1985 ත්‍රිකුණාමල සංහාර
සිංහල ස්වෝත්තමවාදී උන්මාදයේ පීඩනය දෙමළාට එරෙහිව මුදා හැරීම අවසන් වූ දිනෙක,
දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ අතීතය හාරා ඇවිස්සීම අවසන් කළ හැක.
එතෙක් එය නොනැවැත්විය යුත්තකි.
දෙමළාට එරෙහි පීඩනය ද පීඩනයට එරෙහි අරගලය ද අවසන් වී නොමැති බැවිනි. ,
සිංහල ඉතිහාස ප්‍රබන්ධය බිඳ දමා සත්‍යයට අභිමුඛ වීම අනාගතය වෙනුවෙන් සිදු කළ යුතු බැවිනි. ,
එකී ක්‍රියාවලියෙහි බරපතල කාර්යභාරය සිංහල සමාජය අභිමුවෙහි පවතින්නක් බැවිනි.
1985 ත්‍රිකුණාමල සංහාරය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, පාරම්පරික දෙමළ ජනාවාස ඉවත් කර සිංහල ජනපද ව්‍යාප්ත කරමින් සිංහල අධිපතිවාදී රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාප්තිය සඳහා, 1985 වර්ෂයේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ සිංහල ග්‍රාම ආරක්ෂක භටයින් විසින් සිංහල මැර කණ්ඩායම්වල ද සහයෝගය ඇතිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි දෙමළ සිවිල් වැසියන් මහාපරිමාණයෙන් මරා දැමීමේ සැලසුම් සහගත සමූහ ඝාතන මාලාවකි. සැප්තැම්බර් මාසයෙන් පසුව ද මෙම වර්ෂය තුළ ත්‍රිකුණාලමය දිස්ත්‍රික්කයේ තවදුරටත් සමූහ ඝාතන සිදු කරන ලද අතර මෙම ලිපියෙහි අවසන එම සිදුවීම් පිළිබඳව ද දක්වා ඇත.
දෙමළ නිජබිම් අත්පත් කරගැනීම සඳහා, රාජ්‍ය ආරක්ෂක අංශ විසින් මාස කිහිපයක් තිස්සේ මෙම සමූහ ඝාතන මාලාව සිදු කරමින් ද දෙමළ කාන්තාවන්ට ලිංගික වධ හිංසා සිදු කරමින් ද දේපල විනාශ කරමින් ද පාරම්පරික ගම්වැසියන් දහස් ගණනක් ඔවුන් පදිංචිව සිටි භූමීන් වෙතින් පලවා හරින ලදී. ශ්‍රී ලංකා රාජ්‍යය විසින් මනාව සංවිධානය කරන ලද මෙම නව ජනපදකරණ ව්‍යාපාරය තුළ දිස්ත්‍රික්කයේ බොහෝ දෙමළ ජනාවාස විනාශ කර දමන ලදී. ත්‍රිකුණාමලය නගරයේ සමස්ත දෙමළ ජනතාවම පාහේ වනාන්තරවල සහ සරණාගත කඳවුරුවල අවතැන් වූහ.
රාජ්‍ය පාලකයන් විසින් මනාව සංවිධානය කරන ලද අති බිහිසුණු දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් අතරතුර මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් අසීරුවෙන් ලබාගත් දත්ත අනුව මෙම සමූහ ඝාතන මාලාව සම්බන්ධව පහත සඳහන් තොරතුරු ගොනුකර ඇති අතර එහිදී මගහැරුණු සිදුවීම් බොහොමක් ඇති බව අවධාරණය කළ යුතු ය. එබැවින් මෙය අතිශය අසම්පූර්ණ වාර්තාවකි.
