මන්දිර සරසන සේසත් කලාව

 මන්දිර සරසන සේසත් කලාව (රාවය - 04.06.2017)



“පිළිමතලාව, නුවර, කොළඹ කඩවලට සේසත් දාන්නෙ. නුවරින් සේසත් ගන්නෙ අඩු ගානට. දළදාමාලිගාවට දෙන්න වෙන්නෙ ගොඩක්ම අඩු මිලට. කොළඹ ගෙනියන එකයි ලාබ. ගෙවල්වලට පන්සල්වලට හෝටල්වලට උත්සවවලට පෙරහැරවල්වලට ලොකු කාර්යාලවලට හෙම ගන්නව, අපි කඩවලට දාන බඩු. පහුගිය කාලෙ චෝගම්වලට සෑහෙන්න වික්ක. චෝගම් එකෙන් ඉල්ලපු ගාන දෙන්නත් බැරි උනා උණවේරුවෙ අපි හැමෝම හදලත්. ඒකෙදි අපේම අය අපිටම වංචා කළා. අතරමැදියො වෙච්ච අපි එක්කම සේසත් හදන අය අපෙන් අඩු ගාන්ට අරන් වැඩි ගානට දීලා. අපි අපිටවත් ආරෝවක් නැතුව ඉන්න විදියක් නෑ සල්ලි ප්‍රශ්න හන්දා. අපිව රවට්ටන්න ශිල්පසභාවෙන් බොරුවට අපිට සම්මාන දෙනව. සමහර තෑගි තවම ලැබිලා නෑ. ශිල්පසභාව ගසාකනව. ලක්සලත් අපිව හූරන් කනව. ආණ්ඩුව අපේ ශිල්පියන්ව රට යවල ප්‍රදර්ශනය කරල අපිව විකුණගෙන කනව. අපිට ලැබෙන දෙයක් නෑ.” උණවේරුවේ පාරම්පරික සේසත් නිර්මාණ ශිල්පියකු එසේ පැවසීය. 

එදා සේසත යනු ස්තරගත සමාජයෙහි ඉහළ පැළැන්තියේ පරිභෝජන භාණ්ඩයකි. එදා එම භාණ්ඩයෙහි වූ පරිභෝජන අවශ්‍යතාවය අද අහෝසි වුව ද, එදා සමාජයෙහි වූ ධූරාවලි රටාව අද වෙනස් වුව ද, අද ද සේසත ඉහළ පැළැන්තිකයින්ගේ විසිතුරු භාණ්ඩයක් ලෙස, ශේෂ වූ වැඩවසම් වටිනාකම් මත අලෙවි වෙයි.

මධ්‍යකාලීන ලාංකේය සමාජයෙහි ඉඩම් පංගු භුක්ති විඳින්නන් හෙවත් නිල පංගුවල ඉහළින්ම සිටියේ පණිවුඩකාරයෝ සහ මුරකාරයෝ හෙවත් අතපත්තු වසම යි. පාලක පන්තිය නියෝජනය කළවුන් කැටුව යන විට මුර ආයුධ සමඟ සේසත් ඔසවාගෙන යාම ද ඔවුන්ට පැවරුණු කාර්යයන් අතර විය. සේසත සෙවනේ ගියවුන් කුල වැඩවසම් ක්‍රමයේ ඉහළම සමාජ ස්තරය වූ රදළ පේරුව නියෝජනය කළ අතර, සේසත ඔසවාගෙන ගියවුන් ඊට පහළින් මුත් නිළ පංගුකාරයින්ගේ ඉහළින්ම සිටියහ. එහෙත් සේසත් නිර්මාණ ශිල්පීන් ස්ථානගත කරන ලද්දේ ඊට බෙහෙවින් පහළ සමාජ ස්තරයකය.




