Lanka News Web පිළිසදර 2021.9.5

 





සංවාදය - ඩිල්ශානි චතුරිකා දාබරේ

තක්ෂිලා ස්වර්ණමාලි - සමාජ විද්‍යාත්මක පර්යේෂණ කෘති, කාව්‍ය ග්‍රන්ථ, නවකතා, කෙටිකතා, අධ්‍යාපනික සාහිත්‍ය විචාර කෘති ආදී විවිධ ශානරවල කෘති 20 ක් පමණ මේ වනවිට රචනා කරමින් ස්වකේය අනන්‍යතාව තහවුරු කරමින්, නිශ්චිත දේශපාලන දැක්මක් සහිතව නිර්මාණකරණයේ යෙදෙන්නියකි. ඇයගේ කෘතීන්ගෙන් කෘති 3 ක් දෙමළ භාෂාවට පරිවර්තනය කර ඇති අතර ඇතැම් නිර්මාණ මලයාලම්, හින්දි සහ ඉංග්‍රීසි භාෂාවන්ට පරිවර්තනය වී ඇත. 2018 වර්ෂයේ දී සමාජවිද්‍යාව විෂය සඳහා ආචාර්ය උපාධිය ලද තක්ෂිලා ස්වර්ණමාලි, සංක්‍රාන්ති සමාජභාවය - කින්නර කුලය - නවන්දන්න කුලය සහ පාරම්පරික ලාක්ෂා ශිල්පීන් පිළිබඳව ග්‍රන්ථ රචනා කළ ප්‍රථම සිංහල කතුවරයා යි.

ඇගේ ‘අකලට ආකලට අකුලට’ කාව්‍ය සංග්‍රහය, ‘ගැලූ ලේ ලූ විලවුන් බහාලුම’ කවි එකතුව, ‘සංවේගප්‍රාප්ත පෙම්වතුන් හරිහතරැස් කවුළුවට අවසන් බුහුමන් පුදා ගෙමිදුලෙන් නික්මුණ ද’ කෙටිකතා සංග්‍රහය සහ ‘බීඩි’ නවකතාව මෑතකදී ඇය විසින් පළකරන ලද කෘති සතරයි. 'බීඩි' නවකතාවත්, වත්මන් සමාජ දේශපාලන පසුබිමත් සම්බන්ධයෙන් ඇය සමඟ කළ සංවාදයක සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.


01) ගුරු අයිතීන් වෙනුවෙන්, කලෙක පටන් අරගල පැවතියත්, ඒවාට සක්‍රීයව දායක නොවුණු පිරිසක් පවා දැන් අරගලයට බැහැලා. මේ වෙනසට හේතුව මොකක් ද? මෙතනින් කතාව පටන්ගමු.

ශ්‍රමිකයො කොහොමත් ආකර්ෂණය වෙන්නෙ වැටුප් සටන්වලට. සංවිධායකයො මේ ගුරු අරගලය ගේන්නෙ, පීඩනයෙන් හෙම්බත් වුණු මිනිස්සු ඇත්ත වේදනාවෙන් පාරට බැස්ස, රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර තිබුණු මොහොතකයි. ඒ උත්තේජනය සහිත පසුබිමක, වාමාංශික ව්‍යාපාර සිදුකරන ප්‍රායෝගිකවාදී මැදිහත්වීම් සහිත තත්ත්වයක, සාර්ථක සංවිධානාත්මක බවක් සහිත ගුරු උද්ඝෝෂණ රැල්ල විසින් මේ දිනවල සාපේක්ෂ ‘විවේකී දිනචර්යාවක්' සහිතව ඉන්න ගුරුවරුන්ව ආකර්ෂණය කළා. හැමදාමත් තමන්ගෙ වැටුප් ගැටලු ගැන අති බහුතරයක් ගුරුවරු නිතරම හිටියෙ සාධාරණ අතෘප්තියකින්. නිරර්ථක කොළ පිරවීම් ගොඩකින් සහ ඔන්ලයින් ඉගැන්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා විසින් ඔවුන්ව පෙළමින් ඉන්න, සමස්ත සමාජය ම පොදුවේ උග්‍ර පීඩනයක් විදිමින් ඉන්න මොහොතකයි මේ ගුරු ඉල්ලීම් ටික සංවිධානාත්මක ව්‍යාපාර විසින් ගුරුවරු ඉස්සරහින් තියන්නෙ. අරගල බිමට ගුරුවරුන්ගේ මේ පැමිණීම මම ඉතාම අගය කරනවා. පීඩනයට අවනත නොවී නිදි නොවැද අරගල කළයුතු බවට, ඒ තුළින් සමාජයට සපයන උත්තේජනය ඉතාම වැදගත්.

