උඩුම්පන්කුලම් සංහාරය
උඩුම්පන්කුලම් සංහාරය
දිනය - 1986 පෙබරවාරි 19
ස්ථානය - අම්පාර දිස්ත්‍රික්කයේ උඩුම්පන්කුලම් ග්‍රාමය (තංගවේලායුදපුරම්)
ඝාතනය කළ ගම් වැසියන් සංඛ්‍යාව - 128
1986 පෙබරවාරි 19 වන දින ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ (එස්.ටී.එෆ්.) භටයින් විසින් උඩුම්පන්කුලම් දෙමළ ගම්මානයේ කුඹුරුවල ගොවිතැන් කටයුතු කරමින් සිටි දෙමළ ගොවියන් 128 දෙනෙකු කෙත් යායෙහි කමතේ දී පහර දී, කපා කොටා සහ වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම සංහාරය සිදු කර පසුගිය පෙබරවාරි මසට වසර 37 ක් ඉකුත් විය. ශ්‍රී ලංකා වර්ගතාන්ත්‍රික අපරාධ රාජ්‍යයෙහි සිංහල ස්වෝත්තමවාදය විසින් සිදු කළ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය තුළ මිහිදන් කළ තවත් එක් ඛේදවාචකයක් වන උඩුම්පන්කුලම් සමූහ ඝාතනයට ගොදුරුවූවනට ද සුපුරුදු පරිදි භූමිය මත සේ ම ශ්‍රී ලංකා ඉතිහාසය මත ද සොහොන් කොත් නොමැත. සාමූහිකව ඔවුන් විඳි සියලු වධ වේදනාවන්හි මතකයන් අනාගත පරපුරට පවරා දෙනු පිණිස ද ඔවුන්ට යුක්තිය ඉටු නොවූ බව සිහිපත් කරනු පිණිස ද සිංහල ලේඛන ස්මාරක මත, අතීතය වළ නොදමා රෝපණය කළ යුතුව ඇත.
1986 වර්ෂයේ පෙබරවාරි 19 වන දින උදෑසන 10.00 ට පමණ සෙබළුන් පිරිසක් සමඟ සන්නද්ධ රථ තංගවේලායුදපුරම් වෙත පැමිණියේ ය. තිරුක්කෝවිල් ප්‍රදේශයේ ඇතැම් ආරංචි මාර්ග පවසන ලද්දේ මෙම සෙබළුන් අම්පාරට නුදුරින් පිහිටි කොණ්ඩවත්තුවන් හමුදා කඳවුරේ සිටි සෙබළුන් බවත්, ඔවුන් ඉගිනියාගල යෝජනා ක්‍රමයේ සිංහල ජනාවාසවලින් කංචිකිච්චියාරු ප්‍රදේශය වෙන් කරන ඝන කැලෑ මැදින් ගමන් කර ඇති බවත් ය. සමූහ ඝාතනයෙන් ගැලවීගත් ප්‍රදේශවාසීන් විසින්, මෙම සෙබළුන් පොතුවිල් අසල ලාහුගල විශේෂ කාර්ය බලකා කඳවුරේ සිටි සෙබළුන් ලෙස හඳුනාගෙන ඇත. රජය විසින් සිදු කළ ප්‍රකාශ තුළ ගැබ්ව පැවතියේ අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂ කාර්ය බලකාය විසින් කැරලි මර්දනය පිණිස ආරක්ෂක අංශ සමඟ මෙම ප්‍රහාරය දියත් කළ බවයි.
ගම් වැසියන් හෝ ගොවියන් කිසිවකුගෙන් කිසිවක් නොවිමසා ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂක භටයින් විසින් උඩුම්පන්කුලම් කෙත් යායේ වැඩ කරමින් සිටි ගොවියන් වට කර, පහර දී, ඔවුන්ගේ අත් බැඳ, ඔවුන් කමතෙහි ගාල් කර වාඩි කරවන ලදී. මිනිසුන් ගැටගැසීමට ලණු මදි වූ විට, සෙබළුන් කුඹුරේ තිබූ වැටවල්වලින් කටු කම්බි ගලවා ගොවියන්ගේ පාද සහ අත් තුවාල වන සේ ඒවයින් ගැටගැසූ බව පැවසේ. සෙබළුන් ඔවුන්ට පොලුවලින් පහර දීම ද කඩුවලින් කපා කොටා දැමීම ද සිදු කළ අතර ඇතමුන්ව කිනිසිවලින් ඇන මරා දමන ලදී. පොලුවලින් එල්ල කළ දරුණු පහරවලින් හිස් පුපුරා ගිය බව ද, ඔවුන්ගේ අත පය බැඳ තිබූ බැවින් ඔවුන් බොහෝ අසරණ වූ බව ද මෙම ඛේදවාචකයට ගොදුරු නොවී ගැලවීගත් ගම් වැසියෝ සිහිපත් කරති.