1985 වර්ෂයේ මැයි මස 3 වන දින මහින්දපුර සහ දෙහිවත්ත ප්‍රදේශවලදී සිංහල මැර කල්ලි සහ ශ්‍රී ලංකා හමුදාව විසින් සිවිල් වැසියන් 50 දෙනෙකු ඝාතනය කිරීමෙන් මෙම සංහාර මාලාව ආරම්භ වෙයි. අන්බුවලිපුරම් ප්‍රදේශයේ දර එකතු කිරීමට ගිය 10 දෙනෙකුට වැඩි පිරිසක් ද ආපසු නිවසට පැමිණියේ නැත. ඔවුන්ගේ ගොනුන් සහ කරත්ත පසුව සොයා ගන්නා ලදී. ඔවුන් ග්‍රාමාරක්ෂකයින් සහ ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කර ඇති බවට සැක කෙරේ.
ඉන්පසු මැයි 23 වන දින ත්‍රිකුණාමලයට උතුරින් පිහිටි නිලාවේලි ප්‍රදේශයට යුද හමුදාව විසින් ප්‍රහාරයක් දියත් කළ අතර එහි දී ශ්‍රී ලංකා හමුදාව විසින් සිවිල් වැසියන් 8 දෙනෙකු ඔවුන්ගේ නිවෙස් තුළ දී ම වෙඩි තබා ඝාතනය කරන ලදී. මියගිය අය අතර ත්‍රිකුණාමලය පුරවැසි කමිටුවේ සභාපති කේ. සිවපාලන්ගේ පුත් එස්.ගංගදරන් (30) ද විය.
ඊට පසුදා, එනම් මැයි 24 වන දින මූතූර් ප්‍රදේශයට දකුණින් වූ අල්ලායි ජනපද යෝජනා ක්‍රමයේ දී යුද හමුදාව සහ අලුතින් බඳවා ගත් සිංහල ග්‍රාමාරක්ෂක භටයින් විසින් දෙමළ ගම්මානවලට ප්‍රහාර දියත් කළහ. මැයි 24 වන දින දෙහිවත්තේ සිටි සිංහල ග්‍රාමාරක්ෂක භටයන් විසින් කන්කුවේලි ප්‍රදේශයේ සිට වෙළඳාමේ පැමිණි දෙමළ සිවිල් වැසියන් දෙදෙනෙකු ඝාතනය කරන ලදී. එදිනම පාන්කුලම්හි දී සිවිල් වැසියන් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදී. තමෝදරම්පිල්ලේගේ පවුලේ කිහිප දෙනෙකු ම එම වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර, තමෝදරම්පිල්ලේගේ බිරිඳ වන පරමේශ්වරී, දෙහැවිරිදි බිළිඳිිය වූ ජෙයබාලන්, හැට පස් හැවිරිදි පාණ්ඩි අබිරාමි සහ තවත් කාන්තාවක් වන මාරිමුතු වල්ලි ඒ අතර වූහ. කන්කුවේලි ප්‍රදේශයේ ඥාතීන් බැලීම සඳහා අල්ලායි (ලිංගපුරම්) සිට කංගුවේලි දක්වා යමින් සිටි පියෙකු සහ ඔහුගේ 12 හැවිරිදි පුත්‍රයා කංගුවේලිකුලම් ආසන්නයේ දී ශ්‍රී ලංකා ග්‍රාමාරක්ෂකයින් විසින් කපා කොටා ඝාතනය කර සිරුරු වළ දමා ඇත.
මැයි 25 වන දින පාන්කුලම් ගම්මානයේ සිවිල් වැසියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර, ගම්වැසියන්ගේ නිවාස ගිනිබත් කර ඇත.
මැයි 26 වන දින එච්චිලම්පත්තු ප්‍රදේශයේ පූනගර් ප්‍රදේශයේ දෙමළ ජනතාවට අයත් නිවාස හා දේපළ 40කට අධික ප්‍රමාණයක් ගිනි තබා ඇත. කැළෑවට ගිය සිවිල් වැසියන් දෙදෙනෙක් අල්ලායි - කන්තලායි මාර්ගයේ ග්‍රාමාරක්ෂකයින් විසින් ඝාතනය කර ඇත. එදිනම කුනිකුඩා ප්‍රදේශයේ ධීවරයින් කිහිප දෙනෙකු මසුන් අල්ලමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එයින් ධීවරයින් තිදෙනෙකුගේ මළ සිරුරු ගොඩගන්නා ලදී.
මැයි 27 වන දින මඩකලපුව - මුතූර් මාර්ගයේ පනස් දෙවෙනි සැතපුම් කණුවේදී මහින්දපුර අසළ දී රාජ්‍ය ප්‍රවාහන සේවයට අයත් සී.ටී.බී. බස් රථයක් නවතා රියදුරු පුෂ්පරාජා ඇතුළු දෙමළ සිවිල් වැසියන් 7 දෙනෙකුට සිංහල ග්‍රාමාරක්ෂකයින් විසින් වෙඩි තබා ඔවුන්ගේ සිරුරු පුළුස්සා දමන ලදී. එහිදී එච්චිලම්පත්තු ගම්සභාවේ සේවය කළ ක්‍රිෂ්ණපිල්ලේ වෙඩි වැදී පිළිස්සුම් තුවාල සහිතව දිවි ගලවා ගත්තේය.
මැයි 31 වෙනිදා රාත්‍රියේ සේරුනුවර ග්‍රාමාරක්ෂකයන් සහ පොලිස් කණ්ඩායමක් විසින් කිලිවෙඩ්ඩි දකුණු ඉවුරෙන් කාන්තාවන් ඇතුළුව දෙමළ ජාතිකයින් 37 දෙනෙකු පැහැරගෙන යන ලදී. ඔවුන් ප්‍රථමයෙන් පොලිස් ස්ථානයට රැගෙන ගොස් පසුව කන්තලේ දෙසට රැගෙන යන ලදී. අල්ලායි කන්තලායි මාර්ගයේ මහවැලි පාලම පසුකර සම්බල්පිඩ්ඩි ප්‍රදේශයේදී ඔවුන් සමූල ඝාතනය කර පුළුස්සා දමන ලදී. එදින රාත්‍රියේම ප්‍රදේශයේ ජනතාව සැතපුම් පහක් ඈතින් පිහිටි පච්චනූර් සහ තෝප්පුර් වැනි ස්ථානවලටත්, ත්‍රිකුණාමලය නගරයට සහ ඉන් ඔබ්බටත් පලා ගියහ. මරා දමා පුළුස්සා දැමූ අය අතර උදයසූරියා සෙල්වරාජා සහ යෝගමලර් සිවරාජා යන තරුණියන් දෙදෙනා ද වූහ. නිවාස 50ක් පමණ ගිනිබත් කරන ලදී. මෙම සමූහඝාතනය පිළිබඳ තොරතුරු පිටතට ලබා දෙන ලද්දේ වෙඩි වැදී තුවාල ලබා ලඳු කැලෑ මැදින් ගැලවී පලා ආ රාසියා හෙවත් සින්නවන් විසිනි.
ජූනි 1 වෙනි දින රජයේ හමුදා සහ සිංහල මැර කණ්ඩායම් විසින් කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ නිවාස 125ක් ගිනි තබා දෙමළ ජාතිකයන් 10 දෙනෙකු මරා දැමීය. පසුව දෙමළ පිරිමින් 8 දෙනෙකු සහ දෙමළ කාන්තාවන් 5 දෙනෙකු දෙහිවත්තට ගෙන යන ලද අතර එහිදී පිරිමින් ඝාතනය කර කාන්තාවන් දූෂණය කරන ලදී. එම සිදුවීම පිළිබඳ වාර්තාව මෙසේ ය. 1985.06.01 දින ශ්‍රී ලංකා හමුදාව, ග්‍රාමාරක්ෂක භටයන් සහ සිංහල මැරයන් සමඟ කිලිවෙඩ්ඩි ගම්මානයට සවස 2.00 ට ඇතුළු විය. එවකට ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ කනකසබෛ (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තංගදුරෛෙගේ බාප්පා) යමෙකු සමඟ ගසක් යට කතා කරමින් සිට ඇත. එවිට ඔහු ප්‍රහාරකයින් දුටුව ද පලා යාමට යුහුසුලු නොවූයේ, ඔහු තම රාජකාරි සඳහා නිතර අසල්වැසි ගම්මානවලට යන්නෙකු බැවින් දෙහිවත්ත සිංහල ග්‍රාමයේ සිට ප්‍රහාරයට පැමිණී, ඔහු දන්නාකියන පුද්ගලයින් හඳුනාගත් බැවිනි. ඔවුන් විසින් කිලිවෙඩ්ඩි ග්‍රාමයට ප්‍රහාර එල්ල කරනු දුටු කනකසබෛ පිදුරු ගොඩක සැඟවීගත් අතර එය දුටු ඔහුගේ අසල්වැසි දෙහිවත්තේ සිංහල මැරයන් විසින් ඔහුව ඝාතනය කරන ලදී. එදින කිලිවෙඩ්ඩි ග්‍රාමයේ කාන්තාවන් 4 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ඝාතනය කරන ලදී. එසේ ඝාතනය කරන ලද්දේ කමලා රාසයියා සහ ඇගේ දියණියත්, ප්‍රාදේශීය හින්දු පූජක සුබ්‍රමනිය ෂර්මාගේ බිරිඳ වන රාජේශ්වරි සහ ඇගේ දියණිය ප්‍රශාන්තිත් ය. එදින නිවාස 125ක් ගිනි තබා පුලුස්සා දමන ලදී. පිරිමින් අට දෙනෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව ගම්වැසියන් 13 දෙනෙකු දෙහිවත්ත ගම්මානයට රැගෙන ගිය අතර එම පිරිමින් මරා දමා කාන්තාවන් දූෂණය කර ඇත. මෙම කාන්තාවන් අතර සින්නයියා සහ ඇයගේ දියණිය ද විය. දෙහිවත්ත ගම්මානයේ සිංහල වැසියන්ගේ ද සහය ඇතිව කිලිවෙඩ්ඩි ගම්වැසියන් කිහිප දෙනෙකු තම ඥාතීන් සොයා දෙහිවත්තට ගිය විට එක් කිලිවෙඩ්ඩි කාන්තාවක් නිරුවතින් ගසත බැඳ සිටිනු දක්නා ලදී.
ත්‍රිකුණාමලයේ සිටි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තංගදුරෛ විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශයක් කළ අතර එම ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍යවල විශාල වශයෙන් ප්‍රචාරය විය. තංගදුරෛ එම ප්‍රකාශය තුළිිින් අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට රජයෙන් චෝදනා එල්ල විය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස එවකට ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කළ බැවින් තංගදුරෛ ඉන්දියාවට පලා ගියේය.
ජූනි 2 වන දින ත්‍රිකුණාමලයේදී සිවිල් සෙබලුන් විසින් මගී බස් රථයකට හමුදාව විසින් වෙඩි තබා 13 දෙනෙකු ඝාතනය කරන ලදී, 9 දෙනෙකු තුවාල ලැබීය. අනතුරුව බස් රථයට ගිනි තබන ලදී. TULF සංවිධානය පවසන ආකාරයට, ත්‍රිකුණාමලයේ සිට පේදුරුතුඩුව දක්වා යාමට නියමිතව පැවති බස් රථය, අනුරාධපුර මාර්ගයේ දහයෙ කණුුව අසල දී සිංහල ග්‍රාමාරක්ෂකයින් විසින් නවතා කැලයට ගෙන ගොස් මගීන්ට වෙඩි තබා ඇත. මියගිය 13 දෙනා අතර කාන්තාවන් කිහිප දෙනෙකු ද සිට ඇත.
ජුනි 3 සහ 4 දිනවල 'අල්ලායි' යෝජනා ක්‍රමයේ සිංහල ජනපදයට ආසන්න සෑම දෙමළ ගම්මානයක්ම රජයේ හමුදා සහ සිංහල මැර කල්ලි විසින් විනාශ කරන ලදී. මුතූර් සහ කිලිවෙඩ්ඩි අතර ගම්මාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ අතර කිලිවෙඩ්ඩි, මැන්කාමම්, සිවපුරම්, කන්කුවේලි, පට්ටිතිඩාල්, පලත්තඩිචේනයි, අරිප්පු, පූනගර්, මල්ලිකයිතිව්, පේරුවේලි, මුන්නම්පොඩිවත්තයි, මනල්චේනයි, භාරතීපුරම්, ලිංගපුරම්, ඊච්චිලම්පට්ටෙයි, කරුක්කල්මුනෛ, මාවඩිච්චේනයි, වාල්ට්ට්ටුචේනයි, රාසිලම්පත්තෙයි, කරුක්කාමුනෙයි, මාවඩිච්චේනයි, මුත්තුචේනයි, වාලයිතෝට්ටම් යන ගම්මානවලට කඩාවදුණු ශ්‍රී ලංකා සොල්දාදුවන්, පොලිස් භටයින්, ග්‍රාමාරක්ෂකයින් සහ මැර කණ්ඩායම් විසින් දෙමළ ජනතාවගේ දේපළ කොල්ලකන ලද අතර, දෙමළ ගම්වැසියන් 80කට අධික සංඛ්‍යාවක් මරා දමන ලදී. පුද්ගලයින් 200ක පමණ සංඛ්‍යාවක් අතුරුදහන් කරන ලදී. විනාශ කළ නිවාස සංඛ්‍යාව 3,500 කට ආසන්න ය.
මෙම ගම්මාන අතහැර ගම්වැසියන් මුලුමනින්ම පලා ගිය අතර, මුතූර් නගරයේ පමණක් සරණාගතයින් 2500ක් පමණ අවතැන්ව සිටියහ. සරණාගතයින් 1000ක් පමණ දකුණු දිගට වෙරුගල් ගඟ හරහා මඩකලපුව දිස්ත්‍රික්කයේ වහරෙයි දෙසට පලා ගොස් ඇත. ජූනි 4 වැනිදායින් අවසන් වූ දින 13ක කාලය තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් 150කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇත.
ජූනි 5 වන දින ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උතුරේ ඉතිරිව තිබූ දෙමළ ගම්මානය වන තිරියායි හරහා නිවැසියන්ට වෙඩි තබමින් පහළින් පියාසර කළේය. ශ්‍රී ලංකා හමුදාව හමුදා රථවලින් පැමිණ, ප්‍රදේශයෙන් ඉවත් නොවුණහොත් වෙඩි තබන බවට තර්ජනය කරමින් ජනතාව සිය ගම්බිම්වලින් පලවා හරින ලදී. ගුවන් හමුදා භටයින් පුපුරණ ද්‍රව්‍ය සහිත ට්‍රක් රථවලින් පැමිණ නිවාස 700කට පමණ ගිනි තබන ලදී. තිරියායේ ගෙවල් 400ක් පමණ සහ කල්ලපත්තුවේ ගෙවල් 300ක් පමණ ඒ අතර විය. ගබඩා කර තිබූ වී සහ ගොවි උපකරණ ද එම නිවෙස් සමඟ ම ගිනිබත් විය. ප්‍රහාරයෙන් ඉතිරි වූ ජනතාවට ප්‍රදේශයේ පාසල් අවතැන් කඳවුරු බවට පත්කර ගැනීමට සිදු විය.
ජූනි 13 දින කට්ටයිපරිච්චාන්, සාම්පූර්, චෙනායූර් සහ මුතූර් යන ප්‍රදේශවල දෙමළ ජනතාවට අයත් නිවාස 900 ක් පමණ රජයේ හමුදා විසින් ගිනිබත් කරන ලදී.