නමුත්, මිනිස්සු තමන්ට දණගහල වදින්න ඕනෙ කියල හිතන, දරුවන්ට ශාරීරික මානසික වදහිංසා කරන්න තමන්ට අයිතියක් තියෙනව කියල හිතන, පවතින සමාජ ක්‍රමයෙ ඇත්ත අර්බුදය තේරෙන්නෙ නැති, ඒ ගැන කිසිම දේශපාලනික විග්‍රහයක් කරගන්න තේරෙන්නෙ නැති, පරිභෝජනවාදයෙන් ඔබ්බට නොගිය, රොදබැඳගෙන රාජපක්ෂලට ඡන්දෙ දුන්නු ලංකාවෙ බහුතර ගුරු චින්තනය ගැන මට තදබල විවේචනයක් තියෙනවා. ගුරුවරුන්ට පුද්ගලිකව විශේෂ වෙච්ච ඉල්ලීම් වෙනුවෙන් නැතුව, කොතලාවල පනත පරාජය කරන්න විතරක් පාරට බහින්න කියල ගුරුවරුන්ට කිව්වොත් එයාල එන්නෙ නෑ. අධ්‍යාපන පුද්ගලීකරණය හෝ අධ්‍යාපන මිලිටරිකරණය එයාලගෙ බහුතරයට අදාළ නෑ. කොතලාවල පනතට විරුද්ධව ගුරුවරු පෙළගස්සන්න යද්දි, ගුරුවරු ඒ සටනට ගන්න නම් ඔවුන්ට විශේෂ වෙච්ච වැටුප් ඉල්ලීම් ටිකකුත් ඒකට එකතු කරන්න ඕනෙ කියල සංවිධායකයො තේරුම්ගත්තා. ඒත් ඊටපස්සෙ අති බහුතරයක් ගුරුවරුන්ට කොතලාවල පනත අදාළම නැතිවුණා. ඒක ඛේදවාචකයක් බව අපි පිළිගන්න ඕනෙ.

මේ ගුරු සටන තුළත්, එහි කෙළවරදිත්, සංවිධායකයන් විසින් ගුරුවරුන්ව දේශපාලනිකව නිවැරදිව ගොඩනගන්න කාර්යභාරයක් කරනවද නැද්ද කියන එකයි වැදගත්. සටනක් පටන්ගත්තෙ පටු අරමුණකින් නම් ඒක පුළුල් කරන එකයි කරන්න ඕනෙ. ඒත් එහෙම කරන්න ගියාම ශ්‍රමිකයො ටික ගෙදර යන නිසා සටන පටු අරමුණේම තියාගන්න කම්කරු සංගම්වලට සිද්ධවෙනවා. ඒත්, අනාගත පුළුල් සටනකට යම් ඉඩක් නිර්මාණය කරගන්න, අද පටු සටනකට උනත් අවම හැකියාවක් හෝ තියෙන්න පුලුවන්.  

2) ඔබ සමාජ විද්‍යා පර්යේෂණ කිහිපයක් කෘති ලෙසින් පළ කර ඇති කෙනෙක්. මේ කෘතියක් වෙනුවෙන් අවශ්‍ය තොරතුරු සොයායෑමේදි ඔබ මුහුණුදුන් මග හැර යා නොහැකි ම අත්දැකීම කුමක්ද?

