යාපන තරුණයකුගේ ලියමන




මැන්මදරාසා චන්ද්‍රශේගරන් විසිනි...

ජාතික ජන බලවේගය සිතන ආකාරයට ජනවාර්ගික ගැටලුව මානුෂීය ගැටලුවක් නොවේ, එය ශ්‍රී ලංකාවේ විවිධත්වය නොපිළිගැනීමේ ප්‍රතිඵලයකි. ඔවුන්ට අනුව මෙම කුඩා දිවයිනේ ජාතීන් හා ජනවර්ග එකකට වඩා සිටින බව පිළිගත යුතුය. එසේනම් දෙමළ ජනතාව, ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය අයිතිය ඇති ජාතියක් ලෙස පිළිගත යුතු අතර ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යුහය බහු වාර්ගිකත්වය පිළිගත් එකක් ලෙස ගොඩනැගිය යුතුය.

ජාතික ගැටලුව නොනැසී පවතින, සංවර්ධනය අඩාල වීමට හේතු වූ කරුණු නොවිසඳුණු රටක, සියලු මිනිසුන්ට සියල්ලන් සමානව සලකන බව සිතීම විසින් ප්‍රශ්නය යටගසනු ලබයි. ජාතික ජන බලවේගය රැඩිකල් වාමාංශික ව්‍යාපාරයක් ලෙස පෙනී සිටියත් ඔවුන් සිතන්නේ ජාතික ප්‍රතිපත්තියේ රාමුව තුළ පමණි. වාමාංශික ධරාව නියෝජනය කරමින් පැමිණෙන්නවුන් බහුතරය පීඩිත දෙමළ ජනතාවගේ වේදනාවන් තේරුම් නොගෙන පසුගිය කාලය පුරා පීඩක පාර්ශවයට හවුල් විය.

සිංහල බෞද්ධ දේශපාලනයේ මූලික මතවාදය වන ජාතික ආරක්ෂාව ප්‍රශ්න කිරීම ශ්‍රී ලංකා අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකා අධිකරණය තුළ දෙමළ ජනයාට අඛණ්ඩව යුක්තිය ඉටුවීම ප්‍රතික්ෂේප වීම පිළිබඳ උදාහරණ ඕනෑ තරම් තිබේ.

මෙවර මහවිරු අනුස්මරණ උත්සවයෙන් පසුව ශ්‍රී ලංකාවේ ත්‍රස්ත-විරෝධී රාමුව යටතේ අත්අඩංගුවට ගැනීම් තුනක් සිදුවී ඇති අතර, ඉන් දෙකක් මහවිරු දින උත්සව ප්‍රචාරය කිරීම හේතුවෙන් වන අතර, අනෙක් අත්අඩංගුවට ගැනීම වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් ෆේස්බුක් වෙත උඩුගත කිරීම හේතුවෙනි. ඔහු චුන්නාකම් ප්‍රදේශයේ 37 හැවිරිදි පියකු වන මනෝහරන් ගජේන්දෲපන් ය. මෙම අත්අඩංගුවට ගැනීම්, අන්තර්ජාල අවකාශයන්හි පවා සිදුවන දෙමළ ජනයා පිළිබද ඔත්තු බැලීම් සහ බිය ගැන්වීම් තහවුරු කරයි. වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකා බලධාරීන් විසින් දෙමළ වැසියන්ගේ සමාජ මාධ්‍ය භාවිතය වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, මෙම නවතම සිදුවීම විසින් ප්‍රකාශනයේ නිදහස සඳහා ඇති ඉඩකඩ ඇහිරීම තවදුරටත් මතු කර දක්වයි. දෙමළ සැමරීම සහ දෙමළ අනන්‍යතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ මර්දනකාරී ප්‍රවේශය නව රජය යටතේ ද පෙර පරිදිම නැවත නැවතත් පෙන්නුම් කර ඇත.