කුල වැඩසයම් ක්‍රමයෙහි සෙවනැලි මුලුමනින් වියැකී නොගිය, ජාතිකවාදය ද විඥානවාදය ද කරපින්නාගත් ලාංකේය ධනවාදය තුළ අද වන විට තරාතිරම ප්‍රදර්ශනය කරන්නා වූ ද සුබසෙත සලසතැයි විශ්වාස කරන මංගල භාණ්ඩයක් ලෙස ද සැලකෙන මිලාධික ගෘහාලංකරණ මෙවලමක් සහ උත්සව භාණ්ඩයක් වන සේසත් මිලදී ගැනීමේ හැකියාව ඇත්තේ ඉහළ ආදායම් ලාභීන්ට වන අතර, සේසත් නිර්මාණකරුවන්ගේ නිවෙස් සැරසීමට සේසත භාවිතා නොවෙයි. බිත්තියක හේත්තුකර ප්‍රදර්ශනය කිරීමට තරම් තරාතිරමක් සමාජ ක්‍රමය විසින් එදත් අදත් ඔවුන්ට පවරා නැති අතර, ඔවුන්ට අවශ්‍ය වන්නේ කාලය, ශ්‍රමය සහ මුදල් වැය කර තනාගත් භාණ්ඩය අළෙවිකොට ජීවිතය ගැටගසා ගැනීමට මුදලක් ඉපයීමයි.

එළමහනේ ගමන් බිමන් යද්දී රදළයින්ගේ අව් ආවරණයක් ලෙස අතීතයේ සේසත භාවිත වෙද්දී ඔවුන්ගේ එම ගමන් බිමන්වලදී ම ආරක්ෂක උපකරණයක් ලෙස සේසත සමඟම එකල භාවිත වූ මුර ආයුධ ද අදත් සේසත් සමඟම භාවිතා වන ගෘහ අලංකරණ භාණ්ඩයක් වී ඇත. අද වන විට ද එම භාණ්ඩවල වටිනාකම තීරණය වන්නේ වැඩවසම් චින්තනයක බලපෑම ප්‍රධානකොට ගෙන සහ ලාබ ඉපයීමේ යාන්ත්‍රණය මත මිස ඒ තුළ ඇති නිර්මාණශීලී මිනිස් ශ්‍රමය පසසනු පිණිස නොවේ. සියලු ඉඩම් පාලකයින්ගේ යැයි පාලකයින් ද පාලිතයින් ද පිළිගත් කල්හි එකී ඉඩම් බුක්තිවිඳීම වෙනුවෙන් ගොඩනැගුණු පීඩාසහගත රාජකාරි ක්‍රමය තුළ වූ ශිල්පීන්ගේ පාරම්පරික බව පවා වර්තමාන වෙළඳ යාන්ත්‍රනය තුළ ලක්සල, ලක්පහන වැනි අතරමැදි ධනපතියන්ට ලාභ උපයා දෙමින් අළෙවි වෙයි.

සේසත යනු ස්වේත ඡත්‍රය යි. එනම් සුදු කුඩය යි.  මුල්ම වකවානුවේ සේසත සුදු වර්ණයෙන් නිමැවුණක් බැවින් එම නම යෙදුන අතර පසුකාලීනව ස්වාභාවික වර්ණක භාවිතයෙන් ද වර්තමානය වන විට කෘතිම සායම් භාවිතයෙන් ද රතු, කොළ, කහ, තැඹිලි, දම් වැනි වර්ණ සහිතව සේසත් නිර්මාණය වේ. එහෙත් අද ද කලාතුරකින් සුදු සේසත් නිර්මාණය කෙරෙයි. සේසත අව් අත්ත ලෙස ද හඳුන්වනු ලබන අතර අද ද ඒ සඳහා අව් අත්ත යන නාමය විශේෂයෙන් සේසත් ශිල්පීන් විසින් ව්‍යවහාර කරනු ලැබේ. සේසත් නිර්මාණ ශිල්පය ඔවුන් හඳුන්වන්නේ අව් අතු කර්මාන්තය යුනවෙනි.

ශිල්පීය ප්‍රජාව විසින් සේසතේ වෘත්තාකාර කොටස හඳුන්වන්නේ අත්ත නමිනි. සේසතක් සැබවින්ම සම්පූර්ණ වන්නේ අත්ත සහ මිටෙනි. එහෙත් සේසත් සෑදීම ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ සේසතේ මිට රහිත වෘත්තාකාර කොටස හෙවත් අත්ත සෑදීමේ කලාව මිස මිට සැකසීමේ කලාව ද ඇතුළු සමස්ත නිර්මාණ කාර්යය නොවේ. ලංකාවේ පාරම්පරික සේසත් ශිල්පීන් ශේෂව ඇති එකම ග්‍රාමය මාතලේ දිස්ත්‍රික්කයේ උණවේරුව ග්‍රාමයයි. එය සේසත්ගම ලෙස ද හැඳින්වේ.




සේසතක් සිටුවා තැබීමට හෝ උසුලාගෙන යාමට ආධාරකය වන, ලාක්ෂා රටා පින්තාරු කළ මිට අතීතයේ සිට උණවේරුවට සපයන ලද්දේ මාතලේ දිස්ත්‍රික්කයේ හපුවිද ගමෙනි. එහෙත් වර්තමානය වන විට උණවේරුව ග්‍රාමයේ ද සේසත් මිට නිර්මාණය කරනු ලැබේ. එහෙත් උණවේරුව ග්‍රාමයේ සේසත් ශිල්පීන්ගෙන් අති බහුතරය විසින් සිදු කරනු ලබන්නේ සේසතේ අත්ත සෑදීම වන අතර මිට නිර්මාණය කරනු ලබන්නේ පාරම්පරික සේසත් ශිල්පීය පවුල් 5 ක් විසින් පමණි. ඔවුන් අත්ත ද නිර්මාණය කරනු ලබන අතර, පාරම්පරික සේසත් ශිල්පීය පවුල් 45 ක් සේසත් අතු පමණක් නිර්මාණය කරයි.

“දැන් මේ අව් අතු කර්මාන්තෙ කරන්නෙ තනිකර ගෑනු අපි විතරයි. මිට හදන්නෙ නං පිරිමි. ගෙදර පිරිමියට අව් අතු කර්මාන්තෙන් පවුලක් බලාකියාගන්න බෑ. අපි ගෑනු ගෙදරට වෙලා ඉන්න ගමන් උදේ ඉදන් රෑ වෙනකල් මේක කරනව ගෙදර වැඩ කරගන්නගමන්. පොඩි දුවත් පාන්දර නැගිටල අත්තක ටිකක් මහල ඉස්කෝලෙ ගිහින් ඇවිත් ඉතුරු හරිය මහනව.”

සේසත් නිර්මාණය සඳහා ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය ලබා ගන්නේ තල ගසෙනි. තල අතු සහ තල දල්ල හෙවත් තල ගොබය සේසත් නිශ්පාදනයේ මූලික අමුද්‍රව්‍ය යි. කපාගත් පැසුණු තල අතු දින හතක් පමණ තද අව්වේ වේලා අවානක හැඩයට කපාගනු ලබයි. ඒවා තල අත්ත ලෙස ද තට්ටු ලෙස ද ශිල්පීන් විසින් හඳුන්වයි. ඒ මත මිනිරන් පතුරු තබා මසා ගනිමින් එම මිනිරන් පතුරු මත වර්ණ ගැන්වූ තල පටි මගින් රටා මසනු ලැබේ. මෙම මැසීම සඳහා වූ ඉදිකටු සාදාගනු ලබන්නේ කුඩ කූරුවලිනි. නූල් සාදාගනු ලබන්නේ කොකෝ පට්ටවලිනි. රටා දමන පටි සාදාගනු ලබන්නේ තල ගොබයෙනි.


තල ගසේ දල්ල හෙවත් තල ගොබය ගසෙන් කපාගත් පසු එය විහිදුවා එහි කොළ වෙන් කර තීරු ලෙස ඉරා කපා ගනී. ඉන්පසු එම කොළවල ඇති නාරටිය හෙවත් තල කූරු වෙනමත් තල කොළ වෙනමත් වෙන්කරගෙන එම කොළ තීරු එකමත එක තබා රෝල් කරයි. එම කාර්යය හඳුන්වන්නේ කොළ පන්දුගැසීම යනුවෙනි. ඉන්පසු එම පන්දු උණු ජලයේ කහ පැහැ වන තුරු තම්බා තද අව්වේ වේලා ගනී. එවිට එම තල කොළ දීප්තිමත් සුදු පැහැයෙන් යුක්තය. එම සුදු පැහැ තල කොළ පටි වර්ණ ගැන්වූ ජලයෙන් නැවත තම්බා වර්ණවත් කරගනු ලැබේ.


වර්ණ ගන්වන ලද තල කොළ පටිවලින් තල කූරු හැඩගන්වයි. එම කූරු ද පටිවලට අමතරව සේසත් රටා සඳහා යොදාගනියි. තල කූරු දින හතරක් පමණ තද අව්වේ වේලා ගැනීමෙන් පසුව පිහියක් ආධාරයෙන් සිහින්වට ඉරා වර්ණවත් කළ තල කොලවලින් සරසා සේසත් රටා නිර්මාණයට යොදාගනී. වර්ණවත් තල කොළවලින් කූරු හැඩගැන්වීම කූරු පැටලීම ලෙස හඳුන්වයි. පටි, කූරු සහ තල කොළයෙන් කපා ගන්නා මල් පෙති සේසතේ වැඩ දැමීම හෙවත් මෝස්තර රටා නිර්මාණයට යොදා ගන්නා අතර එක් මෝස්තර වටයක් මාලයක් ලෙස හඳුන්වයි.


“මාල හතේ සේසතක් අපෙන් ගන්නෙ රුපියල් 1500 ට. ජෝඩුව 3000 යි. මිටත් එක්ක කඬේ විකුණන්නෙ 40,000ට. දාල තියෙන වැඩවල හැටියට විකුණද්දි ගාන වෙනස්වෙනව. මාල පහේ සේසතක් අපෙන් ගන්නෙ රුපියල් 1000 ට. මාල තුනේ සේසත රුපියල් 800 යි. මාල දෙක රුපියල් 400 යි. මාල ගානෙ හැටියට තමයි කාලෙ යන්නෙ. මාසෙට ජෝඩු  පහක්වත් විතර කොහොමහරි කරල හදාගන්න බලනව. පරණ මෝස්තරවලට වාගෙම අලුත් මෝස්තරවලටත් සේසත් මහනව. මෝස්තර මධ්‍යස්ථානයෙන් අලුත් මොස්තර දෙනව. එක සේසතකට පියන් දෙකයි. ජෝඩුවට සේසත් පියන් හතරයි. ජෝඩුවට මිනිරන් කිලෝ එකට වඩා යනව. මිනිරන් කිලෝ එකක් රුපයල් 350 යි.”

“මිනිරන් ගේන වෙනම කට්ටියක් ඉන්නව. කොහෙන්ද ගේන්නෙ කියල ඒ අය කියන්නෙ නෑ. නාවුල තලාගොඩ කැබිතිගොල්ලෑව වාගෙ පැතිවලින් ගේනව කියලයි දන්නෙ. ඉස්සරනං මේ පළාතෙ මිනිරන් තිබ්බලු. අව් අතු කර්මාන්තෙ මෙහෙ පටන් අරන් තියෙන්නෙත් තල ගසුයි මිනිරනුයි තිබ්බ හන්දනෙ. දැන් මිනිරන් ගේන්නෙ පිටින්. ඒ ගේන්නෙත් හොරාට. අවසර අරන් ගෙනාවොත් ඒකටත් තව ගානක් ගෙවන්න වෙනව. මේකට ගන්නෙ බාල මිනිරන්. මිනිරන් ඇඟට විසයි. මගෙ සෙම් අමාරුව හොඳවෙන්නෑ මිනිරන් හන්දා.”

“ගම්මානෙ හරහා මාතලේ මහනුවර එක බස් එකක් යනව දවසට එක වතාවක්. බස්එකේ පටවන් තමයි බඩු ගෙනියන්නෙ. ඊට පස්සෙ කෝච්චියට දානව. අපි නෙවෙයි අරන් යන්නෙ. අරන් යන අය ගමේ වෙනම ඉන්නව. ඒත් අපේම අය. ගෑනු පිරිමි දෙගොල්ලොම බඩු කොළඹ ගෙනියනව. වැඩිහරියක් පිරිමි. විකිණුනාමයි සල්ලි දෙන්නෙ. අපි හැමෝම ඥාතියො. විශ්වාසෙට තමයි බඩු යවන්නෙ. මිටයි සේසතයි වෙනම අඩුක්කරන් යන්නෙ. මිටට තමයි වැඩි ගාන වැටෙන්නෙ. සේසත කියන්නෙ අත්ත උනාට අතු හදන අපිට හම්බවෙන්නෙ අඩු ගාන. අත්ත හදන්න වැඩි වියදමක් යන්නෙ නැති නිසා වෙන්න ඇති. ඒත් අත්තෙ තමයි කලාත්මක වැඬේ තියෙන්නෙ. මිටේ වටිනකම වැඩිවෙන්නෙත් වඩු වැඩෙයි ලාක්ෂා වැඩෙයි නිසා. ගමේ සේසත් සමිතියක් තියෙනව. රජයෙන් කළාට ඒකෙ ඉන්නෙ ගමේම අය. ඒ සමිතිය හරහත් බඩු යවන්න පුලුවන්.”

ඒ උණවේරුව සේසත් ශිල්පීන් පවසන ඔවුන්ගේ කතාවයි. උණවේරුව ගම්මානය පසුකාලීනව උණවේරුව, හයිවෝල්ටන් පැරණි ජනපදය, හයිවෝල්ටන් නව ජනපදය ලෙස කොටස් තුනකට බෙදුණු අතර, ජනපදවල සිටින්නේ උණවේරුව මුල් ගමින් ගොස් පදිංචි වූ අයයි. එම ජනපද ගම්මුන් විසින් හඳුන්වන්නේ හයිවෝල්ටන් ලෙස නොව උණවේරුව පැරණි ජනපදය සහ උණවේරුව නව ජනපදය ලෙස ය.

උණවේරුව ග්‍රාමයේ කොටස් තුනේම පවුල් 174 ක් ඇති අතර ජනහනය 621 කි. වර්තමානය වන විට ඉන් පවුල් 50 ක් සේසත් නිර්මාණ ශිල්පයේ නියැලෙයි. සේසත් නිර්මාණය කරනු ලබන සමස්ත ජනගහනය සිංහල බෞද්ධ ග්‍රාමීය ජනතාවකි. ග්‍රාමයේ වැඩිම ශ්‍රමික පිරිස ස්වයං රැකියාවල නිරත වෙති.

වැඩිම පවුල් ප්‍රමාණයකට ඇත්තේ අක්කර කාලට වඩා අඩු ඉඩම් ය. අක්කරයක ඉඩමක් ඇත්තේ එක් අයෙකුට පමණි. ඒ අනුව සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් උණවේරුව වැසියන් සතුව නැත. වී ඉඩම් අක්කර 36 ක් ඔවුන් අතර බෙදී පවතින අතර අක්කර දෙකයි රූට් තුනක රක්ෂිත වනාන්තරයක් ග්‍රාමයේ පවතී.

හැටේ දශකයේ දී සේසත් නිර්මාණ ශිල්පය උණවේරුව ග්‍රමයේ යළි නගාසිටුවීම පිණිස රාජ්‍ය මැදිහත් වීමෙන් පාඨමාලා ආරම්භ කරන ලදී. එවකට එහි ප්‍රථම ගුරුවරයා වූයේ උණවේරුවේම ශිල්පියෙකු වූ කිරාදුරයලාගේ ගෙදර ලොකු කිරියා වන අතර ඔහුගෙන් උගෙන සේසත් ශිල්පයේ නියැලෙන්නෝ අද ද උණවේරුවේ සිටිති. කිරාදුරයලාගේ ගෙදර ලොකු කිරියා සේසත් ශිල්පය උගෙන ඇත්තේ ඔහුගේ ලොකු තාත්තා වූ කලුවා ගුරුන්නාන්සේගෙන් වන අතර කලුවා ගුරුන්නනාන්සේ ශිල්ප ඉගෙනගෙන ඇත්තේ කොමලදුරයලාගේ ගෙදර මුසෙන්ඩියා නැමති ඔහුගේ පියාගෙනි.