එහෙම එක නිශ්චිත අද්දැකීමක් විශේෂයෙන් සදහන් කරන්න අමාරුයි. මම පර්යේෂණයක් සඳහා ක්ෂේත්‍රයක් තෝරගන්නෙ යම් හේතුවක් මත මාව කම්පනය කරපු, ඔවුන් පිළිබදව එතෙක් කිසිවෙක් කෘතියක් සම්පාදනය නොකරපු, පීඩාවට පත් විශේෂිත ජන කොට්ඨාසයන් සම්බන්ධව. ඒ පර්යේෂණ කාර්යයන් පුරාම මම සංවේදී අත්දැකීම් රාශියකට මුහුණ දීල තියෙනව.

3) ප්‍රසිද්ධිය පිටුපස හඹා යාමේ තරගයෙන් මිදීම නූතන කලා නිර්මාපකයන්ට තියෙන ප්‍රධාන අභියෝගයක් බව ඇතැම් නිර්මාණකරුවන් සඳහන් කරනවා. මෙයට ඔබ එකඟ ද?

නෑ. අපේ ඔලුවෙ ඒ සම්බන්ධව ‘අභියෝගය‘ කියල සංකල්පයක් වැඩ කරනව නම් විතරයි ඒක අභියෝගයක් වෙන්නෙ. ඒ විදියෙ නිර්මාණකරුවන්ට ප්‍රසිද්ධිය අදාළ නෑ වාගෙම, වෙළදපොළ සහ ප්‍රකාශකයන් සොයායාමත් අදාළ නැත්නම් ඉතින් අභියෝගෙකුත් නෑ. ඇත්තටම ප්‍රසිද්ධිය සහ වෙළදපළ වෙනුවෙන් නිර්මාණකාරයො යෙදිල ඉන්න ව්‍යාපෘතිවලට වඩා පහසු, ප්‍රසිද්ධිය සහ වෙළදපොළ හඹා නොයා සිටීම. නිර්මාණකාරයට බිස්නස්කාරයෙක් වෙන්න ඕනෙ නැත්නම් ඒ දෙකම අදාළ නෑ. එතකොට කෙනෙක් කියාවි පොත් ජනතාව අතරට යවන්න එහෙම ඒව අවශ්‍යයිනෙ කියල.  නිර්මාණයක් ජනතාව අතට පත්කරන්න තියෙන එකම මාර්ගය වෙළදපොළ හෝ ප්‍රසිද්ධිය නෙමෙයි. අනික එහෙම මහා පරිමාණෙන් පොත් ජනතාව අතරට බලෙන් යැව්ව කියල සමාජ විප්ලවයක් වෙන්නෙ නෑ. එහෙම දේවල්වලට යොදන අවධානය සහ  වෙහෙස සැබෑ සමාජ උවමනාවක් වෙනුවෙන් යොදවන එකයි ඇත්ත ජනතාවාදී නිර්මාණකාරයෙක්ගෙ තෘප්තිය වෙන්න ඕනෙ.

4) 'බීඩි' නවකතාව, අපි ජීවත් වන අතිශය මේ මොහොත සහ ඊට පාර කැපූ පසුබිම උඩ රැඳී තිබෙන්නක්. මේ සැබෑ ප්‍රශ්න ගැන පාඨකයා අවබෝධයෙන් සිටිනවා කියල ඔබ සිතනවද?  

නැහැ, මම හිතන්නේ නැහැ එහෙම අවබෝධයක් තියෙනවා කියලා. ඒ වාගෙම මේ පවතින තත්ත්වය මත එහෙම දේවල් ගැන අවබෝධාත්මක පාඨකයෙක් බලාපොරොත්තු වෙන්නත් අපට අයිතියක් නෑ.