පවතින පාලනය තුළත් දෙමළ ක්‍රියාකාරීන් 12 දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමට ත්‍රස්ත විමර්ශන අංශය බලාපොරොත්තුවෙන් සිටී. විශේෂයෙන්ම වේඩුකුනරිමලෙයි ආදිලිංගේශ්වරර් කෝවිලේ හිටපු සභාපති සසිකුමාර් මහතා සහ ලේකම් තමිල්චෙල්වන් මහතා පරීක්ෂණ සඳහා කැඳවා ඇත. අම්පාර අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපති සෙල්වරාණි මහත්මියගෙන් ප්‍රශ්න කර ඇත්තේ 'ඔබ එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්නේ ඇයි?' වැනි ප්‍රශ්න අසමින් ය. ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් තිදෙනෙක් වන්නි මාධ්‍යවේදියෙකුගේ නිවසට ගොස් ඔහු 'ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට දෙමළ ජනතාවගේ අර්බුද ගැන ලිවීම' පිළබදව විමසා ඇත. ත්‍රස්ත විමර්ශන අංශය විසින් අදාළ මාධ්‍යවේදියා ඉතා ඉක්මනින් නැවත කැඳවීමට නියමිත බව පවුලේ ඥාතීන්ට දන්වා ඇත. ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයාට සහය දැක්වූ දෙමළ ක්‍රියාකාරිකයෙකුට එරෙහිව ද පරීක්ෂණයක් පවත්වා තිබේ. දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබදව ද ප්‍රශ්න කර ඇත. දෙමළ ක්‍රියාකාරීන්ට එරෙහිව අලුතෙන්ම චෝදනා එල්ල වී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ පවත්වා තිබේ.

එසේම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වසර 15ක් සිරගත කර අධිකරණයෙන් නිදහස් කළ පුද්ගලයන් දෙදෙනකුද එම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම යළි අත්අඩංගුවට ගෙන තිබේ. එය ප්‍රමාණවත් නොවූවාක් මෙන්, සටන්කරුවන්ගේ පුනරුත්ථාපන සංගමයේ සභාපති අරවින්දන් මහතා ජනවාරි මාසයේ සිට නඩු විභාගයකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර ඇත. ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට ශ්‍රී ලංකාවට පැමිණි සුදාකරන් මහතා ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරක කාලයක් සිරගත කර ඇත. ඉන්දුනීසියාවේ සිට සිය පවුල සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පුනරුත්ථාපනය ලැබූ හිටපු සටන්කරුවෙකු වන ද්වාරකන් මහතා ද පසුගිය මාස 4 තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර ඇත.

අතුරුදහන්කරවූවන්‍ගේ ඥාතීන්ගේ නොනවතින අරගලය අදටත් ක්‍රියාත්මක අතර, රජය ඔවුන්ට පිළිතුරු ලබා දී නැති අතර ඒ පිළිබදව කතා කරන්නේත් නැත. ජනතා විමුක්ති පෙරමුණේ පාලන බලය යටතේ පවා ඔවුන් රඳවා තබා ගැනීම කිසිඳු විමර්ශනයකින් තොරව දිගින් දිගටම කරගෙන යයි.

ජාතික ගැටලුව නොවිසදී ඇති රටක, එය සංවර්ධනයට බාධාවක් වී ඇති තත්වයක, ජාතික ප්‍රතිපත්තියක් තුළ මිනිසුන් සමාන යැයි ජනතාව විශ්වාස කරන්නේ කෙසේද? ජාතික ජන බලවේගය ලබා ගත් බහුතර ඡන්ද හරහා දෙමළ ජනතාවට සාධාරණ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමෙන් දෙමළ ජනතාව සමග ඒකාබද්ධ වුවහොත් එය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට හේතුවනු ඇත.

ජාතික ජන බලවේගය සැබෑවටම රැඩිකල් වාමාංශික ව්‍යාපාරයක් නම් ඔවුන්ගේ දෙසවනට මෙය ඇසේවා.





Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

මන්දිර සරසන සේසත් කලාව

බීඩි ඔතන ළදුන්