පිරිමින්ගේ වේදනාත්මක කෑගැසුම් හඬ ඇසුුුණු කාන්තාවන් ආයාචනාත්මකව විළාප තබමින් කමත දෙසට දිව යාමට උත්සාහ කළ අතර සෙබළුන් ඔවුන් දෙසට වෙඩි තබමින් ඔවුන්ව පලවාහැර ඇත. සෙබළුන් කඳවුරට ආපසු යාමට පෙර කමතට ගිනි තැබූ අතර ඉතිරිව තිබුණේ දුම් දමන ශරීර කොටස් පමණක් බව සිදුවීම පසුව දුටුවෝ පැවසූහ. මෙය සිදුවන අවස්ථාවේ දී උඩුම්පන්කුලම ආසන්නයට යාමට යාබද ප්‍රදේශවල ජනතාව බිය වූ බව ඔවුහු පැවසූහ.
මෙම බිහිසුණු සංහාරයෙන් පසුවත් තම ග්‍රාමයේ රැඳී සිටි උඩුම්පන්කුලම් ගම්වාසීන්, කමතෙහි සිදු කළ සමූහ ඝාතනයෙන් තෙවසරකට පසු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සමූහ වශයෙන් පළවා හරින ලදී. මෙබඳු බලහත්කාරී නෙරපා හැරීම්වලට එවකට නැගෙනහිර දෙමළ ගම්වැසියෝ බහුලව මුහුණ දුන්හ.
මෙම සමූහ ඝාතනයෙන් දිවි ගලවා ගත් නාගමනී කන්දසාමි 2003 වර්ෂයේ දී ටැමිල් නෙට් වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. “බාගෙට පිළිස්සුණ මළසිරුරුවලින් කමත පිරිලා තිබුණා. ඒක දරාගන්න බැරි දර්ශනයක්. සෙබලු විසින් සිරුරුවලට ගිනි තියනකොට පණ තියෙන අයත් එතන හිටියා කියලා පැනලා ගිහින් කැලේ හැංගිලා හිටිය පිරිමි ළමයෙක් අපිට කිව්වා. හරියටම මාස පහකට පස්සෙ හමුදාව ආයෙ මෙහෙට ඇවිත් ගමේ මිනිස්සු දෙන්නෙකුට වෙඩි තියලා මැරුවා."
තම ඥාතියකු සමඟ වී අස්වැන්න නෙළීමට ගොස් සිටිය දී මෙම සිදුවීමෙන් බේරී පලා ගොස් කැළයේ සැඟව සිටි එවකට 13 හැවිරිදි පිරිමි දරුවෙකු වූ වෙල්මුරුගු මනෝහරන් මෙසේ තම මතකය අවදි කරයි. “සොල්දාදුවන් කාන්තාවන්ට පැල්පත්වල රැඳී ඉන්න කිව්වා. ඔවුන්ට ලිංගික වධ හිංසාවන් සිදු කළා. මාත් එක්ක කැලේට පැනලා ගිය එක පිරිමි ළමයෙක් පහුවදා උදේ අපි ආපහු එනකොට පිච්චුණු මිනී ගොඩේ තිබුණු එයාගේ තාත්තගේ මිනිය අඳුරගත්තා. ඔහුගේ පිළිස්සුණු දෑත් කටු කම්බිවලින් තුවාල වෙලා තිබුණා. පස්සේ ඒ ළමයා කොටි එක්ක ගියා. කළු කොටියෙක් වුණා කියලා අපිට ආරංචි වුණා” මනෝහරන් පැවසීය.