5) ගහක් රැකගන්න,  අතීත විරුවන් යැයි කියන පිරිසක් සොහොන් වලින් අවදිකරවලා අරගලයට ගෙන එන තැනකින් 'බීඩි' අවසන් වෙන්නේ. ජීවතුන් අතර සිටින අපිට සමාජ අසාධාරණය වෙනුවෙන් මළවුන් නැගිටවන්න වෙන්නෙ ඇයි?

මේ අවසානය විවිධ අය විවිධ විදියට දැකල තියෙනව. ඒක වළක්වන්න බැහැ සහ ඒක වළක්වන්න ඕනෙ නැහැ. යමෙක් නිර්මාණයක් කරද්දි, තමන්ගෙ නිර්මාණෙකට ඕනෙම කෙනෙක් දෙන ඕනෙම අර්ථයක් නිර්මාණකාරයා බාරගන්න ලෑස්ති වෙන්න ඕනෙ. තමන් බලාපොරොත්තු වෙන සමාජ බලපෑම යමෙකුට නිර්මාණයකින් කරන්න බැරිත් අන්න ඒ නිසයි. එහෙම නිශ්චිත බලපෑමක් කරන්න අවශ්‍ය නම් වෙනම සමාජ ව්‍යාපාර ඕනෙ ඒ නිසයි.

'බීඩි' කතාවෙ මට ද්‍රව්‍යාත්මක කඳුරු ගහක් නෑ. ඒක මට සංකේතයක්. ඒ අපේ ජීවිත. අර වටවෙන හැමෝටම ගහ සම්බන්ධ තීරණාත්මක බලපෑම් කරන්න බෑ. ගහ තියෙන්නෙ ‘දකුණෙ‘ කනත්ත සහ ‘වමේ ‘ වෙල් යාය සහිත බිමක. එතන ගහ සම්බන්ධව තීරණාත්මක බලපෑම කරන්න පුලුවන් ආරිං මුදලාලිගෙ පුතාට සහ සිදුහත්ට. මේ සිස්ටම් එක ඇතුළෙ අපේ ජීවිතවලදි තීරණාත්මක වෙන්නෙ ප්‍රාග්ධනය, විඤ්ඤාණවාදය සහ දේපළ සම්බන්ධය බවයි මම එතෙන්දි  කියන්න උත්සාහ කළේ.

6) කවියෙන්, තමාව නිරූපණය වේ යැයි සිතන ඇතැම් නිර්මාණකරුවන්, "සදාචාරාත්මකව මම හොඳ කෙනෙක්" යන්න පෙන්වන කවි ලියන බවට විචාරකයන් චෝදනා කරනවා. නිර්මාණවලින් කළු, සුදු ලෙසින් චරිත නිරූපණය කිරීම යුතු ද?

කළු හෝ සුදු චරිත මහ පොළොවෙ නැති තත්ත්වයක් යටතේ, නිර්මාණවල විතරක් කළු හෝ සුලු චරිත නිරූපණය කිරීම තුළින් පාඨකයන්ව ඇත්තෙන් ඈත් කරනවා. ඒත් අති බහුතරයක් මිනිස්සු ඇත්තෙන් ඈත් වෙන්න ආස නිසා, මිනිස්සු වෙච්ච පාඨකයොත් නිර්මාණකාරයොත් ඇත්තෙන් ඈත් වෙන අවස්ථා සුලබයි . බොරුව ඇත්ත කියල හිතන එක ලේසියි. ඒත් ඒක වැරදියි.

7) මාක්ස් - එංගල්ස් කිවු පන්ති පැලැන්ති සමාජ ක්‍රමය අද වෙද්දි තියෙන්නෙ කොයි වගේ තැනකද?
 
සාතිශය බහුතරයේ ආශිර්වාදයෙන් පන්ති සහිත සමාජ ක්‍රමය නොනැසී පවතිනවා. පන්ති ස්වරූපයන් චලනය වෙමින් වුණත් අපි අති සාර්ථකව පන්ති පවත්වගෙන යමින් ඉන්නවා. ධනවාදයට වසඟ වෙච්ච පීඩක - පීඩිත දෙපක්ෂයම විසින් දිවිහිමියෙන් ධනවාදය ආරක්ෂා කර‍ගනිමින් පවතිනවා.

