අපි මිනිස්සු - ගැහැනු පිරිමි සීමා ඉරි අතර සුලුතරය. ("Api Minissu" - Sociological review on Third Gender) First Printing - 2017, Ashirwada Publishers, 251 pages

















හඬන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා.. ඇත්තමයි නුඹ අහසක් - වගේමයි හිතුණා.. 


ලාංකේය සමාජය තුළ ගැහැනුන් පිරිමින්ට පෙම් කරන අයුරු අනේක වරක් නොබලාම පෙනේ. ලාංකේය සමාජය තුළ සංක්‍රාන්ති සමාජභාවීය ගැහැනියක පිරිමියෙකුට පෙම් කරන අයුරු නොබලා තබා බලාවත් නොපෙනෙන තරම් ය. කායික, මානසික සහ සමාජයීය ගැහැනියකට වඩා සංක්‍රාන්තික ගැහැනියක පොළොව මත නොපවතින පරමාදර්ශීය ආසියාතික ගැහැනු ප්‍රේමයට ඉතා සමීප වීමට දැඩිව තැත් කරන්නියකි. සංක්‍රාන්ති ස්ත්‍රියකට සාපේක්ෂව කායික ස්ත්‍රියකට ස්ත්‍රියක වීමේ අභියෝගය නොපවතින බැවින් ඔවුන් බොහෝ සංක්‍රාන්තික ගැහැනුන් පමණට පරමාදර්ශී යැයි සැලකෙන ගැහැනු ආදර මාදිලිය දිශාවට ළඟා නොවන තරම් ය.
 ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාවයේ සහ ලිංගික දිශානතියේ සුළුතරය තුළ සිටින බහුතරය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ය. එසේත් නැතහොත් ලිංගික ස්වරූපයේ විවිධත්වය (එම ලිංගික ස්වරූපය කායික, මානසික හෝ සමාජයීය වශයෙන් විය හැක.) තුළ සිටින බහුතරය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ය. ඔවුහු එඩිතර ලෙස තම ලිංගයට අදාළ සමාජභාවය ප්‍රතික්ෂේප කරති. ඔවුහු නිර්මාණශීලී ලෙස තම ලිංගයට ප්‍රතිවිරුද්ධ ලිංගයේ සමාජභාවයට අනුව ක්‍රියා කරති.
ස්ත්‍රී ලිංගිකයින් ලාලිත්‍යයෙන් ද සෞම්‍යත්වයෙන් ද යටහත් බවින් ද නම්‍යශීලීත්වයෙන් ද යුතු විය යුතු බවට ද, පුරුෂ ලිංගිකයින් රළු බවින් ද අධිපති බවින් ද සෘජු බවින් ද යුතු විය යුතු බවට ද සමාජය විසින් නියම කර ඇති වුව ද, සැබෑ භෞතිකය තුළ රළු ගැහැනු ද සුමට පිරිමි ද බොහෝ ය; ගැහැනු වුව ද පිරිමි වුව ද ඔවුහු මෘදුකම් ද රළුකම් ද මිශ්‍ර වූ අළු පැහැ මිනිස්සු වෙති. බොහෝ ගැහැනු සුමටකම් යට රළු භාවයන් ද බොහෝ පිරිමි රළු භාවයන් යට සුමටකම් ද ඇති අවස්ථා සුලබය. එහෙත් පිරිමි සුමටකම් තුළ ද ගැහැනු රළුකම් තුළ ද අභ්‍යන්තරිකව ක්‍රියාත්මක වන්නේ පුරුෂ අධිපතීත්වය සහ ගැහැනු යටහත් බව ම ය. පුරුෂ සමාජභාවය තුළ වූ අධිපති ස්වරූපය ද ස්ත්‍රී සමාජභාවය තුළ වූ යටහත් ස්වරූපය ද පරමාදර්ශයන්ට සාපේක්ෂව සැබෑව තුළ දුර්වල වන අවස්ථා ඇතැම්විට ඇත.
එනයින් බැලූ කළ තම ලිංගයට අදාළ සමාජභාවය ප්‍රතික්ෂේප කරමින් තම ප්‍රතිවිරුද්ධ ලිංගයේ සමාජභාවය වැළඳගන්නවුන් වඩාත් හොඳින් අන්‍ය ස්ත්‍රීන්ට හෝ පුරුෂයින්ට වඩා ඔවුන්ගේ සමාභාවයට
අදාළ සම්මුතීන් වැලඳගනු ලබයි. එය ඇතැම්විට ඔවුන් වැළඳගැනීමට තැත් කරන සමාජභාවයට අදාළ චර්යාවන් ඉක්මවා යාමක් ලෙස ද බොහෝවිට මතුපිටින් පෙන්නුම් කරයි. ඔවුන්ගේ ප්‍රේමනීය මනෝභාවයන් වඩාත් සංවේදී හෝ තියුණු වන්නේ ද සංක්‍රාන්තික ගැහැනියක අති ලාලිත්‍යමය චර්යාවන් ප්‍රකට කරන්නේ ද සංක්‍රාන්තික පුරුෂයකු චර්යාමය වශයෙන් අතිශය පිරිමි බවක් ප්‍රකට කරන්නේ ද ප්‍රතිවිරුද්ධ සමාජභාවයේ පරමාදර්ශයන්ට අනුකූලවීමට දරන එම උත්සාහය මත විය හැක. ඒ තුළ ප්‍රශ්නකාරීත්වයක් ඇති බව 
නරඹන්නාට හැඟී ගිය ද, ප්‍රශ්නාර්ථය ඇත්තේ ගැහැනු සහ පිරිමි චර්යාවන් සීමා ඉරි සහිතව වෙන්කොට තිබීම සහ මිනිස් චර්යාවන් දෙස එම සීමා ඉරි සහිත රාමුව හරහා බැලීම තුළ ය. එම රාමුගත බැල්ම තුළ පීඩක
භාවය හෝ අවඥාව වෙනුවට පවත්නේ මානුෂික වූ සංවේදී හැඟීම් වේ නම් සාපේක්ෂව බැලූ කළ එය ධනාත්මක ය. 
මෙම කෘතිය සැකසෙන්නේ, සංක්‍රාන්ති සමාජභාවී ජනතාව, අන්තර් ලිංගික ජනතාව, ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නභාවී පුද්ගලයින්, අලිංගිකයින්, පණ්ඩකයින්, හරස් විලාසිතාකරුවන් හෝ තෙවන 
ලිංගිකයින් ආදී වශයෙන් වූ, ලිංගිකත්ව අනන්‍යතාවයේ සුළුතරය නැතහොත් ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාවයේ සහ ලිංගික දිශානතියේ සුළුතරය හා සම්බන්ධ සංකල්පයන්ට අදාළව සිංහල ලේඛන සාහිත්‍යය තුළ ග්‍රන්ථකරණයන් සිදු නොවන තත්වයක් යටතේ ය. 
එමෙන්ම සිංහල පාඨක සමාජයට නොහොත් ලාංකේය බහුතර පොදුජන සමාජයට ඒ පිළිබඳව දැනුවත් විය හැකි මාධ්‍ය හෝ දැනුවත් වීම සමඟ අවියෝජනීයව බැඳී ඇති දැක්ම ප්‍රතිසංස්කරණයට බලපෑම් සහගත වූ ප්‍රකාශනයන් විරල තත්වයක් යටතේ ය. එම ඌණතාවය පරිපූරණය කරනු උදෙසා මෙම කෘතිය කිසිසේත් සමත් නොවන අතර, බහුතර ස්ත්‍රී පුරුෂ ද්විත්වයට අයත් නොවූ සුළුතරය අළලා සමස්ත මානව සමාජය තුළ විවිධ භාෂාවන්ගෙන් ගොඩනැගුණු අලිඛිත සාහිත්‍යය ද අන්තර්ජාල සාහිත්‍යය ද ඇතුළු පුළුල් ලෝක සාහිත්‍යය තුළ කුඩා කොදෙව්වක භාෂාවකින් කරනු ලබන මෙම කියවීම තිතකටත් වඩා ක්ෂුද්‍ර වූවකි.  
බහුතර ස්ත්‍රී පුරුෂ ද්විත්වයට අයත් නොවූ සුළුතරය, සංක්‍රාන්ති සමාජභාවය, අන්තර් ලිංගිකත්වය, ප්‍රශ්නභාවී ලිංගිකත්වය, අලිංගිකත්වය, පණ්ඩකත්වය හෝ පණ්ඩකකරණය, තෙවෙනි සමාජභාවය ආදී විවිධ සංකල්පීකරණයන් යටතේ හඳුනාගනු ලැබෙද්දී පොදු ජන සමාජය තුළ, විශේෂයෙන් ආසියාතික අගතිගාමීත්වයන් සහිත නොදියුණු ධනවාදී සමාජය තුළ ඔවුන් හඳුන්වනු පිණිස භාවිත වන්නේ අවඥාසහගත නාමකරණයන් ය. අවඥාසහගත පදනමකින් තොරව ඔවුන්ව හැඳින්වීම අරුමුණු කරගත් භාෂා භාවිතයන්හි පවා ප්‍රශ්නකාරීත්වයන් ඇතැම්විට හඳුනාගනු ලැබේ. නිදසුනක් ලෙස සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් අපේක්ෂා කරනු ලබන සහ චර්යාමය වශයෙන් යම්තාක්දුරකට හෝ පූර්ණලෙස අත්පත් කරගෙන සිටිනු ලබන සහ මනසින් වැළඳගත් සමාජභාවයක් පවතින බැවින් ඔවුන් ස්ත්‍රීන් හෝ පුරුෂයින් විනා සංක්‍රාන්තිකයන් හෝ තෙවන ලිංගිකයින් නොවන බවට තර්ක කළ හැක. එමෙන්ම ස්ත්‍රී හෝ පුරුෂ අනන්‍යතාව ප්‍රකට කිරීම සම්බන්ධව පැහැදිලි මායිම් නොදක්වන්නවුන් හෙවත් පූර්ණ ලෙස එක් සමාජභාවයක් තුළට රාමුගත නොවූ අතරමැදි තත්වයක් පෙන්වන්නවුන්ට ද එම තත්වයේ නතරව රැඳෙමින් වෙනම ලිංගිකත්ව අනන්‍යතාවක් සහිතව සිටීමට අයිතිය ඇත.
සංක්‍රාන්ති සමාජභාවයට සහ අන්තර් ලිංගිකත්වයට අදාළ ජනතාව තෙවෙනි ගණයේ ලිංගිකයින් ලෙස පිළිගැනීම වනාහිම අගතිගාමීත්වයක් ලෙස දැකිය හැකි අතර, ඒ තුළින් පළමු ගණයේ ලිංගිකයකු හා දෙවැනි ගණයේ ලිංගිකයකු සිටින බව පිළිගෙන හමාර වන අතර සංක්‍රාන්ති සමාජභාවයට සහ අන්තර් ලිංගිකත්වයට අදාළ ජනතාව තෙවැනි ගණයේ බව ද පිළිගෙන හමාර ය. ඔවුන් ධූරාවලියේ තෙවෙනි හෙවත් අවසාන ස්තරය දක්වා පසුබස්වා ඇත. එබදු ධූරාවලිගත කිරීමක් අනුමත නොකළහැකි නමුදු ප්‍රමාණාත්මක බව හෝ බලය කේන්ද්‍රගත වීමේ මට්ටම අනුව භෞතිකය තුළ එවැන්නක් ක්‍රියාත්මක ය.
මානව ඉතිහාසය පුරා ම බහුතර ස්ත්‍රී පුරුෂ ද්විත්වයට අයත් නොවූ සුළුතරය යනු අනිවාර්ය වශයෙන් සමාජ ක්‍රමය සමඟ දැඩිව බද්ධව පැවති ප්‍රපංචයක් වන අතර එය අනිවාර්යයෙන් දේශපාලනික වේ. සමාජ ක්‍රමයන් තුළ පැවති අර්බුදයන්හි ඵලයක් ලෙස සුළුතර සමාජභාවයෙහි අර්බුදය ද විවිධ හැඩතල ගන්නා අතර මෙම කෘතියෙහි එන විවිධ විමසාබැලීම් හරහා කිසිලෙසකින්වත් සමාජ ක්‍රමයෙන් වියුක්ත වූ විග්‍රහයන් ඔසවා තැබීමට අපේක්ෂා නොකරන අතර වර්තමානය තුළ ද ලිංගික සුළුතරයින්ගේ සමාජභාවයන් වනාහි ප්‍රාග්ධන තර්කන ක්‍රියාවලියෙහි වියමනට බද්ධ වූවක් ම බව අවධාරණය කළ යුතු ය. ලංකාව නැමති දූපත තුළ ද්‍රවිඩයාට ද්‍රවිඩ වීම නිසා අත්විඳීමට සිදුවන සුවිශේෂී ගැටලුවක් පවතින්නා සේ ම, ගැහැනියට ගැහැනු වීම නිසා අත්විඳින්නට සිදුවන සුවිශේෂී ගැටලුවක් පවතින්නා සේ ම, බහුතර ස්ත්‍රී පුරුෂ ද්විත්වයට අයත් නොවූ සුළුතරයට තමා බහුතර ස්ත්‍රී පුරුෂ ද්විත්වයට අයත් නොවීම මත අත්විඳින්නට සිදුවන සුවිශේෂී ගැටලුවක් ඇත. සමස්ත මානව සමාජය තුළ ද විවිධ ස්වරූපයන් යටතෙහි වන පොදු තත්වය එයයි. එය ශ්‍රම සූරාකෑමේ ද පන්ති සමජයේ ද ප්‍රාග්ධන තර්කනයේ ද ධනේෂ්වර දෘෂ්ටිවාදයේ ද ප්‍රධාන අර්බුදයට යටත්ව පවතින්නක් මිස සමස්තයෙන් ගලවන ලද හුදෙකලා ගැටලුවක් හෝ මිනිස් සමාජයේ ප්‍රමුඛ ගැටලුව නොවේ. එහෙත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ හෝ 
ලිංගික දිශානතියේ සුළුතරයට අයත් පුද්ගලයන්ගේ කෝණයෙන් ගත්විට ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමුඛ ගැටලුව වන්නේ තම ලිංගිකත්වයට අදාළ සමාජභාවය පිළිබඳ අර්බුදය හෝ තම ලිංගිකත්වය පිළිබඳ අර්බුදය යි. ඔවුන්ට එය එසේ දැනීම අතිශය සාධාරණ සහ ඔවුන්ගේ පාර්ශවයෙන් ඉතා තාර්කික වේ. එහෙත් එය එසේ වූ පමණින් ප්‍රාග්ධන තර්කන ක්‍රියාවලිය තුළ පීඩාවට පත් සමස්තයේ මූලික අර්බුදය මගහැර නොයාමට වගකීමක් ඇත. වර්තමානයේ සියල්ලන් මුහුණදෙන සියලු ආකාර වූ අර්බුදයන්, සූරාකමින් ලාභ ඉපයීම අරබයා වූ ප්‍රාග්ධන තර්කනයේ වියමන සමඟ අවියෝජනීය ලෙස ගැටගැසුණකි.
 කායික ලිංගික ස්වරූපයේ සුළුතරයට හෝ ලිංගිකත්වයට අදාළ සමාජභාවයේ සුළුතරයට අයත් ලෙස හඳුනා ගනු ලබන පුද්ගලයින්ව කියවීමට දරන උත්සාහයන් තුළ අපට හමුවන්නේ, ස්ත්‍රිය සහ පුරුෂයා යන සංකල්පයන්ට සාපේක්ෂව සුළුතර ලිංගිකත්වය හෝ ඊට අදාළ සමාජභාවය දැකීමට දරන උත්සාහය යි. එනම් ඒ අනුව, පවත්නේ ස්ත්‍රී සහ පුරුෂ යන කුලක දෙක පමණක් බව ද අනෙක්වා ඊට සාපේක්ෂ අර්ථවලින් යුක්ත බව ද යමෙකුට සඳහන් කළ හැක. මන්ද සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික, අලිංගික, පණ්ඩක, තෙවෙනි ලිංගික හෝ ලිංගිකත්වය ප්‍රශ්නකාරී ආදී වූ සංකල්පයන් තුළ, ස්ත්‍රී පුරුෂ සංකල්පයන්ට සාපේක්ෂව අර්ථගැන්වීමට දරන උත්සාහයන් හමුවන බැවිනි. ඔවුන් වෙනම අනන්‍යතාවක් ප්‍රකට නොකරන අතර, ඔවුන් ප්‍රකට කරන්නේ ද ස්ත්‍රී හෝ පුරුෂ අනන්‍යතාවය ම බව ද, එහි සාර්ථක අසාර්ථකභාවයන් හෝ අඩුවැඩිතා පමණක් තිබියහැකි බව ද යමෙකුට තර්කානුකූලව පැවසිය හැක. එහෙත් ඔවුන්ගේ ලිංගික චර්යාවන් ඇතුළු, සමාජ පද්ධතිය සමඟ බද්ධ වූ සමස්ත චර්යාව සියුම්ව සලකා බැලුවහොත් ඔවුන්ට වෙනම අනන්‍යතාවක් ඇති බවට ද තර්ක කළ හැක.
ම්ලේච්ඡ බලකිරීම් හෝ සෘජු බලහත්කාරය ක්‍රියාත්මක නොවන කල්හි, උපතින් ලත් කායික ලිංගික ලක්ෂණයන්හි ප්‍රබල වෙනස්කමක් ද නොවේ නම්, ලිංගිකත්වය හෝ සමාජභාවය ද ලිංගික චර්යාවන් හෝ මිනිස් බැඳීම් ද සම්බන්ධව දෙන ලද රාමූන් නිර්මාණශීලී ලෙස අතික්‍රමණය කරනු ලබන, ප්‍රබල ලෙස රාමු බිඳහෙලීමේ මානව චර්යාවක් ලෙස, බහුතර ස්ත්‍රී පුරුෂ ද්විත්වයට අයත් නොවූ සුළුතරය හැඳින්විය හැකි නමුදු එහිදී දෙනලද රාමුවකින් බැහැරව යළි දෙන ලද රාමුවකට ම ඇතුළු වන බව ද කිව යුතුය. මන්ද අපගේ සියලු චර්යාවන් තීරණය කරනු ලබන්නේ දෘෂ්ටිවාදාත්මක සමාජ ව්‍යුහය තුළින් ම වන බැවිනි.
කායික ලිංගික ස්වරූපයේ සුළුතරයට හෝ ලිංගිකත්වයට අදාළ සමාජභාවයේ සුළුතරයට අයත් ජනතාව, නැතහොත් ස්ත්‍රී පුරුෂ බහුතර ද්විත්වාකාරයට අයත් නොවන ජනතාව පිළිබඳව විසිර ඇති අනල්ප පරාසයක තොරතුරු අතරින් අල්ප වූ තොරතුරු ප්‍රමාණයක් ඒකරාශී කිරීමක් සහ ඊට අදාළ සංකල්පයන් පිළිබඳ මද විවරණයක් මෙම කෘතිය තුළින් සංක්ෂිප්තව සිදුකර ඇති අතර, පවත්නා පරාසය මීට වඩා අති පුළුල් බව ද එම සමස්තය, සමස්ත ලෝක මානව සමාජය පුරා මේ මොහොත දක්වා වූ ඉතිහාසය තුළ ඇතැම්විට මිහිදන්ව ද ඇතැම්විට අප්‍රකාශිතව ද ඇතැම්විට විවිධ ප්‍රකාශන මාධ්‍යයන් තුළ සනිටුහන්ව ද ලේඛනගත වී හෝ ලේඛන තුළ ද සැඟවී හෝ ද ඇති බව සඳහන් කළ යුතු ය.
එමෙන්ම මෙම කෘතිය තුළින් කායිකව සහ සමාජයීයව ස්ත්‍රීන් හෝ පුරුෂයින් වූ බහුතරයට අයත් නොවන සුළුතරයේ පුද්ගලයන් හා සම්බන්ධ අත්දැකීම් බෙදාහදා ගැනීමේ දී ඇතැම්විට ඔවුන්ගේ පුද්ගල අනන්‍යතාවය හෙළිදරව් වීම නොවලක්වන ලද අතර ඔවුන් තම කැමැත්ත මත මේ වන විටත් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වූ චරිතයන් ය. තම කැමැත්ත මත එසේ හෙළදරව් නොවූ හෝ හෙළිදරව් වීමට කැමැත්ත පළ කර නොමැති කිසිවකුගේ පුද්ගල අනන්‍යතාවක් මෙහි දී හෙළිදරව් කර නොමැත.


Comments

  1. තක්ශිලා අක්කේ..(ටීචර් කියන්න ගිහිල්ලා කිව්වේ නෑ) මේ කියවපු පිටු දෙකෙන්ම මට තේරුනා අක්කා හොද අධ්‍යනයක් කරලා තමයි මේ පොත ලියලා තියෙන්නේ කියලා. ඒ ගැන හරිම සතුටුයි. අපේ ට්‍රාන්ස් අයගේ කකුල් දෙක මැද්දේ තියෙන එකගැන හුගාක් අය ප්‍රශ්න කලාට, පපුවේ ඇවිලෙන දුක් ගින්න ගැන කවුරුත් ඇහුවේ නෑ. අක්කා ඒ ගැන අහලා තියෙනවා. ඔක්කොටමත් වඩා , පොතේ ටයිටල් එක.. අපි මිනිස්සු... බොක්කටම වැදුනා..
    අක්කේ ඔබට ජය!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව