2017.07.02 'රාවය' පුවත්පතෙහි පල වූ,
ස්වතන්ත්‍ර සාහිත්‍ය නිර්මාණකරුවකු - පරිවර්තන සාහිත්‍යකරුවකු - මාධ්‍ය වේදියෙකු සහ
ඡායාරූප ශිල්පියෙකු වන, දේශසීමා මායිම් තරණය කළ
රිෂාන් ෂරීෆ් සමග කළ පිළිසදර
(සංවාද සටහන - තක්ෂිලා ස්වර්ණමාලි)
ඉන්දියාවෙදි 2010 වර්ෂයේ ප්‍රකාශයටපත් කෙරුණු රිෂාන්ගෙ මුල්ම කෘතිය ගැන මුලින්ම මතක් කළොත්..
ඒක කවි පොතක්. මගෙ ඒ කවි පොතේ නම 'වීල්දලින් නිළල්'. ඒකෙ තේරුම 'වැටෙන දෙයක හෙවනැල්ල'. උස තැනක ඉඳල මොනවහරි වැටනකොට තත්පර ගාණකට හෙවනැල්ලක් තියනවා. ඒක වැටුණහම ඒ හෙවනැල්ල අතුරුදහන් වෙනවා. ඊළම් යුද්ධයත් එහෙමයි. ගොඩාක් උස තැනක ඉඳල බිම වැටුණා. ඒක උස තැනට ගෙනියන්න ගොඩාක් අය මහන්සි වුණා. වැටුණට පස්සේ ඒ අය හෙවනැල්ල වගේ අතුරුදන් වුණා, නැත්නම් අතුරුදන් කළා. වැටුණු දෙයට මොකුත්ම කරන්න බැරි වුණා. ලේ මැදින් යටත්වුණා. ලේ පැල්ලම් ටික ඉතුරු වුණා. මේ පොතේ තියෙන්නෙ මම ම ලියපු කවි ටිකක්. ප්‍රතිචාර හොඳයි කියල හිතනවා. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ දමිල කවි පොතක් පළවෙනි මුද්‍රණයෙන් එහාට යන එක අඩුයි. මේ කවි පොත තුන්වෙනි මුද්‍රණයටත් සූදානම්.
රිෂාන් ඊළගට කරපු සාහිත්‍ය කෘතියට ලංකාවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබුණා. අද වෙනකොට ඒ දෙවෙනි කෘතිය රිෂාන්ට දැනෙන්නෙ කොහොමද?
දෙවෙනියට මම කළේ සුනේත්‍රා රාජකරුණානායක කතුවරිය ලියපු 'කෙටි කරපු දිග කතා - ගෙදර බුදුන්ගේ රහස' කතාවෙ දමිල පරිවර්තනය. දෙමළින් 'අම්මාවින් රහසියම්'. ඒකෙ තියෙන්නෙ ජේ.වී.පී. අරගල කාලේ පීඩාවට පත්වෙච්ච අම්මා කෙනෙකුගේ මතක සටහන්. ඒ කලබල කාලෙත්, යුද්ධ කාලෙත් එක එක මිනිස්සුන්ගේ අත්දැකීම් ඉතා දුක්බරයි. ඒවා සටහන් කරලා තියන්න ඕනේ අනාගත පරපුරට කියවන්න. ඒ මගින් එක යුගයක ජීවත් වෙච්ච මිනිස්සුගේ දුක් කඳුළු ඉරණම ගැන දැනගන්න පුළුවන්. ඒ කෘතියට 2011 වර්ෂයෙ නිකුත්වුණු හොඳම පරිවර්තන නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2012 දී ලැබුණා. ඒ කෘතිය දමිල පාඨකයන්ට අලුත් අත්දැකීමක් වුනා. මොකද ගොඩාක් සාමාන්‍ය දමිල අය ජේ.වී.පී අරගලය කාලේ රජයේ හමුදාව සිදුකරපු හිංසා පීඩාවලට මුහුණ දීපු සිංහල අය ගැන දැනන් හිටියේ නැහැ. ඒවා දමිලෙන් මේ වගේ වාර්තාවෙලා තිබුණේ අඩුවෙන්. මුළු සිංහල ජනතාවටම ලංකාව කියන්නේ ස්වර්ගයක් කියලයි ගොඩාක් දමිල අය හිතන් හිටියේ. ලංකාවේ පීඩිත පන්තියෙ මිනිස්සුන්ගෙ දුක ගැනත්, ඒ දුකට ජාතිය අදාළ නැති එක ගැනත් ඒ මිනිස්සු දැනගත්තේ පරිවර්තන මගින්. කොයි රටෙත් ඉන්න දමිල පාඨකයන් ඒක දැනගන්නෙ පරිවර්තන මගින්. ඒකට මේ කෘතිය ගොඩාක් උදව් කළා.
ඔබ ඔබේ සහෝදරිය වන ෆහීමා ජහාන් සමග මංජුල වෙඩිවර්ධනගේ මාතෘකාවක් නැති මාතෘභූමිය කවි පොත දෙමළ භාෂාවට පරිවර්තනය කළා. ඒ කෘතියෙ රිෂාන්ට දැනුණු විශේෂත්වය මොකද්ද?
ඉස්සෙල්ලාම මම දමිලට පරිවර්තනය කළේ මංජුල වෙඩිවර්ධනගේ එක කවියක්. ඒක මම දැක්කෙ රාවය පත්තරෙන්. ඒ කවිය මගේ හිතට දැනුනා. ඒක පරිවර්තනය කරලා මම මගේ සහෝදරි ෆහීමා ජහාන්ට පෙන්නුවා. එයාත් කිවිඳියක්. කවිය බලල එයා මට කිව්වා මංජුලගේ කවි ගැන. පීඩනයට පත්වුණ දමිල මිනිස්සු ගැන ගොඩාක් කවි ලියන මංජුලගේ කවි ටික අපිට ගොඩාක් දේවල් කියල දුන්නා. අපි මංජුලගේ අර කවිය අපේ බ්ලොග් එකේ පල කළා. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක බලලා යූ.කේ. ඉඳන් Ezhuna Media Foundation එකෙන් අපිට කතාකළා. මංජුලගේ 'මාතෘකාවක් නැති මාතෘභූමිය' සම්පූර්ණ පොතම දමිලට පරිවර්තන කරලා දෙන්න කිව්වා. ඒක මමත් මගේ සහෝදරියත් එකතුවෙලා පරිවර්තනය කරලා දුන්නා. 'තලෛප්පට්ර තායිනිලම්' කියන ඒ පොත 2013 දී ලන්ඩන්, නොර්වේ, කැනඩා, ස්විට්සර්ලන්ඩ්, ඉන්දියා යන රටවල නිකුත්වුනා. හැබැයි ලංකාවට ඒ පොත ආවේ නැහැ. ඒ පොත නිකුත් වෙලා අපිට කොපීස් එවලා තිබ්බා. ඒත් අපිට ඒක ලැබුණෙත් නැහැ. තැපැල් කන්තෝරුවෙන් ඒක දෙන එක තහනම් කළා. මේවා අපිට විතරක් සිද්දවුනු දේවල් නෙමෙයි. ගොඩාක් දමිල පාඨකයන්ට අවශ්‍ය පොත් ටික පිටරටවල්වලින් ගෙන්න ගන්න බැහැ. කවරේ ඇතුළ සහ පොතේ ඇතුළෙ මොනවද තියන්නේ කියල බලනවා තාමත්. 'මේ පොතේ මොනවද ලියල තියන්නේ? මොනවටද ගෙන්න ගත්තේ?' වගේ ඒ අය අහන ගොඩාක් ප්‍රශ්නවලට දිගු වෙලාවක් මුහුණ දෙන්න සිද්දවෙනවා. පොත කියවන්නේ නැතුව කොහොමද පොත ගැන කාටවත් කියන්න පුළුවන්. පොතේ ප්‍රභාකරන්ගේ පින්තුර හෝ ආයුධවල පින්තූර හෝ පරණ කොටි සාමාජිකයන්ගේ පින්තුර හෝ තිබුණොත්, යුද්දෙට සම්බන්ධ මොනවහරි තිබුණොත් පොත ගන්න ආපු කෙනා ඉවරයි. කවුරුත් නිකන් හිරේ යන්න කැමති නැහැනෙ. ඉතින් ලංකාවේ දමිල පාඨකයන්ට තමන්ට අවශ්‍ය පොත් පිටරටවලින් ගෙන්නලා කියවන්න බැහැ. රජය කියවන්න අනුමැතිය දෙන පොත් විතරයි කියවන්න පුළුවන් වෙලා තියන්නේ.
පහුගිය අවුරුද්දෙ රිෂාන් කරපු කෙටිකතා පොත ගැන සදහන් කළොත්..
ඒක 'අඩයික්කල පාම්බුගල්' කියන කෙටිකතා පොත. ඒක මගේම කෙටිකතා 25ක් ඇතුළත් වෙච්ච පොතක්. ඒ නමේ තේරුම 'සරණ පතන සර්පයෝ' කියල කියන්න පුළුවන්. ඒ කතා ටික මගේ ජීවිතේ හමුවූ මිනිස්සු ගැන ලියපු ඒවා. අපේ ජීවිතේ ඉන්න මිනිස්සු, ඉඳල මැරිච්ච මිනිස්සු ගැන ලියපු කතා. සතුට, දුක, ලැබන දේවල්, අහිමි වෙන දේවල්, මෙහෙම ගොඩක් දේවල් එක්ක සටන් කරන මිනිස්සුන්ව හැමදාම අපි දකිනවා. ගැටෙමින් හරි, එකඟ වෙමින් හරි අපිට හැම මනුස්සයත් එක්කම කොහොම හරි ජීවත්වෙන්න වෙනවා නේද. එහෙම තියන ජීවිතය මගහැරලා යන්න කාටවත් බැහැ මැරෙන්නැතුව. මේවා ඒ වගේ මිනිස්සුන්ගේ කතා ටිකක්.
ඒ කෙටිකතා පොතත් සමග ම ඔබ චෙන්නායිහිදි දෙමළ පාඨකයන් වෙත නිකුත් කරපු පරිවර්තන ග්‍රන්ථය ගැනත් මතක් කරමු.
ඒකෙ නම 'ඉරුදි මනිත්තියාලම්'. සිංහලෙන් තේරුම 'අන්තිම පැය' කියල කියන්න පුළුවන්. ඒ නම පොත ඇතුළේ තියන එක කවියක නමක්. සිංහල භාෂාවෙන් ලියන කවියන් කිවිදියන් දහ දෙනෙක්, ඒ අයගේ සම කාලය ගැන, යුද්ධය ගැන, පීඩා විඳින මිනිස්සු ගැන ලියපු කවි රාශියක් දමිලට පරිවර්තන කරලා ඒක පොතක් විදිහට නිකුත් කළේ. මම අවුරුදු හතරක් මහන්සි වෙච්ච මේ පරිවර්තන කෘතිය දමිල පාඨකයන් අතරේ ගොඩාක් අගයකිරීම්වලට ලක්වෙනවා. මොකද ගොඩාක් දමිල පාඨකයෝ මේ කාලේ සිංහලෙන් කවි ලියන අයව දැනගැන හිටියේ නැහැ. මේ කෘතිය මගින් ඒ කවියන්ව මට දමිල පාඨකයන් අතරට කැදවාගෙන යන්න පුළුවන් වුණා. දමිල අයට වෛර කරන්නැති සිංහල මිනිස්සුත් ඉන්නවා කියන එක ඒ අයට ඒ කවි මගින් තේරෙනවා. ඒ පොතේ තියන කවි දමිල පාඨකයෝ ඉන්න රටවල පත්තරවල, සඟරාවල නිතරම පල කරනවා. මේ මගින් දෙපාර්ශවයම අත් අල්ලගෙන කවිය මගින් දිගු ගමනක් යන්න තියන පාරක් එළිපහෙළි කරලා දෙන්න මට පුළුවන් වුණා. ඒකට එකඟ වෙන්න පුළුවන් වෙච්ච මේ කවීන්ට හැමදාම මගේ ස්තුතිය පුදකරනව.
මුස්ලිම් ජනතාවට සුවිශේෂ වෙච්ච ගැටලු ගැන ඔබ නිර්මාණ කරල තියනවද?