 8) කොරෝනා එක්ක යන මේ ලෝකේ ඉදිරිය ගැන අපිට අවම බලාපොරොත්තුවක් හෝ තැබිය හැකිද?

කොරෝනා කියන්නෙ මේ ධනවාදී සමාජ ක්‍රමයෙ තවත් එක අංශුවක් විතරයි. ඇත්තටම ‘කොරෝනා එක්ක‘ නෙමෙයි, ‘ධනවාදය එක්ක යන මේ ලෝකෙ ඉදිරිය ගැන‘ අපිට බලාපොරොත්තු තියන්න බෑ.

9) ඔබේ නිර්මාණ දමිළ බසට පරිවර්තනය වෙලා තියෙනවා. භාෂා අතර පොත් පරිවර්තනය වීම සතුටක් වුණත්, එකම රටක ඉපදුණු තවත් සහෝදර පිරිසකගේ සිතිවිලි, ඔවුන්ගේ භාෂාව නොතේරීමේ ප්‍රශ්නයෙන් දෙපිරිස ම තවමත් පීඩා විඳිනවා. මෙයින් ගොඩ එන්න යෝජනා කරන්නේ කුමක්ද?

දෙමළ ජනතාව සම්බන්ධ බරපතල දේශපාලන ප්‍රශ්නෙට පිළියම් පරිවර්තන සාහිත්‍යය තුළවත් භාෂා ඉගෙනගැනීම තුළවත් නැහැ. පෘථිවියෙ ජීවත්වෙන කවර හෝ ජනවර්ගයකට විශේෂ වෙච්ච පීඩාවක් තේරුම් ගැනීමේ දී සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ දී ප්‍රමුඛ වෙන්නෙ, ඒ මිනිස්සුන්ගෙ භාෂාව දැනගැනීම නෙමෙයි, අපිට නිවැරදි දේශපාලන දැක්මක් තිබීම. අපි ගොඩනගාගන්න ඕනෙ ඒක. මුල්ලිවයික්කාල් සංහාරය සමරමින් තාමත් කිරිබත් කන සිංහල ජනතාවට, ඒ ම්ලේච්ඡත්වය පසසන්න තුනෙන් දෙක දුන්නු සිංහල ජනතාවට උගන්නන්න ඕනෙ ඒ දේශපාලනය.

10) ඔබේ ඉදිරි නිර්මාණ, දැනට කෙරෙමින් පවතින කටයුතු ගැන සඳහන් කරමින් සංවාදය අවසන් කිරීමට ඔබට අවසර දෙනවා.

මුලදි මුලදි මම ලිව්වෙ ඒ වචනවලින් මිනිස්සුන්ගෙ දැක්මට අල්පමාත්‍ර හෝ බලපෑමක් කිරීමේ අරමුණින්. ඒත් අන්තිමට අන්තිමට මම ලිව්වෙ මගෙ පීඩනය පිට කරගැනීමේ අරමුණින්. අපි මේ ලියන්නෙ, මහින්දට වඩා ගෝඨාභය හොඳයි කියල හිතන, ගෝඨාභයට වඩා බැසිල් හොඳයි කියල හිතන, බැසිල්ට වඩා නාමල් හොඳයි කියල හිතන, නාමල්ට වඩා කේසර හොඳයි කියල හිතන, සිංහල සමාජෙට. සිස්ටම් එක වෙනස් කරන එකෙයි, ප්‍රතිසංස්කරණවලයි වෙනස නොතේරෙන බහුතර වම්මු ඉන්න සිංහල සමාජෙට.

ඇත්තම කියනවා නම් මම දැනට කරන්නෙ නැවතිලා බලාගෙන ඉන්න එක. මොනව ලියන්නද මොකට ලියන්නද මොනව කරන්නද කියල හිත හිත ඉන්නවා මේ දවස්වල.  

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව