඛේදවාචකයේ ප්‍රමාණය මැන බැලූහ. එසේම, බොහෝ සිරුරු සුන්බුන්වලින් තවමත් ඉවත් කර නොමැති බව ඔවුහු දුටුවෝය.

වේදනාව ජීවිතයේ අරුත විය...

ඊළඟ සති දෙකේදී මම මගේ නැන්දා ඇතුළත් කළ යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට කාලය ගත කළෙමි. ඒ කාලය තුළ එල්ටීටීඊ සොල්දාදුවන්ගෙන් සහ අහිංසක මිනිසුන්ගෙන් රෝහල පිරී යනු මම සියැසින් දුටුවෙමි. තුවාලකරුවන්ගේ වැලපීම සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ අඳෝනාවන් මට නිතරම ඇසුණි. රෝහලේ දවස් ගෙවුණේ දැරිය නොහැකි වේදනාවන් අතරය. එමෙන්ම මෝචරිය ඉදිරිපිට මෘත ශරීර කසළ සේ  ගොඩගසා ඇති අයුරු මම දිටිමි. එය මට අතිශය කම්පිත මොහොතක් විය. මම අද දක්වාම ඒ ලේ, මළ සිරුරු, ශරීර කොටස්වල මතකයේ රැඳුණු ම්ලේච්ඡ දසුන් සමඟ විඳවන්නෙමි.

දෙමළ වීම නිසා අමානුෂික ලෙස ඝාතනය කරන ලදී...

මගේ නැන්දා 1995 ජූලි 24 වෙනිදා යාපනය රෝහලේදී මිය ගියා ය. එදා වනතුරු අපි යාපනේ සිටියෙමු. ඇයගේ මෘත දේහය රැගෙන අපි නැවත නවාලියට පැමිණියෙමු. එය සිංහල රජය විසින් මගේ පවුලට සිදු කරන ලද දෙවන ඛේදනීය මරණය විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයෙන් තම බාල දියණිය අහිමි වන විට මගේ පියාගේ මව ජීවත්ව සිටියා ය. තරුණ වැන්දඹුවක්ව සිටි ඇය සිය සැමියා අහිමිව සිටියා ය. සිංහල පමණක් පනතට එරෙහි සත්‍යග්‍රහයේ දී ඔහු පොලීසියෙන් පහර කෑමට ලක් වූ අතර පසුව හෘදයාබාධයකින් මිය ගියේ ය. එතරම් අහිංසක ලෙස ජීවත් වූ සමීපතමයෙකු  අහිමි වීම ඉතා වේදනාකාරී හා හද කම්පා කරවන සුළු එකක් විය. ශ්‍රී ලංකා රජය කෙරෙහි කාගෙත් ඇති වී තිබුණේ දැඩි කෝපයක් සහ අමනාපයකි. අහසින් හෙළන ලද බෝම්බ මගේ හදවතේ වසක් මෙන් එතැන් පටන් වාසය කළේය.

මාවම සුවපත් කිරීම...

දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් මෙම සිදුවීමෙන් තවමත් කම්පනයට පත්ව සිටිති. මා ඔවුන්ගෙන් කෙනෙකි. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විසින් නවාලි බෝම්බ ප්‍රහාරයේ මතකයන් මට නැවත ආවර්ජනය කරවන ලදී. PTSD (පශ්චාත් කම්පන ආතති ආබාධය) යනු මා ජීවිත කාලය පුරාම දිනපතා කරන සටනකි.

එක් ලංකාවක් ප්‍රතිෂ්ඨාපනය කිරීම උදෙසා වූ මගේ බලාපොරොත්තුව...

CBK මැතිණිය (ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග) නවාලි ජනතාවගෙන් සමාව අයැද නවාලි බෝම්බ ප්‍රහාරයේ වගකීම භාර ගන්නා දිනයක් මම බලාපොරොත්තු වෙමි, එවිට සංහිඳියාව කරා ගමන් කිරීම උදෙසා අපටම සුවය ලැබිය හැකිය.

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව