බීඩි ඔතන ළදුන්

 කහට පාට ඇඟිලි තුඩු (‘රාවය‘ පුවත්පත -  2017.05.14)




“බීඩි දාහක් එතුවහම රුපියල් පන්සීයක් හම්බ වෙනව. ගෙදර ගෙනැල්ලයි කවුරුත් ඔතන්නෙ. කොම්පැනිය ඇතුළෙ ඔතන්නෙ නෑ. ලේබල් ගහන්නෙත් ගෙවල්වල. කොම්පැනිය ඇතුළෙ කරන්නෙ බන්ඩල් ගහන එක. කොම්පැනියට කිට්ටු දිහාස්වල එක ළඟ ළඟ ඔතන ගෙවල් තියෙන ගම්වලට කොම්පැණියෙන් බීඩි කොළයි දුංකොළයි නූලුයි ගිහින් දෙනව. මං කොම්පැනියට ගිහින් අරන් එන්නෙ. ඒ නිසා මට මගටත් වියදම්. දවසට කොහොමහරි දාහකට කිට්ටු වෙන්න ඔතාගන්නව. බීඩි කොළ කපාගන්නත් වෙලාවක් යනව. කපල තෙමල තෙත ඇරලයි ඔතන්නෙ. ඔතපු බීඩියෙ මූණ රතු වෙනකල් වේලන්නත් ඕනෙ. බීඩි විස්සෙ මිටි නූලෙන් බැඳල අපි ගෙනියනව. බීඩි හාරසීයෙ බන්ඩලේ කොම්පැනියෙන් කඬේට දාන්නෙ දෙදාහට. බීඩියක් රුපියල් පහයි. ඔතනවට අපිට බීඩියට සත පනහයි හම්බවෙන්නෙ. ලොක්කො කොම්පැනියට ඇවිත් බහින්නෙ පෙජරෝවලින්. එයාලට තව බිස්නස් ජාති තියෙනව. අපේ එක්කෙනා කළේ ගස් යන එක. පොල් ගහකට ඒ දවස්වලත් රුපියල් හැටක් ගත්ත. පිංකමකට තැඹිලි වල්ලක් බාල දෙන්න ගිහිං එයා ගහකින් වැටුණ. කකුල් දෙකම කැඩුණ. කකුලෙ ඇට මතු වෙන්න තුවාල උනා. තුවාල සනීප වෙනකල් අවුරුද්දක් විතර ඉස්පිරිතාලෙ උන්න. මට දරුවො දෙන්නෙක් ඉන්නව. කොල්ල පහේ පන්තියෙ. කෙල්ල අටේ. දැං අපේ එක්කෙනාගෙ තුවාල සනීපයි. ඒත් ඇවිදින්න බෑ තාම. එකතැන් වෙලා අවුරුදු තුනක්. මට පිට කොහේකටවත් ගිහිං රස්සාවක් කරගන්න විදිහක් නෑ. බීඩි එතිල්ලෙන්ම තමා ඔක්කොම ගැටගහගන්නෙ. රෑ දවල් නැතුව ඉතිං ඔතනව.”

ලාංකේය ශ්‍රමික සමාජය තුළ බීඩි ඔතන දෑත්වලින් සාතිශය බහුතරය ගැහැනු දෑත් ය. දුම්කොළ කහට රැඳුණු ඒ දෑඟිලි සියුමැලි නැත. ඒවා රළු ය. ඔවුන්ගේ ජීවිත කඨෝරය. බීඩි උරන්නන් ද ඇයගේම සමාජ ස්තරයේ පිරිමින් ය. විටෙක ඒ අතර ගැහැනු ද සිටිති. බීඩි මිල අනෙක් දුම් පානයන්ට වඩා සාපේක්ෂව අඩු බැවින් එහි සුවය විඳින්නේ ද, ඉන් රෝගී වන්නේ ද අඩු ආදායම්ලාභීන් ම ය. ඔවුන්ගේ ශ්‍රමයෙන් නිපදවා ඔවුන්ටම අළෙවි කරන බීඩී නැමති නිෂ්පාදන භාණ්ඩයෙන් තර වන්නේ එකෙකි; කෘෂ වන්නේ තවකෙකි. දුම්කොළ වැවීම, පත්‍ර කපාගැනීම, වියළීම, කැබලි කිරීම, බීඩි එතීම, ලේබල් ගැසීම, බන්ඩල් ගැසීම, ප්‍රවාහනය ආදී අංශයන්ගෙන් යුතු බීඩි නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි ශ්‍රම විභජනයක් සහිත ය. ලාංකේය භූමිය මත හුස්ම ගන්නා දකුණු ඉන්දීය වතු කම්කරු ජනතාව වනාහි මෙරට බීඩි සංස්කෘතියේ සමාරම්භයේ බලපෑම් සහගත සාධකය යි. 1950 දශකයේ මුල් වකවානුවේ දී මෙරටට මුලින්ම ඉන්දියාවෙන් බීඩි ආනයනය කරන ලද්දේ ඔවුන් ඉලක්ක කරගනිමිනි. එහෙත් පසු කාලීනව සිංහල සමාජයේ ද කෙතේ, කමතේ, වැල්ලේ, කරත්තයේ, රබර් කෑල්ලේ, කඩපිලේ, පතලේ, පොල්මෝලේ, සූදුපිටියේ, බෝක්කු මත, මරණගෙදර, පින්කම්ගෙදර සංස්කෘතිකාංගයක් බවට බීඩි පත්විය. බීඩිවලට ඇත්තේ ඉන්දියානු මූලයක් වන අතර බීඩි යන වචනය ද ඉන්දියානු වචනයකි. බිඩි හෝ බිරි නමින් භාවිත වූ හින්දි වචනය, ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් සම්භවය වූ ඵ්රඅ්රස ජනතාවගේ ඵ්රඅ්රස භාෂාවේ බීඩා යන වචනයෙන් උපන්නකි. බීඩා යනු ඖෂධීය කොළ, කුළුබඩු සහ පුවක් මිශ්‍රිත නිපැයුමකි.
මෙරට ද්‍රවිඩ වතු කම්කරු ජනතාව ඉන්දියානු භූමියේ දී බීඩි ඉරීමේ පුරුද්දට දැඩිව අනුගතව සිටියවුන් ය. අද ද බීඩි වනාහි ඉන්දියානු සමාජයේ අතිශය ප්‍රචලිත කර්මාන්තයක් වන අතර බටහිර බෙංගාලයේ පවුල්වලින් සියයට අනූ පහක ප්‍රධාන ආදායම් මාර්ගය බීඩි කර්මාන්තය බව පැවසෙයි. සමස්ත ඉන්දියානු බීඩි කර්මාන්තය තුළ බීඩි ඔතන දරුවන් සංඛ්‍යාව මිලියන හතක් පමණ වන බවට ගණන් බලා ඇති අතර බීඩි දාහක් එතූ විට ඔවුන්ට ඉන්දියානු රුපියල් අසූවක් ලැබේ. ඉන්දියාවේ වාර්ෂිකව බීඩී ත්‍රිලියනයකට අධික ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර එය සිගරැට් පරිභෝජනයට වඩා ප්‍රමාණාත්මකව අතිශය අධික ප්‍රමාණයකි. බීඩි කර්මාන්තයේ හිමිකාරත්වය හැරුණු විට බීඩි ආශ්‍රිත අනෙක් සියලු රැකියා ද බීඩි ඉරීම ද දරිද්‍රතාවය සමඟ අවියෝජනීය ලෙස ගැටගැසී ඇති අතර, සැබවින්ම බීඩි කර්මාන්තයේ හිමිකරුවන්ගේ පැවැත්ම තහවුරු වන්නේ ද තමාට පහළින් පෑගෙමින් සිටින්නන්ගේ දරිද්‍රතාවය මතයි. කර්මාන්ත හිමියන් ශ්‍රමිකයින්ගේ දරිද්‍රතාවය ප්‍රයෝජනයට ගනිමින් ලාභ උපයන අතර, කර්මාන්ත හිමියන්ගේ එම ලාභ ඉපැයීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රමිකයින්ගේ දරිද්‍රතාවය තවදුරටත් ගොඩනැගෙමින් තහවුරු වෙයි. 
පනහ දශකයේ දී මෙරට ආරම්භ වූ බීඩි නිෂ්පාදනය යටතේ බණ්ඩාරනායක රජය විසින් දේශීය බීඩි නිෂ්පාදනය ඉලක්ක කරගනිමින් දුම්කොළ වගාව ව්‍යාප්ත කළ අතර සිරිමාවෝ රජය විසින් ද බීඩි කොළ හෙවත් කුඩුම්බේරිය වගාව ද තවදුරටත් ව්‍යාප්ත කරවන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව 1970 දී පිහිටවූ සිරිමාවෝ රත්වත්තේගේ සමගි පෙරමුණ රජයේ එස් කේ කේ සූරියාරච්චි ඇමති යටතේ බීඩි, සංස්ථාගත කරමින් විවිධ වෙළඳ නාම යටතේ පැවති බීඩි කර්මාන්තය රජයට පවරාගන්නා ලදී. බටඅත බීඩි කර්මාන්ත ශාලාවේ හිමිකරු වූ, පසුව මෙරට වාමාංශික දේශපාලනයට සම්බන්ධ වූ එදිරිසිංහ විසින් බීඩි ව්‍යාපාරය රජයට පවරා ගැනීම පිළිබඳ යෝජනාව ඇතුළත් වාර්තාව කොමියුනිස්ට් පක්ෂයේ එස් ඒ වික්‍රමසිංහ හරහා රජයට ලබා දුන් අතර, ඒ අනුව සියලු බීඩි කම්හල් රජයට පවරා ගැනීම සිදු වූ බව ද එදිරිසිංහ විසින් තම බීඩි කම්හල එම භූමියේ පැරණි හිමිකරුට යළි ලබා දී අත්හැර දැමූ බවද සඳහන් වේ. 1977 විවෘත ආර්ථිකයෙන් පසු රජයේ බීඩි ඒකාධිකාරය අහෝසි වූ අතර එවකට රට පුරා පෞද්ගලික බීඩි කම්හල් පන්සීයක් පමණ ආරම්භ වී ඇත. විවෘත ආර්ථිකයේ ආගමනයත් සමඟ ලාංකේය පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ බීඩි කර්මාන්තය හිස එසවීම ද ඊට සමගාමීව බහුජාතික සමාගම්හි සිගරැට් නිෂ්පාදනයන් බීඩි කර්මාන්තයට අභියෝගයක් ලෙස ක්‍රියාත්මක වීම ද සිදුවූ අතර, දේශීය ප්‍රාග්ධන හිමියන් හරහා වුව ද බහු ජාතික සමාගම් හරහා වුව ද, දේශ සීමා මායිම් රහිතව සමස්ත ලෝකය තුළ ක්‍රියාත්මක වන්නේ ධනවාදී තර්කනයම වන බැවින් ගැටලුව ඇත්තේ ශ්‍රම සූරාකෑම සහ ජනතාවගේ සෞඛ්‍යය බිල්ලට ගැනීම තුළින් ධනපති පන්තිය ලාභ කඳු ගොඩගැසීම සහ ඒ තුළ සාතිශය බහුතරයක් වූ පොදු ජනතාවගේ ජීවිත හප වීම තුළයි.
මේ වන විට බීඩි කම්හල් සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇත. සුළුවෙන් ඇරඹි මෙම කර්මාන්තය ලාංකේය දිළිඳු භාවය සහ දුම්කොළ මාෆියාව මත පදනම් වෙමින් ශීඝ්‍රයෙන් වැඩී වර්ධනය වූ අතර හැටේ දශකය වන විට ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටු මගින් අනවසරයෙන් හොර රහසේ බීඩි කොළ රැගෙන ඒම ද සුලබව සිදු කරන ලදී. බීඩි ව්‍යාපාරයට දුම්කොළ සැපයීමට ද බීඩි කොළ සැපයීමට ද වෙනම ව්‍යාපාරිකයින් සිටියි. බීඩි එතීම සඳහා භාවිත කරන කුඩුම්බේරිය ශාක පත්‍ර බිබිල වැනි ප්‍රදේශවල වනාන්තරවල අද ද පැවතිය ද වර්තමානයේ දී ලංකාවේ බහුල වශයෙන් යොදාගනු ලබන්නේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන බීඩි කොළ හෙවත් තෙන්දු කොළයි.
වරකාපොළ, දොරවක ග්‍රාමයේ වාසය කරන බීඩි ඔතන වයෝවෘද කාන්තාවක් ඇගේ මතකය අවදි කළේ මෙසේ ය. “ලංකාවෙ ඉස්ඉස්සෙල්ලම බීඩි හදන්න පටන් ගත්තෙ වරකපොළෙන්. ලංකාවටම බීඩි පැතිරුනේ මෙහෙන්. මට මතක හැටියට ඉන්දියාවෙන් ආපු දෙමළ මුදලාලිල දෙන්නෙක් තමයි පොල් අතු මඩුවක ඉස්සරෝම බීඩි පටන් ගත්තෙ. ඉන්දියාවෙන් ඉස්සෙල්ලම ගෙන්නපු සෙයියදු රාජා කුලප්පුලි බීඩිය හරි ප්‍රසිද්ද නිසා මෙහෙ බීඩි හදන්න ගත්තු ඈයොත් සෙයියදු බීඩි, රාජා බීඩි, එස් කේ බීඩි කියලහෙම නම් දාගත්ත. ඒ නම්වලින් රට බීඩිත් තිබුණා. විජයරාජා කොම්පැනියත් මෙහෙ තිබ්බ පරණම එකක්. ඒව දැන් වැහිල. මැතිණි බීඩි පැක්ටරි ඔක්කොම ආණ්ඩුවට ගත්ත. මැතිණිගෙ කාලෙ ඉඳං මං බීඩි ඔතන්නෙ. ඒව ජනතා බීඩි. ඒ කාලෙ බීඩි දාහට රුපියල් තුනක් දුන්න. මුලින් අපි බීඩි ඔතන්න පුරුදු උනේ දෙමල ඈයන්ගෙං. දැන් මේ පැත්ත පළාතෙම බීඩි ඔතන්නෙ සිංහල මිනිස්සු. අරුණා බීඩි විරතයි දැං මෙහෙ දෙමළ මුදලාලි කෙනෙක් කරන්නෙ. ඒක තමයි දැනට මෙහෙ තියෙන පරණම බීඩි කොම්පැනිය. එහෙට බීඩි ගෙදර කියල කියන්නෙ. යාපනෙං ආපු අය. දැන් ඉන්නෙ ඒ බීඩි මුදලාලිගෙ තුන්වෙනි පරම්පරාව. ගෙදරම තමා පැක්ටරිය. ඒ පවුලෙ අය හුඟ දෙනෙක් දැන් පදිංචිය වැල්ලවත්තෙ. සිංහල බීඩි මුදලාලිල තමා දැං මෙහෙ දියුණු. මේ පැත්තෙ මුස්ලිම් මුදලාලිල ඕසෙට හිටියට ඒ කාටවත් බීඩි වැඩපොලක් නෑ. මාවනැල්ල පැත්තෙ නං බීඩි පැක්ටරි ඔක්කොම වාගෙ මුස්ලිම් මුදලාලිලාගෙ. පනස් ගණන්වල එහෙ බීඩි පටන් ගත්තෙ ඉන්දියාවෙන් ආපු තම්බි මුදලාලිල. හුසේන් බීඩි, කෝයා බීඩි, සෙයියදු බීඩි, කෝරා බීඩි වාගෙ බීඩි එහෙ තියෙන්නෙ. දුප්පත් තම්බි ඈයො පොහොසත් තම්බි මුදලාලිලාගෙ බීඩි ඔතනව, මෙහෙ අපි වාගෙ. ඒ ගෑනු මනුස්සයො ගෙවල් අස්සෙම ඉන්න හන්දා ගෙවල් ඇතුළට වෙලා ඕක තමා කළේ ඒ කාලෙ වැඩි හරියක්. දැන් නම් මුස්ලිම් මුදලාලිලාගෙන් බඩු ගෙනිහින් බීඩි ඔතන තරමක් ඔතන්නෙ සිංහල ඈයො. මුස්ලිම් අය ටික දෙනයි ඔතන්නෙ. එයාල වැඩි හරියක් කරන්නෙ ලේබල් ගහන එක. සමහර බීඩි මුදලාලිල නං දැං බංකොලොත්. සමහරු නැගල යනව. සමහර පැක්ටරි වැහිල ගියා. දැන් මේ වරකපොල තියෙන නයිල් බීඩි, පබිලික් බීඩි, සැන්ඩො, ඉන්දික, මාලිනී, මලිඳු, මාවන් ඔක්කොම බීඩි පැක්ටරි පටන් ගත්තෙ ජේ ආර් මහත්තයගෙ කාලෙන් පස්සෙ. සමහර ඒවෑ කලින් සුදු බීඩි එතුව. ඒත් ඒක තහනම් කළාට පස්සෙ දැන් ඔතන්නෙ නිකන් බීඩි විතරයි. පැක්ටරියෙන් අපිට බීඩි කොළයි දුංකොළයි කපු නූල් පන්දුවයි දෙනව. අපි ඔතල පැක්ටරියට ගිහින් දුන්නහම පැක්ටරිය වටේ අය තමා අපි ඔතන බීඩි ගෙදර ගෙනිහින් ලේබල් අලවන්නෙ. ඒක කරන්නෙත් ගෙවල්වල ඉන්න ගෑනු. අපි ලේබල් ගහන්නෑ. ඔතනව විතරයි. බීඩි දහක ලේබල් ගැහුවහම එයාලට රුපියල් පනහක් හම්බ වෙනව මයෙහිතේ. බන්ඩල් කරන්න ඇතුළෙ වැඩටත් මං කාලයක් ගියා. ඒත් පැක්ටරියේ දුංකොළ ගඳ උහුලං ඉන්න පපුවට හරි අමාරුයි. ලෙඩ වෙනව. දැන් මේක තනිකර ගෑනු රස්සාවක්. බන්ඩල් ගහන්නෙත් ගෑනු. පැක්ටරියෙ ඔපිස්වල වැඩ කරන්නෙත් ගෑනු. අපේ ළමයි දැන් ලැජ්ජයි අම්ම බීඩි ඔතනව කියන්න. මේක නවත්තන්නයි කියල පොඞ්ඩි බැන්නට මයෙ ලොකු එකී කරන්නෙත් දැන් මේ රස්සාවම තමා. අපි වෙන මොනව කරන්නද?”
ජනවාර්ගික සීමාවන් ද භූ ගෝලීය ඒකකයන් ද කාලය ද තරණය කරමින්, සල්ලිකාරකමේ ද අගහිඟකමේ ද දැල එකිනෙක මත යැපෙමින් එකිනෙකා පූට්ටු කරමින් මිනිස් සමාජය වසමින් මනාව ගෙතී ඇති අන්දම ඇයගේ වචන තුළ සැඟව ඇත. ඇතැම්හු සිගරැට් දෙස ගෞරවාන්විතව බලමින් බීඩිය දෙස සමච්චල්ලෙන් බලති. එහෙත් බීඩි බොන්නෝ නොබී නොඉඳිති. බීඩි කොම්පැනි අයිතිකාර මුදලාලිලාගේ උජාරුව දකිනා මිනිස්සු බීඩියට සමච්චල් නොකරති. බීඩි රජයේ තවත් ආදායම් මාර්ගයක් වන අතර ඒ සඳහා මුදල් ගෙවා අවසර ලබා නොගත් කල්හි ද රජයට බදු නොගෙවන කල්හි ද නීති විරෝධී ලෙස හඳුන්වා සුරා බදු නිලධාරීන් විසින් වටලා දඩ අය කරනු ලබයි. මෑතදී ද එබඳු ස්ථානයක් ගලේවෙල දී වටලන ලද අතර එම බීඩි ඉන්දියාවෙන් හොර රහසේ ගෙන්වූ බීඩි කොළ සහ ගලේවෙල වගා කරන ලද දුම්කොළ වලින් නිෂ්පාදනය කර ඇත. දුම්කොළ පනත යටතේ ලියාපදිංචි වීම සහ රජයට බදු ගෙවීම බීඩි නිෂ්පාදනයේ දී සිදු කළ යුතු ය.
වෙළඳ ව්‍යාපාරිකයින් විසින් බීඩි කොළ සහ දුම්කොළ ඉන්දියාවෙන් ආනයනය කර ලංකාවේ බෙදාහරින්නේ කොළඹ ආදුරුප්පු වීදියෙනි. ආසන්න වශයෙන් වර්ෂයකට බීඩි කොළ කිලෝ පහළොස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ද දුම්කොළ කිලෝ ලක්ෂ පහක් පමණ ද ආනයනය කරනු ලබයි. බීඩි කොළ කිලෝවක් සඳහා රුපියල් හත්සීයකට අධික බද්දක් ද දුම්කොළ කිලෝවක් සඳහා රුපියල් පනහකට ආසන්න බද්දක් ද අය කෙරෙන බව පැවසේ. ආනයනික බීඩි කොළ කිලෝවක තොග මිල රුපියල් දෙදාහක් පමණ වේ. ලංකාවේ දුම්කොලවලින් පමණක් බීඩි නිෂ්පාදනය කළ නොහැකි බව පැවසෙන අතර, බීඩි නිෂ්පාදනයේ දී ලංකාවේ දුම්කොල සහ ඉන්දියාවේ දුම්කොල පදමට මිශ්‍ර කරගනියි. මිශ්‍ර කරන ප්‍රමාණයන් කර්මාන්ත ශාලාවෙන් ශාලාවට වෙනස් ය. ලංකාවේ ද ගලේවෙල දුම්කොළ රස සහ තල්පිටියේ දුම්කොළ රස එකිනෙකට වෙනස් ය. දුම්කොළ සහ බීඩි කොළ හොර රහසේ ආනයනය කිරීම අද ද බෙහෙවින් සිදුවන අතර මීගමු වෙරළ මේ සඳහා ප්‍රචලිතය. බීඩි කර්මාන්ත ශාලාවලින් ඉවතලන රතු දුම්කොළවලින් ලාබ බාල බීඩි නිපදවීම ද හොර රහසේ සිදු කරයි.
දුම්කොළ බදු පනතට අනුව බීඩිය යනු ස්වාභාවික කොළයකින් ආවරණය කරන ලද්දක් වන අතර, සුදු බීඩි සුදු පැහැති කඩදාසි කොළයක එතූ සිගරැට් පෙනුමින් යුක්ත බීඩියක් බැවින් එය බීඩියක් නොව සිගරැට්වලට ලාබදායී සහ අඩු ප්‍රමිතියෙන් යුක්ත ආදේශකයක් බැවින් තහනමට ලක්කර ඇති බව පවසයි. තහනමට පෙර මලිදු සුදු බීඩි, මාවන් සුදු බීඩි වැනි වෙළඳ සන්නාම කීපයක් තිබුණු අතර සුදු බීඩිවලට එල්ල වූ චෝදනාව සෞඛ්‍යයට අහිතකර වීම වුව ද සුදු බීඩි නිෂ්පාදකයින් පවසන්නේ ඊට යොදාගන්නේ ද සිලෝන් ටුබැකෝ හෙවත් ලංකා දුම්කොළ සමාගමේ දුම්කොළ බවයි. ඕනෑම දුම් වැටියකින් සිදුවන හානියට අමතර විශේෂ හානියක් එයින් නොමැති අතර එහි මිල අඩු නිසා සිලෝන් ටුබැකෝහි දුම් වැටි වෙළඳාමට එය තර්ජනයක් වූ බැවින් එය තහනම් කළ බව ඔවුහු පවසති. සිගරැට්වලට වඩා බීඩි අහිතකර බවට ගොඩනැගී ඇති මතය ද සිගරැට් නිෂ්පාදකයින්ගේ වාසිය පිණිස ගොඩනැගූවක් බව ඔවුන්ගේ අදහස යි. ලංකාවේ එකම අවසර ලත් දුම්කොළ නිෂ්පාදන සමාගම පනහ දශකයේ දී ඇරඹි සිලෝන් ටුබැකෝ වන අතර වර්තමානය වන විට රජයට විශාල ලෙස බදු ගෙවන සමාගම් අතර සිලෝන් ටුබැකෝ ඉදිරියෙන්ම සිටියි. සිලෝන් ටුබැකෝ සමාගම දුම්කොළ ලබාගන්නේ ලාංකේය දුම්කොළ ගොවියන්ගෙන් වන අතර එම සමාගම සිලෝන් ටුබැකෝ වුව ද එහි සියයට අනූ දෙකක් කොටස් විදේශිකයන් සතු වන බව පැවසෙයි.
බීඩි නිෂ්පාදකයින්ගේ වෙළඳපොල තරඟය තුළ එකඟතාවක් ක්‍රියාත්මක වෙයි. එක් ප්‍රදේශයක වෙළඳසැල්වල ඇත්තේ බොහෝ විට එක් වෙළඳ සන්නාමයකට අයත් බීඩි ය. යම් ප්‍රදේශයක වෙළඳ සැල්වලට බීඩි සපයන්නේ යම් නිෂ්පාදකයකු නම් වෙනත් නිෂ්පාදකයෙක් ඒ ප්‍රදේශයේ වෙළඳසැල්වලට බීඩි බෙදා හරින්නේ නැත. බීඩි යනු ප්‍රධාන වශයෙන් පිරිමින් ඉලක්ක කරගත් වෙළඳ භාණ්ඩයක් වන අතර, එබැවින්ම එහි ප්‍රචාරණය සඳහා කාන්තා රුව යොදා ගැනීම ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද සිදුවිය. 1957 වසරේ පල වූ සුන්දර කාන්තාවකගේ ඡායාරූපයකින් යුත් මෙරට මුද්‍රිත බීඩි දැන්වීමක ‘බීඩිවලින් රාජා බීඩි ඉස්තරම් වෙති. හා හා රාජා බීඩි කෙතරම් සැපදායක ද. එසේ නම් අපිත් රාජා බීඩි පාවිච්චි කරමුද?’ යනුවෙන් ලියා තිබුණි. දැන්වීමෙහි නිරූපිකාව එවකට වූ නවීන පන්නයේ විලාසිතාවෙන් සැරසීගත් ඉහළ පාන්තික පෙනුමකින් යුක්ත වූ, සාරියක් ඇඳි තරුණ කතකි. වර්තමානයේ වෙළඳ ප්‍රචාරණ ක්‍රම රහිතව වුව ද බීඩි දුම පානය අද ද නොනැසී පවතින්නේ එහි ඇති ලාභදායීත්වය මත සහ ග්‍රාමීය සංස්කෘතියේ ශ්‍රමිකයන් අතර පෙර සිට එන හුරුව මත ය. අනවසර යැයි කියාගන්නා දුම්වැටිවලට ද අනියම් ප්‍රචාරනයන් සැලසුම් සහගතව ලැබෙන බව ඇතමුන්ගේ අදහසයි. නිදසුනක් ලෙස නීති විරෝධී බීඩි තොග වැටලීම, සුදු බීඩි විකිණූ වෙළඳ සැල් වැටලීම වැනි ඇතැම් ප්‍රවෘත්ති ප්‍රචාරයන් වූ කලී සැලසුම් සහගත අනියම් ප්‍රචාරණ ලෙසට මතයක් ඇත.
ලංකාවේ බීඩි වෙළඳ නාම 140 ක් පමණ දැනට පවතින අතර මේ වන විට රේගුවේ ලියාපදිංචි වී ඇති ගණන 800 ක් පමණ වේ. මෙරට බීඩි නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත සමස්ත පිරිස විසිදාහක් පමණ වන බවට අනුමාන කෙරේ. මෑතක් වන තුරු වෙළඳපොලේ රුපියල් 3 ක මිලට පැවති බීඩියක වර්තමාන මිල රුපියල් 5 ක් දක්වා ඉහළ ගොස්  ඇත. 2015 වසරේ ලංකාවේ බීඩි නිෂ්පාදනය සහ පරිභෝජනය වසර ඇතුළත මිලියන 3000 ඉක්මවා ඇති අතර එය 2014 සිට මිලියන 30 කට අධික වැඩි වීමකි. ලංකාවේ සිගරැට් පරිභෝජනය ඊට අඩු මට්ටමක පවතින අතර බීඩි පරිභෝජනය වසරින් වසර ඉහළයාමක් පෙන්නුම් කර ඇත. ඒ සඳහා සිගරැට් මිල වැඩිවීම ද බලපෑම් සහගතව ක්‍රියාකර ඇත. බීඩි කර්මාන්තයෙන් වසරකට ලංකා රජය ලබන ආදායම රුපියල් කෝටි තිස් හතක් පමණ වන බව රේගු වාර්තා පෙන්වා දෙයි.
“අපි පොඩි කාලෙ අම්මයි තාත්තයි දෙන්නම කළේ බීඩි ඔතන රස්සාව. ඒකෙන් තමා හැම දේම කරගත්තෙ. හැම දේම කීවට ඉතිං එදා වේල පිරිමහගත්ත විතරයි. මැටි ගෙයක් තිබ්බෙ. මේ ගමේ තාම මැටි ගෙවල් තියෙනව. ගඩොල් කපාගෙන මේ ගේ කෑල්ල අටෝගත්තෙ මං. අක්කටයි මටයි ඉගෙන ගන්නත් බැරි උනා. තාත්ත ලෙඩ වෙලා මළා. දැන් ගෙදර පිරිමියට බීඩි ඔතල පවුලක් බලාකියා ගන්න බෑ. ඒ හන්ද ගෑනු විතරයි දැන් බීඩි ඔතන්නෙ. ළමයි ටික බලාකියාගෙන ගෙදර දොරේ වැඩ කරගන්න ගමන් ගෙදෙට්ට වෙලා බීඩි එතිල්ල කරන්න පුලුවන් හන්දා. අම්මට දැන් හැත්තැ පහක්. මට මතක ඇති දා ඉදං අම්ම තවම බීඩි ඔතනව. අපේ ගෑනිත් බීඩි ඔතනව. මාත් එතුව. ඒත් මේකෙං දැන් බෑ දරු පවුලට හරියට කන්න අඳින්න දෙන්නවත්. ඒ හන්දා මං කසිප්පු පෙරන්න ගත්ත. ගමේ උං ඒක කරන්න දුන්නෙ නෑ. වෙන එකක් තියා උං මගෙ බල්ලවත් මරුව. ඊට පස්සෙ මං වැලි ගොඩ දාන්න පටන් ගත්ත. ඒක කරන්න දුන්නෙත් නෑ, වටේ උං ඒ ගමනත් පොලිසියට ඔත්තු දුන්න. පොලිසියට පගා දෙන්නවත් පෝමිට් ගන්නවත් සල්ලි මට නෑ. ඊට පස්සෙ දැන් හන්දියෙ මාළු මුදලාලිගෙන් මාළු අරන් පුට් සයිකලේ තියාන ගමක් ගානෙ ගිහින් මාළු විකුණනව. අද බයිසිකලේ කැඩිල මේ ඉන්නෙ. ගෑනිට දවසට බීඩි සීයක්වත් ඔතාගන්න බෑ දරුවොත් එක්ක. බීඩි කොළ සයිස් එකට කපාගෙන තෙමන්න ඕනෙ. ඔතල රතු වෙනකල් වේලන්න බෑ වැහි කලුවර දාට. වැහි දාට ගේ ඇතුළත් තෙතයි. කොහොමහරි කොරල දුන්නහම පැක්ටරියෙන් ඒව ගන්නෙ තෝරල. ඉරිලහරි පුස්කාලහරි රතු වෙලා මදිවහරි තිබ්බොත් අහකට දානව. පැක්ටරියෙන් බීඩි කොළ ග්‍රෑම් 200 ක් දෙනව. ඒකෙන් අනිවාර්යෙන් බීඩි 600 ක් ඔතන්න ඕනෙ. ඒ ගාන තිබ්බෙ නැත්තන් ඔතපු ඒවයෙනුත් ගානක් කපනව. එහෙන් දෙන හැම කොළේම හොඳ නෑ. ඩැමේජ් එව්ව තියෙනව. එයාල කියන ගාන ඔතන්න අමාරුයි. වැහි කාලෙට කොළ දෙන්නෙ නෑ. මේකෙන්ම ජීවත් වෙන්න හිටියොත් වැහි කාලෙට දරුවො බඩගින්නෙ. මෙහෙට කොහොමත් අවුරුද්දෙ සෑහෙන කාලයක් වැස්ස අල්ලල හිටිනව. බීඩි 600 ට රුපියල් 300 ක් දෙනව. කලින් දුන්නෙ 200 යි. බීඩි ගණන් ගියාට පස්සෙ තමා 100 ක් වැඩි කළේ. බීඩි පැක්ටරි අයිතිකාර මුදලාලිල තමයි මේ පැත්ත පළාතටම ඉන්න කෝටිපතියො. මගෙ දරුවො දෙන්න නිවුන්නු. දැන් හතරෙ පන්තියෙ. උන් ඉපදුනේ ලේන් පැටවු වාගෙ. ජීවත් කරන්න බෑ කීව. උං දෙන්නව ගොඩදාගත්තෙ රටටම ණය වෙලා. ආයෙ ළමයි හැදුවෙත් නෑ අතේ මිටේ සල්ලි හිඟ හන්දා. දුක් විඳින්න දැරුවො හදන්නෙ මොකටද?” මාළු මන්නයක් අතින් ගෙන සිටි, ගමටම කසිප්පු පෙරූ, තරුණ විය ඉක්මවමින් සිටි ඒ හැඩි දැඩි මිනිසා ඉන්පසු ඉකිගසමින් හඬන්නට විය.


තක්ෂිලා ස්වර්ණමාලි

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

මන්දිර සරසන සේසත් කලාව