මෙම බක් මසට, ශ්‍රී ලංකා හමුදාව විසින් පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය සිදුකොට වසර 38 ක් ද පට්ටිත්තඩල් සමූහඝාතනය සිදු කොට වසර 36 ක් ද ගත වී ඇත. ඉතිහාසයක් පුරා දිවයින තුළ සෑම මසකම සිදු කළ රාජ්‍ය අපරාධයන් අතර බක් මස අපරාධයන් ද තවත් එක් ඛේදවාචකයක් පමණක් වන අතර මාසයක් නිසා වූ සුවිශේෂත්වයක් නොමැති වුව ද, ධනවාදී සමාජ ආරථික ක්‍රමයේ වුවමනාවන් සපුරාලමින් සිංහල සමාජය ආයාසයෙන් කැඳවනා අවුරුදු අසිරිය තුළ දකුණේ සිදු කළ රාජ්‍ය මරදනයන් සේ ම උතුරු නැගෙනහිර දෙමළ විරෝධී රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ද සිහිපත් කිරීමට නිදසුන් දැක්වීම අරබයා පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය සහ පට්ටිත්තඩල් සමූහඝාතනය තෝරාගන්නා ලද අතර, එම සංහාරයන් ද සිංහල සමාජය විසින් හැරී නොබලන ලද්දා වූ, නිරායුද දෙමළ වැසියන් සමූහඝාතනය කළ ඛේදවාචකයන් රාශියක් අතරින් තවත් සිදුවීම් දෙකක් පමණක් වන අතර, බොහෝ දෙනාගේ පමා වූ අවධානය පිණිස අපි ඒවා මෙලෙස සටහන්කොට තබමු.
පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය - 1985 අප්‍රේල් 21
මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය මුලතිව් නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටා ඇත. 1985.04.21 දින සුපුරුදු පරිදි මුලතිව් සිට පැමිණි ගුවන් හමුදාව පුදුකුඩිඉරිප්පු ගම්මානය වට කළහ. ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කළ මෙබඳු වැටලීම් බොහෝ දෙමළ ගම්වාසීන්ගේ ජීවිතයේ සුපුරුදු සිදුවීමක් විය. දශක කිහිපයක් පුරාම නිරායුධ දෙමළ ගම්වැසියන් එබඳු වැටලීම්වලින් ද ප්‍රහාරයන්ගෙන් ද ගැලවීමේ උත්සාහයන් සහිතව ඒවාට මුහුණ දෙමින් දෛනික ජීවිතය ගතකළහ. මෙදින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය වටලා අත්අඩංගුවට ගත් පිරිස අතරින් රජයේ සේවකයන් හඳුනාගෙන නිදහස් කර යැවූ අතර, දෛනික වැටුපට කුලී වැඩෙහි නිතර වන කම්කරුවන් ඇතුළු පිරිසක් තෝරාගෙන ඔවුන්ව හමුදා රථයකින් ඔඩ්ඩුසුඩාන් දෙසට රැගෙන ගියේ ය. ඔඩ්ඩුසුඩාන් මාර්ගය අසල පටු මාවතකට එම ගම්වැසියන් රැගෙන ගිය හමුදා භටයින් විසින් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ අතර, ශ්‍රී ලංකා හමුදා රථයකින් ඔඩ්ඩුසුඩාන් මාර්ගයට රැගෙන ගිය මළ සිරුරු භූමිතෙල් සහ තාර වත්කර පුළුස්සා දමන ලදී. මෙම සමූහඝාතනයට ලක් වූ නිරායුද දෙමළ වැසියන් සංඛ්‍යාව 30 කි.
මෙම සමූහඝාතනයෙන් දිවිගලවා ගත් සිවනන්දන් මෙගම්බලම් තම මතකය මෙසේ ආවර්ජනය කරයි.