2014 ජුනි මාසේ ලංකාවේ අලුත්ගමල බේරුවල වැනි ප්‍රදේශවල සිදුවුණු බිහිසුණු ගැටලු සම්බන්ධයෙන් ගවේෂණක් කරලා පොතක් හැටියට පල කළා. ඒකෙ නම 'කරුප්පු ජුන් 2014'. සිංහලෙන් තේරුම 'කළු ජුනි 2014'. මුස්ලිම් ජනතාවට සුවිශේෂ ගැටලු කියනකොට මුස්ලිම් අයගෙන්ම මුස්ලිම් අයට තියන ගැටලු ගැනත් කියන්න පුළුවන්නෙ. මගේ කවි, කතා, ලිපි මගින් ඒවා ගැන ගොඩක් ලියල තියනවා.
ලංකාවෙ ජනවාර්ගික අර්බුදය තේමා කරගත්ත නිර්මාණවලට ඔබ වැඩි අවධානයක් යොමු කරන්නෙ ඇයි? ලංකාවෙ ජනවාර්ගික ගැටලුව ගැන රිෂාන්ගෙ අදහස මොකද්ද?
ජනවාර්ගික අර්බුදයක් පවතිනකොට ඒවා ගැන ලියල තැබීම අවශ්‍ය වෙනවා. ඒවා ඉතිහාසය. ඊළඟට එන පරපුරට එහෙම දේවල් සිද්ධ වෙන්නැතුව බලාගන්න ඕනේ කියන වගකීම අර ඉතිහාසයට තියනවා. වැරදි කාගේද කියන එක වැටහන්නත්, ඒ වැරදි ආයේ සිද්දවෙන්නැතුව වගබලාගන්නත් අර ලියල තියපු ඒවා උදව් කරනවා.
ජනවාර්ගික අර්බුද ඇති කරන්නේ සාමාන්‍ය පොදු ජනතාව නෙමෙයි. පිටිපස්සේ ඉඳල ඕව කරන්නේ දේශපාලකයෝ. මොකද ඒ අයට තමන්ගේ බලය ගොඩාක් කල් රඳා පවත්වාගෙන යන්න, පරම්පරා ගාණකට තමන්ගෙ බලය ගෙනියන්න රටේ ජනවාර්ගික අර්බුදය අවශ්‍ය වෙනවා. ඒ අයයි හැමදේම කරන්නෙත්, අවුස්සන්නෙත්. මේ වගේ දේශපාලකයෝ ජනවාර්ගික ගැටලු විතරක් නෙමෙයි ඇති කරන්නේ. මේ අය උසිගන්වන අය ප්‍රචාරය කරන දේවල්වලින් ලංකාවේ හැම පොදු ජනතාවගේම සාමාන්‍ය දෛනික ජීවිතය අවුල් වෙනවා. මනස ව්‍යාකූල වෙනවා. නව පරපුරේ අයට මොනවද හරි කියල හිතල බලන්න හෝ තෝරලා බලන්න බැරි වෙනවා සහ අමාරු වෙනවා. සාමාන්‍යයෙන් සාමකාමී, හැමෝමත් එක්ක හොඳින් ජීවත්වෙන්න හිතන සියලු මිනිස්සුන්ට ඒක අදත් හෙටත් බලපානවා.
මාධ්‍යවේදියෙක් හැටියට ජනවාර්ගික ගැටලු ගැන විතරක් නෙමෙයි, රටේ තියන ගොඩක් ගැටලු ගැනත් මම ලියනවා. ඒක මාධ්‍යවේදියකුගේ යුතුකමක්. එකයි මම ඉෂ්ට කරන්නේ. රටේ මිනිස්සුන්ව රවට්ටන, අසරණ මිනිස්සුන්ව රූකඩ බවට පත්කරන දේශපාලකයන්ට මම විරුද්ධයි. මේ වගේ දේශපාලකයන් රටේ ඉන්න තාක්කල් ඒ අය පවත්වාගෙන යන්නෙ ජනවාර්ගික ගැටුම් විතරක් නෙමෙයි. විසඳුම් නැති ගොඩක් ගැටලු හැමදාම පවතීවි. සිංහල මුස්ලිම් දමිල දේශපලාකයන් බොහෝ දෙනෙක් සාමාන්‍ය පොදු ජනතාව ගොදුරු බවට පත්කරන එක ගැන මිනිස්සු දැනන් ඉන්න ඕනේ. බොහෝ දේශපාලකයෝ රටට, රටේ මිනිස්සුන්ට මොනවහරි කළොත් කරන්නේ තමන්ට ආර්ථික වාසියක් හෝ කමිෂන් ලැබෙනවනම් විතරයි.
අපේ පුංචි කාලේ ගමේ මළගෙයක් එහෙම තිබුනොත් හැමෝම සංවේදී වුණා. එදාට රේඩියෝවක් වත් කවුරුත් දාන්නේ නැහැ. දැන් විපත්වලින් මිනිස්සු සිය ගණන් විනාශ වෙලත් රුපවාහිනී නාලිකාවල පෙන්නන්නේ රියලිටි මියුසික් ෂෝ සහ මෙගා නාට්‍ය. අල්ලපු ගෙවල්වල කී දෙනෙක් මැරිලා හිටියත් මෙහා ගෙදර මිනිස්සු ටීවී බලල සතුටුවෙන තත්වයට ජනතාව පත්වෙලා. මිනිස්සුන්ට කෙනෙකුගේ වේදනාව නොදැනෙන මට්ටමකට ඇවිත් තියන්නේ. එක්සිඩෙන්ට් එකක් වුණොත් ඒ අයගේ සෞඛ්‍ය ගැන හොයල බලන්නැතුව සෙල්ෆි ගන්න කට්ටිය දැන් පිරිලා. මෙහෙම සිද්ද වෙන්නෙ අපි දේශපාලකයන්ගේ බෝට්ටුවේ පාවෙලා ඇවිත් තියෙන්නෙ මුදල් මිස මනුස්සකමකට ඉඩක් නැති තැනකට නිසා.
රිෂාන් ඉන්දියාවෙදි පොත් ප්‍රකාශයට පත් කරන්න විශේෂ හේතුවක් තියෙනවද? ලංකාවෙ දෙමළ පාඨක ප්‍රමාණය සාපේක්ෂව අඩුවීම නිසා වෙළදපොළ පටුවීමත් බලපානවද? නැත්නම් වෙනත් හේතු තියනවද?
නිකන් හිතන්න.. අපිට කියවන්න ගෙන්වන පොත් ටිකම අපිට ලැබන්නේ නැහැ. එහෙනම් අපිට යුද්ධය ගැන, යුද්ධයෙන් අවතැන් වෙච්ච මිනිස්සුන්ගේ දුක ගැන, ජාතිවාදයට අහුවෙන මිනිස්සුන්ගේ කඳුළු ගැන ලියල ලංකාවේ ප්‍රකාශනයට පත්කරන්න පුළුවන් ද? ඒ වගේ පොත් පල කරන්න ලංකාවේ ඉන්න දමිල ප්‍රකාශන ආයතන බය වෙනවා. ඒ අයට මොකුත් කියන්න බැහැ ඒ බය සාධාරණයි. ලංකාවේ තවමත් තත්වය ඒකයි. සිංහල පාඨකයෝ ගොඩාක් ප්‍රිය කළ තමිලිනිගේ තියුණු අසිපතක සෙවණ යට පොතේ දමිල පොතේ පළවෙනි මුද්‍රණය පල කළේ ඉන්දියාවේ. එහෙම තත්වයක් තියන්නේ.
තවත් එකක් දමිල පාඨකයන් ඉන්න ප්‍රදේශවල තියන පොත් කඩවල, පුස්තකාලවල පාඨකයන් කියවන්න කැමති දමිල පොත් තියන්නේ ඉතා අඩුවෙන්. දමිල මාධ්‍ය ඉස්කෝලවල තියන පුස්තකාලවලත් අලුතෙන් එන පොත් නැහැ. තියන්නේ අවුරුදු ගානක් පරණ පොත් ටිකක්. එහෙම තත්වයක් තුළ අලුත්පරපුරේ දමිල පාඨකයන්ව බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?
ලංකාවේ දමිල පාඨකයන්ට හැම පොතම ලැබෙන්නේ නැහැ. පුළුවන් අය අන්තර්ජාලයෙන් දමිල පොත් අරන් කියවනවා. ඒත් පුළුවන් අය විතරයි. එතකොට අනිත් අය? මේ හින්ද ලංකාවේ ඉන්න දමිල පාඨකයන්ගේ කියවීම සීමිත වෙලා තියන්නේ. ඒ හින්ද ගොඩාක් අයට පොත් කියවීම එපා වෙලා. දැන් පොත් කියවීමත් අඩුවෙලා. ලංකාවේ සාහිත්‍ය මාසයේ පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙත් ලංකාවේ දමිල පොත්සාප්පු ඉතා අඩුවෙන් තියන්නේ. එකක් හෝ දෙකක්. ඒකෙත් විකුණන්නේ ඉන්දියානු පොත් ටිකක්.
ලංකාවේ ගොඩාක් ලේඛකයො ඉන්දියාවේ පොත් පල කරන්නේ ඒකයි. ඉන්දියාවේ පොත් පල කලාම කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක ගොඩාක් රටවලට යනවා. දමිල පාඨකයන් ඉන්න හැම රටකටම යනවා. ඒ අය ඒ පොත කියවනවා. ලංකාවේ පොත් පල කරලා අමාරුවේ වැටෙනවාට වඩා එහෙම කරන එකලේසියිනේ.
අනිත් කාරණාව ලංකාවේ දමිල පාඨකයෝ අඩුයි කියන එක. ලංකාවේ දමිලෙන් පොත්පල කරලා ඒවා විකුණගන්න බැරිව හතර වටේම ණය වෙලා පොත් ලිවීම පවා එපා වුණ ගොඩාක් අයව මම දන්නවා. සාහිත්‍යකාරයන්ට ඒ වගේ දේවල් ගොඩාක් බලපානවා. තමන්ගේ උත්සාහයෙන් පවුලේ කාගෙවත් උදව්වක් නැතුව පොතක් පල කරලා ඒවා නිසි ලෙස විකුණගන්න බැරුව ලිවීම පවා එපාවුණු අය ඉන්නවා.
මගේ පොත් පහක් ම සහ මගේ සහෝදරි ෆහීමා ජහාන්ගේ පොත් තුනක්ම පලකළේ ඉන්දියාවේ. මොකද අපි පොත හැටියට පලකරන්න කලින්ම පොතේ අඩංගු දේවල් අපේ බ්ලොග් එකේ පලකරලා තිබ්බා. ඒවට හැම රටේම ගොඩාක් පාඨකයෝ ඉන්නවා. ඉතින් ඒ අයට ඒවා පොත් වශයෙන් දෙන්න ඕන වුණ හින්දයි අපි පොත් හැටියට ඉන්දියානු ප්‍රකාශන ආයතන මගින් පලකළේ. ඒ මගින් අපේ පොත් විකුණන විදිහ ගැන අපි කරදර වෙන්න ඕනේ වුනේ නැහැ. අපේ සියලු පාඨකයන්ට අපේ පොත් ලැබුණා. අපිට අපේ පාඩුවේ තවදුරටත් ලිවීම් කටයුතු කරගෙන යන්න පුළුවන් වුණා.
ලංකාවෙ වර්තමාන දෙමළ සාහිත්‍යය ගැන රිෂාන්ගෙ අදහස මොනවගේද?
ලංකාවේ දමිල සාහිත්‍යය කියන එක සීමා වෙච්ච එකක් නෙමෙයි. ලංකාවේ තැනින් තැනට ඒව වෙනස් වෙනවා. දීර්ඝ කාලීන යුද්ධය නිසා, යුද්ධය තිබුණු ප්‍රෙද්ශවල ඉන්න දමිලෙන් ලියන මිනිස්සු යුද්ධය ගැන වැඩිපුර ලියනවා. ඒවා යුද සාහිත්‍යයක් කියන්න පුළුවන්. පරණ කොටි සාමාජිකයෝ බොහෝ දෙනක් දැන් දමිලෙන් ගොඩාක් පොත් ලියනවා. කොටි සාමාජිකයන් අම්මා, නැන්දා කියල අමතන දමයන්ති සිවසුන්දරලිංගම්ට දැන් වයස 68 ක් වෙනවා. මෙතුමියගේ පුතාලා දෙන්නම කොටි සාමජිකයන් වෙලා ඉඳල යුද්ධයෙදී මැරුණා. පස්සේ මෙතුමියත් කොටි සාමාජිකාවක් වුණා. එතුමිය ළඟදී 'තමිල්කවි' කියන නමින් ලියපු 'ඌළික් කාලම්' (එක යුගයක කාලය) නවකතාව, යුද්ධ කාලයේ අනාථ වෙච්ච මිනිස්සුන්ගේ බිහිසුණු අත්දැකීම් ගැනත්, යුද්ධය සාමාන්‍ය පොදු ජනතාවට කොහොමද පීඩාවක් වුණේ කියන එක ගැනත් පැහැදිළි කරනවා.
ඒ වගේමයි ලේඛිකාවක් වන වෙට්රි චෙල්විගේ පොත් ටිකත්. එයත් හිටපු කොටි සාමාජිකාවක්. යුද්ධය නිසා එයාට එයාගේ දකුණු අත, දකුණු ඇස, කන්බෙරය අහිමිවුණා. පස්සේ වම් අතින් ලියන්න පුරුදුවෙලා දැන් ගොඩක් පොත් ලියනවා. ඒ යුද්ධය ගැන. ඒක ගොඩාක් අගය කරන්න ඕනේ වැඩක්. මොකද ඇත්තටම යුද්ධය කොයිතරම් කුරිරු ද කියන එක ඒ අයටයි කියන්න පුළුවන්. ඒ අයගේ අත්දැකීම් ඒ අයම ලියන එකයි වටින්නේ. තමන් යුද්ධයට ගොදුරු වෙච්ච විදිහ, යුද්ධය කොයි තරම් භයානකයි ද කියල ඒ අයටයි හොඳටම පැහැදිලි කරන්න පුළුවන්.
උඩරට ඉන්න දමිල වතු කම්කරු මිනිස්සුන්ගෙ කඳුළු ගැන, අරක්කු ඒ අයගේ ජීවිතය විනාශ කරන විදිහ ගැන, ණය සහ පොලී බර ගැන, ඒ අයට අහිමි වෙන ජීවිතය ගැන, ඒගොල්ලන්ගේ පීඩාවන් ගැන දමිලෙන් ලියනවා. ඒක තවත් දමිල සාහිත්‍යයක්. ලංකාවේ ඉන්න දමිල බසින් ලියන මුස්ලිම් අය ඒ අයගේ සමාජය ගැන, ඒ අයගේ වේදනාවන් ගැන ලියනවා. ඒ අයට වැඩියෙන් බලපාන දේවල් ගැන ලියනවා. මේ විදිහත් පළාතෙන් පළාතට වෙනස් වෙනවා.
තවත් පිරිසක් ඉන්නවා, යුද්ධය නිසා මව් රට අහිමි වී පොහොසත් පිටරටවල්වල ඉඳල ලංකාව ගැනත්, අලුතින් ගිය රටවල්වල භාෂා දන්නැතුව, රස්සාවල් නැතුව, අනාථ වෙලා දුක් විඳින ජීවිත ගැනත් ලියන අය. ඒ වගේම ඒ පොහොසත් පිටරටවල්වලම ජීවිතයේ සතුටුදායක තැනකට යන්න පුළුවන් වෙච්ච, ඒ ජීවිතයේ විදින සතුට ගැන ලියන අයත් ඉන්නව. මේ දෙගොල්ලම දෙමළින් ලියන අය.
තවත් පිරිසක් යුද්ධය නිසා පණ බේරගන්න ඉන්දියාවට බෝට්ටුවලින් ගිහිල්ල පාස්පෝර්ට් මොකුත්ම නැති හින්ද එහෙ කඳවුරුවල ජීවත් වෙන අය. ඒ අයට හරි හැටි රස්සාවල් නැහැ. ඉගෙනීම් කටයුතුවලට ගොඩාක් බාධාවල් තියනවා. එහෙම අවතැන් වෙලා තවමත් දුක් විඳ ගෙන ඒ දුක්බර ජීවිත ගැන දමිල භාෂාවෙන් ලියන අයත් ලංකාවේ දමිල සාහිත්‍යට ඇතුළත් වෙනවා. මොකද ඒ අයගෙත් මව් රට ශ්‍රී ලංකාව හින්දා.
මෙහෙම ලංකාවේ දමිල සාහිත්‍යය තැනින් තැනට වෙනස් වෙනවා. මේවා එකකට එකක් වෙනස්. හැබැයි මේ හැම එකක්ම ලංකාවේ දමිල සාහිත්‍යට අයිති වෙන ඒවා.
රිෂාන් දැනට කරගෙන යන වැඩකටයුතු මොනවද?