ඉන්දියාවේ අශෝක රජුගේ බල ව්‍යාප්තියේ උපක්‍රමශීලී පියවරක් ලෙස, වෘක්ෂ වන්දනාව පැවති සමාජයකට සංඝමිත්තා භික්ෂුණිය අත ඇසතු පැළයක් සමඟම පැළය බලාකියා ගන්නා මුවාවෙන් ධූරාවලීගත සමාජ සංවිධානයකින් යුක්ත ශිල්පීය පවුල් ද එවන ලදී. රජ, සිටු, බමුණු, කෙළෙඹි, වෙළඳ, දුනුවා, සරස්, පෙහෙර, කුඹල්, මල්කරු, ඔසදවටු, සන්නාලි, අරක්කැමි, කඹුරු, ලෝකුරු, ස්වර්ණකාර, වඩු, සිත්තර, බෙරවා, සත්කරු, උයන් ගොවු ආදී වශයෙන් වූ වෘත්තීය මට්ටම් සහිත පවුල් අතර, ඡත්‍රකර කුලය හෙවත් සත්කරු කුලය යනු සේසත් නිර්මාණ ශිල්පී පවුල් ය. බෝධි වංශයේ සඳහන් ලෙසට ‘සත්කරු කුලයෙහි ප්‍රධානයා හට තමා පිරිවර සත්කරුවන් ගෙන මහබෝයට පුදන සේසත් කරවා දෙනු කොට තැනැත්තන්ට තමාපිරිවර සරසුන් ගෙන සේසත් වඩනු කොට සත්කරුනා තනතුර දුන්නේ ය.’

සංඝමිත්තා භික්ෂුණිය විසින් ගෙනා ඇසතු වෘක්ෂයෙන් හට ගත් අංකුර මෙම දූපත් භූමිය පුරා තැනින් තැන රෝපණය කළ බව කියන ඉතිහාස ප්‍රබන්දයට අනුව උණවේරුව ද මාතලේ රෝපණ කළ ඇසතු රුකකට පුද සත්කාර පිණිස වූ පවුල් කිහිපයක් පදිංචි වූ ප්‍රදේශයකි.

“උණවේරුව කියන්නෙ ඉස්සර මෙහෙ උණගස් ගොඩක් තිබ්බ නිසාලු. මුලින්ම කිව්වෙ උණවේලුව කියලලු. වේලුව කියන්නෙත් වෙන භාෂාවකින් උණවලටමලු. සංඝමිත්තා තෙරණිය එ

ක්ක සේසත් පවුල් තුනක් ආවලු. ඒ පවුල් තුන මේ මාතලේ දිස්ත්‍රික්කෙ දීවිල්ලෙයි රත්තොටයි උණවේරුවෙයිලු පදිංචි උනේ. සේසත් කලාව ඉතුරුඋනේ මේ උණවේරුවෙ විතරයි.”

උණවේරුව ගම්මාන භූමියේ මුලින්ම පචිංචි වූ පවුල් 4 ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ කිරා දුරයලෑ ගෙදර, පුසුඹා දුරයලෑ ගෙදර, කොමලා දුරයලෑ ගෙදර සහ පංචාවත්තේ ගෙදර යන පවුල් ය. උණවේරුව ග්‍රාමයේ වැසියන් පැවත එන්නේ එම පවුල් හතරෙන් යැයි විශ්වාස කෙරේ. අද ද එම වාසගම් පවතින අතර ගෙදර සහිත වාසගම් පැවතීම සියලු පාරම්පරික සේසත් ශිල්පීන්ගේ පුද්ගල නාමයන්හි පොදු ලක්ෂණයකි. මෙම අව් අතු ශිල්පීන් මුහුණ දෙන්නා වූ ගැටලු වනාහි සමාජ ක්‍රමයෙන් වියුක්ත වූ හුදෙකලා අර්බුදයන් නොවේ.

වැඩවසම් ක්‍රමය තුළ මිනිස් ජීවිත පෑගී පැවතුනා සේම ධනවාදය තුළ ද මිනිස් ජීවිත හප වෙමින් පවතී. ඉහත සියලු විවරණයන් වූ කලී පැවති හා පවත්නා භෞතිකය වාර්තා කිරීමක් විනා, ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ ඊනියා ප්‍රෟඪත්වය නම් වූ ෆැන්ටසිය තහවුරු කරන්නක් හෝ සේසත් වෙළඳපොළ ව්‍යාප්ත කර ලාභය අරමුණු කරගත් ම්ලේච්ඡ ධනවාදී යාන්ත්‍රණය සාර්ථක ලෙස නඩත්තු කිරීමට යෝජනා කරන්නක් නොවන බවද අවධාරණය කළ යුතු ය.


තක්ෂිලා ස්වර්ණමාලි


Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්