"හමුදාව මුලතිව් ඉඳන් ඇවිත්, මධ්‍යම රාත්‍රියේ සහ උදේ පාන්දර වෙද්දි ප්‍රදේශවාසීන් අල්ලගන්න පාරවල් සහ ළඳු කැළෑ වටකරනවා. 1985 අප්‍රේල් 21 දවසෙ හමුදාව පාන්දර ඇවිත් තැන් තැන්වල රැඳිලා හිටියා. අපි ඒ වෙනකොට නිදි. ඊට කලින් ශ්‍රී ලංකා හමුදාව එනවා කියලා ආරංචි වුණාම අපි ගිහින් කැලේ හැංගිලා දවස් කිහිපයක් කෑමක් පවා නැතිව හැංගිලා ඉන්නවා. ඒත් එදා හමුදාවෙන් එන බව අපිට ආරංචි වෙලා තිබ්බෙ නෑ. අපේ ගෙදර තිබුණේ ඔඩ්ඩුසුඩාන් පාරට ආසන්නව නිසා අපිට කොහෙටවත් දුවාගන්නත් බැරි වුණා. හමුදාව මිනිස්සුන්ව වටකරලා පුදුකුඩිඉරිප්පු මාර්කට් එකේ පුතුපලවු වෙළඳසැලට අරන් ගියා. ඔවුන් මාවත් අත්අඩංගුවට ගත්තා. මගේ අම්මා කෑගසමින් ඔවුන් වෙතට දුවගෙන ඇවිත් මට යන්න දෙන්න කියා බැගෑපත්ව ආයාචනා කළා. හිතාගන්න බැරි වාසනාවක් නිසා මම හමුදාවෙන් ගැලවුණා. වටලෑම අවසන් වුණාට පස්සෙ හමුදාව පිටත් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ සන්නද්ධ රථයේ පිටුපසින් අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් රැගෙන ගියා. අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් බාගයක් විතර යනකොට ඔඩ්ඩුසුඩාන් පාර අයිනේ ඝන පඳුරු ටිකක් තිබුණා. අපට ඒ පැත්තෙන් විශාල පිපිරුම් හඬක් ඇසුණු අතර ම කුඩා ශබ්දයන් දිගටම ඇසෙන්නට වුණා. පස්සෙ අපට දැනගන්න ලැබුණෙ ඔඩ්ඩුසුඩාන් පාර ළඟ පටු මාවතකට පුද්ගලයන් 30කට අධික පිරිසක් රැගෙන ගිහින් ඔවුන්ට වෙඩි තිබ්බ බවයි. විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධානියා වුුුණු දුරෙයිරත්නම් බොහොම අමාරුවෙන් ධෛර්යයෙන් පැනලා යන්න සමත් වෙලා තියෙනවා. මළ සිරුරු ශ්‍රී ලංකා හමුදා රථයකින් ඔඩ්ඩුසුඩාන් පාරට අරන් ගිහින් හමුදාවෙන් භූමිතෙලුයි තාරයි දාලා පිච්චුවා."
කනකසුන්දරම් කරුණානන්දම් (39), සීනි ජෝශප් (32), සීනි දේවදාස් (24), ආදිරියන් අමලදාස් (19), අප්පයියා ඉන්දිරන් (32), රයිමේන්දු ඉරුදයනාදන් (45), දමෝදරම්පිල්ලෙයි (20), මානික්කම් පෝලින්රාසා (21), කිද්දිනන් (32), සංකරපිල්ලේ සත්‍යසීලන් (21), අන්තෝනිප්පිල්ලෙයි සුවාමිප්පිල්ලෙයි (32), සින්ගරත්නම් ඉලංකෝ (18), අන්තිනිප්පිල්ලෙයි දායිසින්සි (16), අප්පයියා පුවනේන්දිරන් (32), විනයාගමූර්ති රගුනාදන් (28), පෙරියතම්පි බාලසුන්දරම් (30), ලක්ෂ්මනන් (30) ඇතුළුව මෙම සමූහඝාතනයට ලක්වූ සියලු සහෝදරවරුන් ගෞරවයෙන් සිහිපත් කර සිටිමු.