1985 ජූනි 14 දිනයෙන් අවසන් වූ දින 14ක කාලය තුළ පුද්ගලයන් 150ක් පමණ මරා දමන ලදී. ගම්වැසියන් විශාල සංඛ්‍යාවකට සමූහ වශයෙන් අවතැන් වීමට සිදු විය. වැසියන් 100ක් පමණ වෙරුහල් ගඟෙන් එතෙර වී වහරෛ බලා ගියහ. තවත් 2500ක් පමණ මුතූර්ව බලා ගියහ.
1985 ජූනි මාසයේදී පමණක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් 311ක් ඝාතනය වූ බවත් සැප්තැම්බර් මාසයේදී සිවිල් වැසියන් 383ක් ඝාතනය වූ බවත් එවකට පුරවැසි කමිටුවේ සභාපතිවරයා වූ ප්‍රදේශයේ පාසල් විදුහල්පතිවරයකුගේ වාර්තාවකින් ලේඛනගත කර ඇත.
1985 අගෝස්තු 08 දින ශ්‍රී ලංකා හමුදාව පාසල්වල සිටි සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළේය. විශ්‍රාමික ග්‍රාමසේවක, තිරියායි බහුකාර්ය සංගමයේ සභාපති නාරායනපිල්ලේ, තිරියායි සරණාගත පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ලේකම් කේ.දුරෙයිනායගම්, කේ.ඒකම්පරම්, තිරියායි විද්‍යාලයේ විදුහල්පති පී.මහාදේව ඇතුළු සිවිල් වැසියන් දස දෙනෙක් මිය ගියහ.
අගෝස්තු 10 වන දින හමුදාව නැවතත් තිරියායි වෙත පැමිණ ප්‍රාදේශීය නායකයින් කිහිප දෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කරන ලද අතර, විදුහල්පතිවරයෙකු සහ ගම්මුලාදෑනියෙකු ඇතුළු 10 දෙනෙකු ඝාතනය කරන ලදී. අගෝස්තු 14 වන දින සාමාන්‍ය වැසියන් 6 දෙනෙකු බස් රථයකින් පිටතට ඇද කපා කොටා ඝාතනය කරන ලදී.
1985 සැප්තැම්බර් 04 සහ 09 දිනයන් අතර විශාල හමුදා මෙහෙයුමක් දියත් කරන ලදී. මෙම මෙහෙයුමේ අරමුණ වූයේ ත්‍රිකුණාමලයේ උතුරු ප්‍රදේශවලින් එනම් සම්පාල්තිවු ප්‍රදේශයෙන් දෙමළ ජනතාව පලවා හැරීමයි. ශ්‍රී ලංකා රජයේ ත්‍රිවිධ හමුදාව ගොඩබිමින් මුහුදින් සහ ගුවනින් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන ලදී.
සැප්තැම්බර් 9 වැනිදා ත්‍රිකුණාමලය නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. යුද හමුදාව විසින් සපයන ලද ආවරණය යටතේ ගුවන් හමුදාව විසින් ගුවනින්ද, නාවික හමුදාවේ ප්‍රහාරක යානා මගින් මුහුදෙන්ද වෙඩි තබන ලදී. මධ්‍යම පාර, ඒකම්පරම් පාර, වීරනගර්, තිරුකදලූර්, උප්පුවේලි, තුන්වෙනි සැතපුම් කණුව, නාවලර් පාර සහ උප්පුවේලි හන්දිය යන ප්‍රදේශවල බර අවි සහිත ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ ග්‍රාමාරක්ෂක භටයන් විශාල වශයෙන් යොදවා තිබුණි. ඔවුන් විසින් දෙමළ සිවිල් වැසියනට එල්ල කළ ප්‍රහාරයෙන් කුඩා ළමුන් 200කට සෙවණ දුන් සිවනන්ත තබෝවනම් ගොඩනැගිල්ල ඇතුළුව ආගමික ස්ථාන සහ නිවාස 1500ක් පමණ ද කඩසාප්පු ද විනාශ කර දමන ලදී. දෙමළ ධීවරයන්ගේ ධීවර උපකරණ කොල්ලකන ලදී. සිංහල ග්‍රාමාරක්ෂක භටයන් විසින් කොල්ලකෑම් විශාල සංඛ්‍යාවක් සිදු කරන ලදී. මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 25කට වැඩි පිරිසක් ඝාතනය කරන ලදී. දේශීය හෝ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට මෙම ප්‍රදේශවලට ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත.
සැප්තැම්බර් 10 - 11 දිනවල ත්‍රිකුණාමලය නගරයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දිගන් දිගටම සිදු කරන ලදී. සැප්තැම්බර් 12 වෙනි දින ත්‍රිකුණාමලය නගරයේ දෙමළ කෝවිලකට සන්නද්ධ පොලිස් සහාය ඇතිව සිංහල මැර පිරිසක් විසින් ගිනි තබන ලදී. 1985 සැප්තැම්බර් මාසයේදී, ත්‍රිකුණාමලය නගරයේ කෝවිල් 12 ක් සහ මුස්ලිම් පල්ලියක් විනාශ කරන ලද අතර දෙමළ ජනතාව පලවා හැරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
1985 සැප්තැම්බර් මස 16 වන දින ශ්‍රී ලංකා හමුදාව සහ ග්‍රාමාරක්ෂක භටයින් විසින් නිලාවේලි සරණාගත කඳවුරට ද පහර දෙන ලදී. 1983 වර් ග සංහාරයෙන් පසුව නිලාවේලි සරණාගත කඳවුර අවතැන් වූවන්ගෙන් පිරී ගියේ ය. මෙදින නිලාවේලියේ ස්ථානගතව සිටි සන්නද්ධ සිටි ශ්‍රී ලංකා හමුදාව සහ ග්‍රාමාරක්ෂක භටයින් විසින් නිලාවේලි සරණාගත කඳවුර වටලා, 30 ක් පමණ වූ සිවිල් සරණාගත වැසියන් සිවිල් වැසියන් අත්අඩංගුවට ගෙන එම ස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කර ඇත. සරණාගත කඳවුරේ සිටි මුරුගේරු තන්ගරාසා (46), කච්චුමුකතින් මුකමතුකලිත් (33), වේලු සිවසුන්දරම් (24), වේලු සිදම්බරනාදන් (25), සෙල්ලතම්බි නිර්මලනාදන් (26), සෝමසුන්දරලිංගම් අරුද්කුමරන් (20), අන්තෝනිපිල්ලෙයි රාජේන්ද්‍රන් (29), සෙයියාතුබුකාරි අප්තුරසාක් (32), කාන්තය කන්දසාමි (28), ගනපත්තිපිල්ලෙයි සෞන්දර්රාජන් (28), සෙල්ලතම්බි රත්නරාජා (41), නේසදුරෙයි රේරන්ස් (19), කදිර්ගාමතම්බි කනකසබෙයි (39), කසීම් මුහමද් රාසික්, දමෝදරම්පිල්ලේ නේමිනාදන් (19), වල්ලිපුරම් දර්මලිංගම් (18), ධර්මදාස් උදයනේසන් (19), සුබ්‍රමනියම් කලීරාජා (20), සෙල්වවිනායගම් ජෙයගෝපන් (26), රාසයියා තුරෙයිනායගම් (36), දමෝදරම්පිල්ල සන්මුගදාසන් (24), මාමංකම් රංජනේසන් (21), අපුසාලිපු අප්තුල්නාගිනර් (28), සිත්තිරවෙල් මාරිමුත්තු (53), සින්තිරවෙල් මාරිමුත්තු (60), සිංකරාජර් කිලිස්රාස් (20), සිවබාලන් කෙන්කතරන් (34), පොන්නුතුරෙයි පාර්තීපන් (27), යෝගරාසා (23), රත්නසාමි පාර්වතී (30) යන අය මෙසේ ඝාතනය කරන ලදී.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සේනාංක තුනම නොවැම්බර් 08, 09 සහ 10 යන දිනයන්හිදී දින 3 ක් පුරා, මුතුර් සහ කඩත්කරෛචේනෛ ප්‍රදේශවලට ගොඩබිමින්, ගුවනින් සහ මුහුදින් ප්‍රහාර එල්ල කළහ. සිවිල් වැසියන් වෙඩි තබා මරා දමා ඔවුන් සමගම ඔවුන්ගේ නිවෙස් පුළුස්සා දැමූහ. පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් ඝාතනය කරන ලදී. නිවාස 100කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් කරන ලදී. කෝවිල්වල රැකවරණය පතා පැමිණි සරණාගත සිවිල් වැසියන් 70කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අතුරුදන් කරන ලදී. පැන යාමට තැත් කළ අය මරා දමන ලදී.
නොවැම්බර් 09 වන දින ශ්‍රී ලංකා හමුදාව කන්තලෛ පිල්ලෙයාර් කෝවිල අසල මයිල්වාකානම්ගේ නිවසට ගොස් නිවසේ සිටි පුද්ගලයින් හය දෙනාම පැහැරගෙන ගියේය. පසුව ඔවුන්ගේ සිරුරු අල්ලයි පාරේ 4 කණුව ප්‍රදේශයේ තිබී සොයා ගන්නා ලදී. එම හය දෙනා අතර මයිල්වාකානම්ගේ දියණියන් දෙදෙනෙක් ද වූහ. දැරියන් දෙදෙනා ඝාතනය කිරීමට පෙර දූෂණයට ලක්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
කිලිවෙඩ්ඩි සංහාරය, තිරියායි සංහාරය, සම්පාල්තිවු සංහාරය, නිලාවේලි සංහාරය, මුතූර් සංහාරය, කන්තලායි සංහාරය ද ඇතුළුව 1985 වර්ෂයේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් සිදු කළ ඉහත දැක්වූ සමූහ ඝාතනවලට අමතරව එම වර්ෂය තුළ දී, මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලෙයි සමූහ ඝාතනය (ජනවාරි 16), මන්නාරම දිස්ත්‍රික්කයේ වඩ්ඩක්කන්ඩල් සමූහ ඝාතනය (ජනවාරි 30), මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහ ඝාතනය (ජනවාරි 21), යාපනය දිස්ත්‍රික්කයේ වැල්වෙටිතුරෛ සමූහ ඝාතනය (මැයි 12), යාපනය දිස්ත්‍රික්කයේ කුමුදිනී සමූහ ඝාතනය (මැයි 15), අම්පාර දිස්ත්‍රික්කයේ තම්බිලුවිල් සමූහ ඝාතනය (මැයි 17), වවුනියා පූන්තෝට්ටම් සමූහ ඝාතනය (අගෝස්තු 16), අම්පාර දිස්ත්‍රික්කයේ වායලූර් සමූහ ඝාතනය (අගෝස්තු 24) සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිරමන්තනාරු සමූහ ඝාතනය (ඔක්තොම්බර් 2) ද ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අංශ විසින් සිදු කරන ලදී.
මෙම ඛේදවාචකයන් සජීවීව අත්විඳි සාක්ෂිකාර පුරපුරේ ශේෂ වූ මිනිසුන් තවමත් එම සාක්ෂි දරමින් සාමූහික මතකයන් සමඟ ජීවත් වන අතර, ඔවුන්ගේ සාක්ෂි තුළින් සහ සමකාලීන ලේඛනයන් තුළින් තහවුරු කරගන්නා ලදුව සහ සංස්කරණය කරගන්නා ලදුව, මානව හිමිකම් පිළිබඳ උතුරු නැගෙනහිර ලේකම් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කළ 'Massacres of Tamils 1956 - 2008' වාර්තව ඇසුරින් ඉහත සටහන සකස් කර ඇත.
තක්ෂිලා ස්වර්ණමාලි
Comments
Post a Comment