ඝාතනයට ලක්වූවන්ගෙන් එක් අයෙක් ට්‍රැක්ටරයක් හිමිකරුවෙකු වූ ආරුමුගම් නල්ලතම්බි ය. ඔහුගේ පුතුන් ද කෙත්වල සිටි අතර ඔහු සමඟ පුතුන් සියල්ලන් ද ඝාතනයට ලක්විය. නල්ලතම්බිගේ ලේලිය කිසියම් කටයුත්තක් සඳහා කරෙයිතීව් වෙත ගොස් නැවත තංගවේලායුදපුරම් වෙත පැමිණෙමින් සිටියදී නුහුරු ස්වරූපයක් ගෙන තිබූ කමත මත දුම් වලාවන් රැඳී තිබෙනු දුටුවා ය. තාණ්ඩියාඩි ගම්වැසියන් ඇයට සමූල ඝාතනයක් සිදු වූ බව පැවසූ අතර ගමෙන් ඈත් වන ලෙස ඔවුහු ඇයගෙන් ඉල්ලා සිටියහ. මඩකලපුව පුරවැසි කමිටුවට මෙම සිදුවීම පිළිබඳව සැල වූයේ ඇයගෙනි. ඔවුහු මෙම පුවත පොලිස් අධිකාරීවරයා වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියාට දැනුම් දුන්හ.
ඉතිරි වූ ගම්වාසීන් සහ අවට ගම්වාසීහු පසුව සිද්ධිය වූ ස්ථානයට ගියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සෑම් තම්බිමුත්තු, චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු මඩකලපුව පුරවැසි කමිටුවේ සාමාජිකයන් ද ඒ අතර වූහ. එවකට පොතුවිල් සහ කෝමාරි දේවස්ථාන භාරව සිටි තිරුක්කෝවිල්හි මරියදාස් පියතුමා ද ඔවුන් සමඟ ගියේය.
අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ කේ.එන්. ධර්මලිංගම්ගේ දිනපොතෙහි සඳහන්ව තිබූ ආකාරයට දේවනගර්හි (අලිගම්බායි) විසි හැවිරිදි ලක්ෂ්මිගේ ප්‍රකාශය මෙසේ ය. “මම විවාහ වෙලා හිටියේ රාමලිංගම් අරුල්නාදන් එක්ක. මගේ පුතාට අවුරුද්දයි. මගේ සැමියා අලිගම්බායි ප්‍රදේශයෙන් මැසන් පෝල්, දසප්පු සෙල්ලයියා, මස්සන් ජෙයරාජ්, දසප්පු සමිතම්බි, දසප්පු සෙබමලෙයි, මහාලිංගම් සහ වෙංගට්ටු කුලදේව ඇතුළු හත් දෙනෙකු සමඟ පිටත්ව ගියා. 19 වැනිදා හවස මට ආරංචි වුණා මගේ සැමියාව එස්ටීඑෆ් එකෙන් මරලා කියලා. පසුදා අපි තංගවේලායුදපුරම් වෙත ගියා. කමතේ අඩක් පිළිස්සුණු සිරුරු සහ ඇටකටු තිබුණා. මම මගේ සැමියව හඳුනා ගත්තේ ඔහුගේ ඇඳුම්වලින්. අපි ඔහුගේ සිරුරේ ඉතිරිවුණු කොටස් එකතු කරලා එතනම පුළුස්සා දැම්මා." තම සැමියාව කුලියට ගත් ඉඩම් හිමියා ද ඝාතනය කර ඔහුගේ ට්‍රැක්ටරය ද පුළුස්සා දමා තිබූ බව ඇය වැඩිදුරටත් පැවසුවා ය. “මගේ සැමියා එස්ටීඑෆ් එකෙන් මැරුවා කියලා විශ්වාස කරන්න මට හැම හේතුවක්ම තියෙනවා,” ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කර තිබුණි. 2001 වර්ෂයේ දී ධර්මලිංගම්ට ලක්ෂ්මිව නැවත මුණ ගැසුණු අතර ඇගේ පුතාට ඒ වන විට වයස අවුරුදු 13 කි. ඒ වන විටත් ඇයට වන්දි මුදලකුදු ගෙවා නොතිබුණු බව ධර්මලිංගම් පැවසීය.
තිරුක්කෝවිල්හි විශේෂ කාර්ය බලකා කඳවුර පිහිටුවා තිබුණේ මෙම සිද්ධියට සති කිහිපයකට පෙර ය. මෙම සමූහ ඝාතනයට ඔවුන්ගේ සම්බන්ධයක් නැතැයි රජය විසින් ප්‍රකාශ කරන ලදී. මෙම සිදුවීම සම්බන්ධව විභාග කිරීමට ශ්‍රී ලංකා හමුදාව විසින් හමුදා නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත් කළ නමුත් දෙමළ ජනතාව එය වර්ජනය කර කොමිසම හමුවේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළේ, එය පක්ෂග්‍රාහී බවත් රජය හිතාමතාම සිද්ධියේ මූලයන් සම්බන්ධව අසත්‍ය තොරතුරු ගොතමින් ජනතාව රවටා ඇති බවත් පවසමිනි. කොමිෂන් සභාව කැඳවූ කිසිදු දිනෙක කිසිදු දෙමළ වැසියෙකු ප්‍රකාශයන් සිදු කිරීමට පැමිණියේ නැත.
වනරොදවලින් ගහණ මෙම ප්‍රදේශයේ උඩුම්පන්කුලම් වෙත ළඟා වීමට එස්ටීඑෆ් භටයින්ට මාර්ගෝපදේශකයෙකු අවශ්‍ය විය. දිවි ගලවා ගත් අය මෙම මාර්ගෝපදේශකයා අඩ්ඩාලචේන මුස්ලිම් ගම්මානයේ සහීඩ් ලෙස හඳුනාගෙන ඇත. සහීඩ්ගේ මැදිහත්වීම දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ඉඩම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආරවුල් හේතුවෙන් සිදුවූවක් බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, එස්ටීඑෆ් කැරලි මර්දන උපක්‍රම පිළිබඳව මනාව දන්නා අම්පාර ප්‍රදේශයේ තතු දත් ආරංචි මාර්ග අවධාරනය කරන්නේ සහීඩ්, දිස්ත්‍රික්කයේ මුස්ලිම් සහ දෙමළ ජනතාව අතර අර්බුදය තව දුරටත් උග්‍ර කිරීමට ශ්‍රී ලංකා රජයේ හමුදා ක්‍රියාමාර්ගයන් තුළ ඉලක්කගතව නිර්මාණය කළ උපක්‍රමයක් බවයි. මුනාස් යන මුස්ලිම් නාමයෙන් හඳුනාගත් මඩකලපුවේ කුප්‍රකට ශ්‍රී ලංකා හමුදා ඝාතකයකු සම්බන්ධව එම තතු දත් ආරංචි මාර්ග විසින් හෙළි කරන ලදී. එම පුද්ගලයා රිචඩ් ඩයස් නම් සිංහල ජාතිකයෙකු බව විනිසුරු සොයිසා විසින් හඳුනා ගන්නා ලදී. මඩකලපුවේ සිදු කළ බිහිසුණු සමූහ ඝාතනවලට මුස්ලිම් ජාතිකයෙකු වගකිව යුතු බවට දෙමළ ජනයා බොහෝ කෝපයට පත් වූ අතර, ශ්‍රී ලංකා හමුදාවට වාසි වන පරිදි නැගෙනහිර සමාජය තුළ බේද භින්නතා ඇති වීමට මෙබඳු ප්‍රයෝගයන් තුඩු දුන්නේය.
අම්පාර වෙරළබඩ ප්‍රදේශවල දෙමළ ගම්මානවලට මුස්ලිම් ප්‍රහාර එල්ල කිරීම සඳහා එස්ටීඑෆ් භටයින් විසින් උසිගැන්වීම් සිදු කළ ආකාරය පිළිබඳව 1985 වර්ෂයේ ස්වාධීන නිරීක්ෂකයින්ගේ ලේඛනයන්හි ද සටහන් කර ඇත. මෙම සමූහ ඝාතනය සම්බන්ධව ශ්‍රී ලංකා රජය විසින් කිසිවකුට එරෙහිව ක්‍රියා මාර්ගයක් නොගත් අතර, එය අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂ කාර්ය බළකාය සහ ආරක්ෂක අංශ විසින් සිදු කළ, කැරලි මර්දන ක්‍රියාමාර්ගයක් ලෙස සනිටුහන් කරන ලදී.
මෙම සමූහ ඝාතනයෙන් වසර තුනකට පසු, උඩුම්පන්කුලම් ග්‍රාමයේ රැඳී සිටි ගම්වාසීන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සමූහ වශයෙන් පළවා හරින ලදී. තංගවේලායුදපුරම් පමණක් නොව, 1985 සිට තවත් බොහෝ ප්‍රදේශවලින් දෙමළ ගම්වැසියන් සමූහ වශයෙන් නික්මයාමට විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ පලවාහැරීම් හේතු විය. ගම්වාසීන්ට තම ඉඩම්වලට ආපසු යාම හෝ ගව පට්ටි පවත්වාගෙන යාම එස්.ටී.එෆ්. විසින් තහනම් කරන ලදී. නියෝගය කඩ කිරීමට නිර්භීත වූවන් එස්.ටී.එෆ්. මුර සංචාරක භටයින් විසින් එම ස්ථානයේම රඳවා තබාගනිමින් වධහිංසා පමුණුවා හෝ වෙඩි තබා මරාදමා ඇත.
මෙම නික්මයාම් සමඟ සශ්‍රීක අස්වැන්න ද නිමා වූ අතර වසර 12 කට පමණ පසුව නැවතත් සෙමින් හා ප්‍රවේශම් සහගතව ඔවුන් තම භූමීන්හි නැවත පදිංචි වීම ක්‍රමක්‍රමයෙන් ආරම්භ කළහ. උඩුම්පන්කුලම් ග්‍රාමයේ නැවත පදිංචි වූ ගම්වැසියන් අතළොස්සක් 2003 වන විට නැවත තම වී අස්වැන්න නෙලීමට සමත් වූහ.
58 හැවිරිදි ගනපතිපිල්ලේ සිවනේසරාජා 2003 වර්ෂයේ දී උඩුම්පන්කුලම් ජලාශය ආසන්නයේ සිටගෙන තම කෙත දෙස බලමින් මෙසේ තම මතකය ආවර්ජනය කරන ලදී. “එදා මම ව්‍යාපාරික කටයුත්තකට එළියට ගිය නිසා මම සමූහ ඝාතනයෙන් බේරුණා. එවෙලෙ මෙතෙන්ට එන්න හැමෝම බය වුණා. අපිට මෙතනට එන්න පුළුවන් වුණේ පහුවදා වෙනකොටයි. පිච්චුණ කමත බාගෙට පිළිස්සිිිලා ගිය සිරුරුවලින් පිරිලා තිබුණා. ඒක දරාගන්න බැරි දර්ශනයක්."
2003 වර්ෂයේ දී 45 හැවිරිදි කුමාරකුලසිංහම් තංගේශ්වරි කෙත් යාය අසළ සිට තම මතකය අවදි කළේ මෙසේ ය. “එස්ටීඑෆ් කමාන්ඩෝ භටයන් 1990දී අපේ ගේයි කඩයයි ගිනි තිබ්බා. ගමේ ඉස්කෝලේ, සමුපකාර සමිති ගොඩනැගිල්ලත් විනාශ කළා. විශේෂ කාර්ය බලකාය අපි නෙළපු අස්වැන්නෙ වීවලට ගිනි තියලා අපේ ගොවිපළේ අපි කන්නයට වගා කරපු මඤ්ඤොක්කා පැළ විසිපන්දාහක් විනාශ කළා. මමයි මගේ සැමියයි යන්තම් මරණයෙන් බේරුණා. අපි දවස් ගාණක් කැලේ හැංගිලා හිටියා. අවුරුදු 12කට පස්සේ අපි ආයෙත් මෙහෙට ආවා. නමුත් ජීවිතය නැවත ආරම්භ කිරීම ඉතා අපහසුයි,"
ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති 33 හැවිරිදි මුරුගේසු වරදරාජන් මෙසේ පවසයි. “තවත් නරකම දෙයක් තමයි විශේෂ කාර්ය බළකාය මේ ජලාශ බැමිත් පුපුරවා හැරීම. දශකයකට ආසන්න කාලයක් ජලාශ කැඩිලා තියෙන්නෙ. උඩුම්පන්කුලම් ජලාශයේ බැම්ම පිළිසකර කරන්න දෙමළ ඊළාම් ආර්ථික සංවර්ධන සංවිධානය (TEEDOR) උදව් කළා. කැඩුණු අනෙක් ජලාශත් පසුගිය මාස කිහිපය තුළ පිළිසකර කළා." එස්ටීඑෆ් මෙහෙයුම්වලදී මිනිස් වාසස්ථාන පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් පවා ක්‍රමානුකූලව හා නිර්දය ලෙස විනාශ කර ඇති බැවින් ස්ථිර පදනමක් මත නැවත පදිංචි වීමට පවුල් පසුබට වන බව ඔහු පැවසීය.
48 හැවිරිදි නාගමනි කන්දසාමි තවදුරටත් සඳහන් කළේ, "ගැබිණි කාන්තාවන්ට තිරුක්කෝවිල්වලට යාගන්න බස් එකකට නගින්න මෙතන ඉඳන් කිලෝමීටර් අටකට වඩා වැඩි දුරක් පයින් යන්න සිද්ද වෙනවා." යනුවෙනි.
38 හැවිරිදි ක්‍රිෂ්ණන් සිවජෝති 2003 වර්ෂයේ දී උඩුම්පන්කුලම් කුඹුරෙහි කමතේ ගොයම් මිටි බඳිමින් මෙසේ පැවසුවා ය. “අපිට ජීවත් වෙන්න ග්‍රැනයිට් ගල් කඩන්න සිද්ධ වුණා. අපට මෙහෙ ඉඩම් වගා කරන්න බැරි වුණා. මගෙ පවුල තවමත් දුප්පත්කමේ ගිලිලා. දවසට තුන්වේලක් කනවා කියන්නෙ මගේ පවුලට සුඛෝපභෝගී දෙයක්." ක්‍රිෂ්ණන් සිවජෝති පොල්ලකින් පහර දෙමින් ශුද්ධ කරන වී මිටිය, ඇය සහ ඇගේ යෙහෙළියන් විසින් කුලියට අස්වැන්න නෙළා අවසන් වූ පසු අවට කුඹුරුවලින් අහුලන ලද වී කරල්වලින් සාදන ලද්දකි. "වෙහෙස මහන්සි වෙලා දවසම වැඩ කළාට පස්සෙ දරුවන්ට ආහාර වේලක් දෙන්න පුලුවන් තරමෙ හාල් ටිකක් අපට ලැබෙනවා." ඇය පැවසුවාය. සිවජෝති සහ ඇගේ යෙහෙළියන් පැමිණ ඇත්තේ දිවයිනේ ගිනිකොනදිග වෙරළ තීරයේ ප්‍රධාන මාර්ගයේ මඩකලපුවේ සිට කිලෝමීටර් 94 ක් දකුණට වන්නට පිහිටි තාණ්ඩියාඩි ගම්මානයේ සිට ය.
“අපිට බොහෝ දෙනෙක් අහිමි කරගන්න සිද්ධ වුණා. නමුත් සටන් විරාමය අත්සන් කළ දා සිට මෙහි ඇති මහජන විරෝධතා එස්ටීඑෆ් එකට පෙන්වා දී ඇත්තේ අපේ ජනතාවට සදාකාලිකවම වහලුන්ට මෙන් සලකන්නට නොහැකි බව.” තිරුක්කෝවිල් හි සමාජ ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන විවේකානන්දන් පවසන ලදී.
එස්ටීඑෆ් බලකාය විසින් දශකයකට වැඩි කාලයක් මෙම ගම්මානය තබාගෙන සිටියේ විවෘත බන්ධනාගාරයක් ලෙස බව මඩකලපුවේ මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති. එම වසර 18 ක පමණ කාලය තුළ, අවිචාරශීලීව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ අතුරුදහන් කිරීම් මෙහි බහුලව සිදු විය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම ප්‍රදේශය සිය පාලනයට නතු කරගත් පසු කිසිදු මාධ්‍යවේදියකු එම ප්‍රදේශයට පැමිණ නැත.
විශේෂ කාර්ය බලකායේ සුවිශේෂී කැරලි මර්දන උපාය මාර්ගයේ කොටසක් ලෙස එක රැයකින් පවා පලවා හරින ලද පවුල් දහස් ගණනක් මඩකලපුවේ සිට කිලෝමීටර් 76 ක් දකුණින් පිහිටි තිරුක්කෝවිල් සහ තම්බිලුවිල් ගම්මානවල වසර 12 කට වැඩි කාලයක් සරණාගතයින් ලෙස ජීවත් වූහ. විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන්ට තම සරු බිම්වලට සහ ගව පට්ටිවලට ප්‍රවේශ වීම දිගින් දිගටම අවහිර කිරීම නිසා බොහෝ දෙනෙක් අසරණභාවයට හා බලාපොරොත්තු සුන්වීමට තල්ලු වූහ.
ආපසු සැඟවී ගමට ඒමට නිර්භීත වූවන්ව මුර සංචාරයේ යෙදී සිටි විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා මරා දමන ලදී. විශේෂ කාර්ය බලකාය විසින් එවකට දියත් කළ දීර්ඝ කැරලි මර්දන ක්‍රියාමාර්ග, දෙමළ ඊළාම් විමුක්ති කොටි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට හෝ ඔවුන් වෙතින් ජනතාව දුරස් කිරීමට සමත් නොවූ අතර, එමගින් ජනතාව විමුක්ති ව්‍යාපාරය වෙත තවත් සමීප කරවන ලදී.
රාසයියා තවන්තිරන් (18), පොන්නන් රාසතුරෙයි, මාර්කණ්ඩු රවීන්දිරන්, පත්මනාදන්, රාමසාමි කාන්තයියා (48), ධර්මන් (22), සුන්දරම් සින්නවන් (20), මයිලන් ත්‍යාගරාසා (18), සීනිත්තම්බි තවනගං (30), සිල්වාරාර් ඉන්නච්චි (32), ඒ නල්ලතම්බි, විශ්වකේතු රාශාරම් (23), ගනේෂමූර්ති පෙරින්බන් (28), කනේසපිල්ලේ මෝකනරාසා (22), පොන්නම්බලම් යෝගරෂා (18), කනපති වඩිවෙල් (27), සුවාමි දේවිත් (29), කුමාරවේල් නාගරාසා (27), මයිල්වාකනම් තියාකරසා (13), වෙන්කිට්ටන් කුලන්තෙයි, වර්ණකුලසිංහම් පුණ්ණියමූර්ති (21), සීනිත්තම්බි, සෝමසුන්තරම් කරුණානිතී (21), මුත්තුප්පොඩි සුවනාවතී, තුරෙයි රාමලින්කම්, රන්කන් පෝල්, මාසන්න ජෙයරාජ්, තසප්පු සෙල්ලයියා, සීත්තම්පි අරුඩ්සෙල්වන් (18), තසප්පු සෙබමලෙයි, ගණපුත්තු පුවනෙන්දිරන්, ඒ. සෝමසුන්දරම්, වෛරමුත්තු සුන්දරලිංගම්, කතිරේසප්පිල්ලෙයි වෛරමුත්තු, තම්පිප්පිල්ලෙයි කුමාරවේල්, කේ.පාක්කියරාසා, එන්.කොබලකිරුස්නන්, එන්.විනායගමූර්ති, මුත්තුසාමි මුත්හුලින්කම් ඇතුළුව ඝාතනයට ලක් කළ 128 දෙනාට අමතරව කාන්තාවන් රැසක් අමානුෂික ලෙස දූෂණය කරන ලද අතර, ඒ බවට එම කාන්තාවන් සාක්ෂි දරයි. "අපිව කුඹුරෙදිම දූෂණය කළා. අපිට වේදනාව දරාගන්න බැරුව සිහිය නැති වුණා. සිහිය ආවම අපි කැළෑව දිහාවට දිව්වා. කමතේ සිරුරු පුළුස්සනවා අපි දැක්කා."
සුපුරුදු පරිදි මෙම සමූහ ඝාතනය සම්බන්ධව ද ශ්‍රී ලංකා රජය මුලදී උත්සාහ දරන ලද්දේ මෙම සියලු තොරතුරු බාහිර ලෝකයට කාන්දු වීම වැළැක්වීමට ය. 1986 පෙබරවාරි 21 වැනි දින ද හින්දු පුවත්පතේ පළ කර තිබුණේ සැබෑ සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු පුද්ගලයන් සංඛ්‍යාවක්, එනම් පුද්ගලයින් 50ක් පමණ මෙහි දී ඝාතනය කර ඇති බව ය. එහෙත් සැබෑ සංඛ්‍යාව 128 කි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිෂන් සභා සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබියදී, සත්‍යය වසන් කිරීමට උත්සාහ කරමින්, ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලිගේ සහය ඇතිව රජය විසින් ගොතන ලද ප්‍රබන්ධය වූයේ - "ඊරෝස් සංවිධානය විසින් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් උදුරා ගෙන එහි ගංජා වගා කරමින් සිටියේය. එම පැමිණිල්ල විභාග කිරීමට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායට කැරලිකරුවන් විරෝධය පළ කර ඇත. ඉන් අනතුරුව ඇති වූ ගැටුමෙන් ත්‍රස්තවාදීන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය." යන්න ය.
ReplyForward |
Comments
Post a Comment