පට්ටිත්තඩල් සමූහඝාතනය - 1987 අප්‍රේල් 26
පට්ටිත්තඩල් දෙමළ ගම්මානය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුතූර් සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් පිහිටා ඇති අතර 1987 වර්ෂය ආරම්භයේ සිටම එම ප්‍රදේශයට හමුදා ප්‍රහාර එල්ල විය. 1987.04.26 දින මල්ලිහයිතිව් හන්දිය අසල දී ශ්‍රී ලංකා හමුදාව සහ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අතර ඇති වූ ගැටුමේ දී කනිෆා නැමති මුස්ලිම් ජාතික ග්‍රාමාරක්ෂක භටයා ද ඇතුළුව ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් තිදෙනෙකු මිය ගියේය. මෙම සිදුවීමට පළිගැනීමක් ලෙස හමුදාව පට්ටිත්තඩල් ගම්මානයට ඇතුළු වී සෝදිසි මෙහෙයුමක් සමඟ ප්‍රහාරයක් දියත් කරන්නට විය. එල්.ටී.ටී.ඊ.ය අතින් පරාජයට පත් වුවහොත් හමුදාව සිවිල් වැසියන්ට පහර දෙනු ඇතැයි යන සැකයෙන් පට්ටිත්තඩල් ගම්වැසියන් ඒ වනවිටත් ගම හැර ගොස් තිබුණි. එහෙත් සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් එක් ක්‍රිස්තියානි පවුලක් යාච්ඤා කරමින් තවදුරටත් ගමේ රැඳී සිටියහ.
ගමට ඇතුළු වූ හමුදාව විසින් යාච්ඤා කරමින් සිටි පිරිසට වෙඩි තබා එම පවුලේ ඥාතීන් 16 දෙනාම මරා දමන ලදී. මිය ගිය අය අතර වයස අවුරුදු 1 ක් සහ 2 ක් වූ කුඩා දරුවන් 3 දෙනෙකු ද වයස 11 සිට 15 අතර දරුවන් 5 දෙනෙකු ද වූහ.
මෙම සමූහඝාතනයට හසු නොවූ, එම පවුලේ කෝනන් උලගනාදන් සිදුවීම පිළිබඳව මෙසේ පවසයි.
“මගේ නම උලගනාදන්. මම ඉපදී හැදී වැඩුණේ පට්ටිත්තඩල් ගමේ. 1987 අප්‍රේල් 24 ඉරිදා මම තනියම පල්ලියට ගියා. මගේ පවුලේ අය මා සමඟ ගියේ නැහැ. මම ආපහු එනකොට ගමේ පවුල් ගමෙන් පැනලා ගිහින් හැංගිලා ඉන්න බව දැක්කා. මගේ පවුලේ අය ඔවුන් අතර සිටිනවාද කියලා දැනගන්න මම උත්සාහ කළා. සමහර විට අපේ ගෙදර අය හැංගෙන්න වෙන පැත්තකට ගිහින් ඇති කියලා හිතලා මම කොයිකටත් ගෙදර ගිහින් බලන්න තීරණය කළා. බෝම්බ පිපිරුම් සද්දෙකුත් මට ඇහුණා. මොනවා වෙන්න ඇතිද කියලා හිතලා මම ගොඩක් බය වුණා. මම මගේ ගෙදරට දිහාට දුවගෙන ගියා. මගෙ ගෙදර ගිනි ගන්නවා මම දැක්කා. මගේ පවුල කොහේ යන්න ඇද්ද කියලා මම කල්පනා කරකර ඉස්සරහ දොර පඩියට ළං වෙනකොට මගෙ පවුලෙ හැමෝම මැරිලා ඉන්නව මම දැක්කා. මගෙ බිරිඳ, දූලා දෙන්නා, ලොකු අයියා, එයාගේ බිරිඳ, එයාගේ ළමයි පස්දෙනා, මගෙ බිරිඳගෙ ලොකු අක්කා සහ දරුවො තුන්දෙනා, මගේ අම්මයි නංගියි ඔක්කොම එතන හිටියා. මම ගින්නට පැනලා මැරෙන්න උත්සාහ කළා. නමුත් මාත් එක්ක හිටිය දෙන්නා ගින්නට පනින්න නොදී මාව අල්ලගත්තා. ඔවුන් හැංගිලා හිටිය තැනට මාව අරන් ගියා.
පහුවදා ආපහු ගේ තිබ්බ තැනට ඇවිත් මම මගෙ පවුලෙ අය මැරුණු විදිය තේරුම්ගන්න උත්සාහ කළා. පොඩි දුව ඒ වෙලාවේ බත් කකා ඉන්න ඇත්තෙ. දුව දොරට හේත්තු වෙලා හිටියෙ. දුවගෙ මූණ හරහා වෙඩි උණ්ඩයක් ගිහින් තිබුණා. ඒ මූණ ඉතා පුංචි නිසා ඒ මගේ බාල දියණිය කියලා මට පහසුවෙන් අඳුනගන්න පුලුවන් වුණා. ගමේ කවුරුත් ඉතුරු වෙලා හිටියේ නැහැ, හැමෝම පැනලා ගිහින් හිටියේ. මම මළ සිරුරු ඔක්කොම කරත්තෙක දාගෙන කැළෑවට අරන් ගියා. මම ලොකු වළක් හෑරුවා. කරත්තෙ තිබ්බ සිරුරු ඔක්කොම වළට දාලා මම ඒවා පස්වලින් වැහුවා.
සරණාගතයෙක් විදියට ගමට ආපු ලොකු නැන්දා මට කිව්වා, ඒ වෙලාවේ එයා මගේ පවුලේ අය එක්ක හිටියා කියලා. වෙච්ච දේ ඇය මට කිව්වා. අනිත් අයටත් හැංගෙන්න කියලා ඇය දුවලා ගිහින් කෙහෙල් පඳුරක් අස්සෙ හැංගිලා. ඇය කියන විදියට, හමුදාව එතනට එන්න කලින් පවුලෙ හැමෝම හැඳුනුම්පත එළියට අරන්. හමුදාව ඔවුන්ගේ හැඳුනුම්පත් දිහා බලලවත් නෑ. හමුදාව තුවක්කු අරගෙන හැමෝටම වෙඩි තියලා. මරන්න එපා කියලා ආයාචනා කරන සද්දෙ මුලින් ඇහුණත් පස්සෙ ඒ සද්දෙ නතර වුණාලු. හමුදාව ගෙදරට ගිනි තියලා පිටවෙලා ගිහින්. ඇය ආයෙ ගෙදරට ගිහින් කවුරුන්හෝ යන්තමින්වත් ජීවත්ව ඉන්නවද කියලා බලලා බේරගන්න හැදුවත් ඔවුන් සියල්ලන් මියගිහින් තිබුණලු. සෑම කෙනෙකුටම වෙඩි තබා හෝ කපලා කොටලා දාලා තිබිලා. ගේ ගිනිමින් තිබුණු නිසා ඇය වැඩි වෙලාවක් එතන රැඳිලා ඉඳලා නෑ."
මෙම ඛේදවාචකයෙන් ඝාතනයට ලක් වූ එකම පවුලේ ඥාති පිරිස වන්නේ උල්ලගනාදන් ජෙයප්‍රියා (26), උල්ලගනාදන් ජෙයාරාදි (01), උලගනාදන් යෝගේශ්වරී (26), පත්තිනියන් ක්‍රිෂාන්ති (02), පත්තිනියන් පිරගස් (13), පත්තිනියන් අත්පුතරසා (02), පත්තිනියන් නේසන් (17), පත්තිනියන් සෝබනා (12), පත්තිනියන් සීතියම්මා (34), කෝනන් පත්තිනියන් (42), කෝනන් පොන්නම්මා (60), කෝනන් මේරි (23), සින්නදුරෙයි යෝගේශ්වරී (29), සින්දමනී පාලමුරුගන් (11), සින්දමනී යෝගරාසා (14), සින්දමනී ගෝකුලේශ්වරි (15) සහ සින්දමනී සෙන්දිමනී (30) යන අයයි.
මෙම සමූහඝාතනයන්ට මුහුණ දුන් සියලු සහෝදර ජනතාව ද, සිංහල අධිපතිවාදී රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් ඉතිහාසය පුරා මරා දමන ලද සියලු නිරායුද දෙමළ වැසියන් ද, වර්ගතාන්ත්‍රික රාජ්‍ය පීඩනයට එරෙහිව නැගී සිට දිවි පිදූ සියලු අරගලකරුවන් ද අප විසින් යළි යළිත් ගෞරවයෙන් ස්මරණය කරනු ලබන්නේ, රාජ්‍ය ආරක්ෂකයින් දෙසත් රාජ්‍යයට එරෙහි අරගලකරුවන් දෙසත් රාජ්‍ය දෘෂ්ටිවාදයෙන් මිදී බලන ලෙස සිංහල සමාජයට යෝජනා කරමිනි.
- තක්ෂිලා ස්වර්ණමාලි
මූලාශ්‍ර
https://telibrary.com/en/puthukkidiyiruppu-iyankovilady-massacre-21-04-1985/
https://telibrary.com/en/paddithidalmassacre-26-04-1987/
Massacres of Tamils 1956 - 2008 (NESOHR)
Comments
Post a Comment