මේ කාලේ මම ම තෝරපු සිංහල කෙටිකතා ටිකක් දෙමළට පරිවර්තනය කරගෙන යනවා. ඒක මේ අවුරුද්දේ සම්පූර්ණ පොතක් හැටියට පල කරන්න අදහසක් තියනවා. සිංහල භාෂාව වගේ ම, සිංහල සාහිත්‍යයත් ගොඩාක් අගය කරන්න වටිනවා. මෑතකදී මම ගොඩාක් සිංහල කෙටිකතා කියෙව්වා. මම කියවපු කෙටිකතා සමහරක් මාව පුදුම කෙරෙව්වා. ඒ අමුතුම විදිහට ලියපු නව පරපුරේ අයගෙ කෙටිකතා ටිකක්. තවත් ගොඩාක් අයගේ ඒව කියවන්න ඕනේ. තව මේ අවුරුද්දේ මගේම කවි අඩංගු මගේ දෙවෙනි කවි පොතත් පල කරන්න අදහසකුත් තියනවා.
'அரசியல்வாதிகளுக்கு தமது அரசியலை நடத்திச் செல்ல பேரினவாத மோதல்கள் அவசியமாகின்றன.'
රිෂාන් ෂරීෆ් විසින් මේ වන විට පල කර ඇති සාහිත්‍ය කෘති
කවි
1. වීල්දලින් නිළල් - වැටීමේ සෙවනැල්ල
2. මිග රගසියච් චොට්කල් - වඩාත්ම රහසිගත වචන
කෙටිකතා
3. අඩෛක්කලප් පාම්බුකල් - නවාතැන් සර්පයෝ
(2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සහතික පත්‍රය)
ගවේෂණ නිබන්ධ
4. කරුප්පු ජූන් 2014 - කළු ජූනි 2014 (2014 අලුත්ගම ජනවාර්ගික කෝලාහල පිළිබඳ)
5. ඉයට්කෛ - සොබාදහම
6. ආලන්ගලිනූඩු - ගැඹුරට
(ලාංකේය සහ විදෙස් චිත්‍රපට පිළීබදව කරන ලද ගවේෂණ සහ නළු නිලියන් අධ්‍යක්ෂවරුන් සමග කළ සම්මුඛ සාකච්ඡා)
පරිවර්තන කවි
7. තලෛප්පට්ර තාය්නිලම් - මාතෘකාවක් නැති මාතෘ භූමිය (මංජුල වෙඩිවර්ධන)
පරිවර්තනය - ෆහීමා ජහාන් සමග
8. ඉරුදි මනිත්තියාලම් - අන්තිම හෝරාව
(Canada The Tamil Literary Garden Award - 2017)
(2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සහතික පත්‍රය)
9. අවර්ගල් නම් අයල් මනිදර්ගල් - ඔවුන් අපේ අසල්වැසියන් ය
10. අල්බේනිය කවිදෛගල් - ඇල්බේනියානු කවි
පරිවර්තන කෙටිකතා
11. එනදු තේසතෛ මීලප් පෙරුගිරේන් - මගේ රට ආපසු ලබාගනිමි (අප්‍රිකානු කෙටිකතා)
(2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන)
12. අයල් පෙන්ගලින් කතෛකල් (අසල්වැසි කාන්තාවන්ගේ කතා)
(2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන)
(2019 India Vaasagasalai Award)
13. තිරුමති පෙරේරා - පෙරේරා මහත්මිය (ඉසුරු චාමර සෝමවීර)
14. අන්තිම කාලත්තින් ඉරුදි නේසම් - අවසාන කාලයේ අවසාන ආදරය (තක්ෂිලා ස්වර්ණමාලි)
15. සුරුක්කප්පට්ට නෙඩුඟ් කතෛගල් (කුමාරි කුමාරගමගේ)
පරිවර්තන නිබන්ධය
16. ප්‍රබාකරනින් තායාරදු ඉරුදි යාත්තිරෛ - ප්‍රභාකරන්ගේ මවගේ අවසන් ගමන
පරිවර්තන නවකතා
17. අම්මාවින් රගසියම් - ගෙදර බුදුන්ගේ රහස (සුනේත්‍රා රාජකරුණානායක)
(2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන)
18. ධරණි (කත්යානා අමරසිංහ)
19. නිලවියලින් තුයරම් (Tamil translation of 'The sadness of geography' book)
20. ගිකෝර් (The Tamil translation of Gikor book)
21. බීඩි (තක්ෂිලා ස්වර්ණමාලි)
Comments
Post a Comment