මෙය සදීෂ් කුමාර් පිළිබඳ හුදෙකලා සටහනක් නොවේ.

මෙය සදීෂ් කුමාර් පිළිබඳ හුදෙකලා ගැටලුවක් නොවේ. 


දේවල් ලියනා මුත් සාහිත්‍ය ලෝලියෙකු නොවෙමි. රාජ්‍ය පවතින තෙක් වැසියා අරගල ලෝලියෙකු විය යුතු ය. එතැන්හි දී සදීෂ්ව නොමත්ව පසසමි. සාහිත්‍යය උත්කර්ෂයට නොනගමි. එහෙත් එය අරගල බිම මත තබා මනින්නෙමි.

'ඉරුම්බුක් කදවුක්කුල්ලිරුන්දු' (යකඩ දොරක් තුළ හිඳ - කවි - 2012), 'විඩියලෛ තේඩුම් ඉරවුහල්' (අලුයම සොයන රාත්‍රී න් - කවි - 2016), සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු ( සිරගෙයි සිට සිංහල සහෝදරත්වයට - කවි - 2017), වේප්ප මරමුම් පවලම් ආච්චියුම් (කොහොඹ ගහ සහ පවලම් ආච්චි - කෙටිකතා) සදීෂ් කුමාර් මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති කෘතීන් ය.

44 හැවිරිදි, උතුරේ විවේකානන්ද නගර්හි සදීෂ් කුමාර්, වසර 14 ක සිට මේ දක්වා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටින දේශපාලන සිරකරුවෙකි. මෙය කියවන ඔබ, සිරගතව සිටිද්දී ඔහුට සාහිත්‍යකරණයේ නියැලීමට ඉඩ දුන් රජයට හිස නමා ආචාර කිරීමටත්, ත්‍රස්තවාදියාගේ වුවත් භාෂණයේ නිදහස රාජපක්ෂලා සුරක්ෂිත කර ඇති බව කියන්නටත්, සූදානම් වන්නේ නම්... ඔබ සියදවි නසාගත් සමූලඝාතකයෙකි. (රාජ්‍ය පීඩනයට ප්‍රතික්‍රියා දැක්වූ අරගලකරුවන් විසින් කරන ලද සියදිවි නසා ගැනීම් හෝ ඝාතන, රජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඝාතන සමග සමාන නොවන බව ද, මා ඉහත කළ සඳහන ඒ කිසිවකටත් සම්බන්ධ නොවූවක් බව ද අවධාරනය කරමි.)

සදීෂ් කුමාර්ගේ 67 හැවිරිදි මව වන කිලිනොච්චියේ සෙල්ලයියා පවලවල්ලි, අනෙක් බොහෝ උතුරු අම්මාවරුන් මෙන් සදීෂ් වෙනුවෙන් මරණය තෙක් නොනවතින අරගලයක නියැලී සිටින්නී ය. ඈ 1983 ජූලියෙන් පසු උතුරේ පදිංචි වූ කාන්තාවකි. සෙල්ලයියා පවලවල්ලි විසින් ඉතා තාර්කිකව සඳහන් කරන ආකාරයට, පලපුරුදු නීතිඥවරුන්ගේ දායකත්වය නොලැබීම, පශ්චාද් යුද තත්වයේ ස්වරූපය සහ නඩු ක්‍රියාමාර්ග සඳහා බාධා කළ ආර්ථික අපහසුතා යන හේතු සාධක මත, 2011 වසරේ දී උසාවියෙන් දුන් නඩු තීන්දුව වන්නේ, (එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධව ක්‍රියා නොකළ බවට මව පවසන) සදීෂ් කුමාර්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීම යි.

'බැරියර් පෙරළමු' කියනා දකුණේ නූතන අරගලකරුවාට, ධනේෂ්වර දෘෂ්ටිවාදය හඳුනාගත් බැරියරයක් ලෙස අභිමුඛ නොවේ. ත්‍රස්තවාදියා රාජ්‍යය යි. එබැවින් අහෝසි කළ යුත්යේ රාජ්‍යය යි. රාජ්‍ය අහෝසි කිරීම සඳහා රාජ්‍ය බලය ලබා ගැනීමේ කොමියුනිස්ට් ක්‍රියාන්විතයට මෙපිටින් බොහෝ අරගල පැවතිය හැකි ය. ප්‍රතිසංස්කරණ මගහැර යා නොහැක. (මගහැර යා නොහැකි ප්‍රතිසංස්කරණ ගණයට, කුඩු වූ ආතල් යළි ලබා ගැනීමේ අරගල අඩංගු නොකරමි.)

වර්ගතාන්ත්‍රික රාජ්‍ය මර්දනය හමුවේ පීඩිත වූ ජන වර්ගයක් විසින් රාජ්‍ය බලය දිනා ගැනීම තුළින් අධිපති රාජ්‍යයේ පීඩාවෙන් මිදීමේ ක්‍රමෝපාය අනුගමනය කරන්නේ නම් එය අතිශය නිවැරදි දේශපාලනික ප්‍රවේශයකි. දෙමළ ඊළාම් විමුක්ති කොටි යනු අරගලකරුවන් මිස ත්‍රස්තවාදීන් නොවේ. ලංකාව තුළ යුද්ධය ලෙස නම් කරන ලද්දේ, දෙමළ විරෝධී රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහි දෙමළ ජාතික අරගලය මර්දනය කිරීමේ ක්‍රියාවලිය සහ එම මර්දනයට අරගලකරුවන් මුහුණදුන් ක්‍රියාවලිය යි., ඔවුන් තම සාධාරණ දේශපාලන අභිලාෂයන් හඹා ගිය අරගලය යි.

දෙමළ වීම නිසා දෙමළාට ඇති සුවිශේෂී පීඩනයෙන් මිදීම උදෙසා දෙමළාට සුවිශේෂ වූ අරගලයක් ද පැවතිය යුතු බවට වූ සත්‍යය දකුණේ වම විසින් මගහැර යන්නේ සැබෑ සතුරා ධනවාදය බවට සිදු කළ හඳුනාගැනීම නිසා නොව, හඳුනානොගත් ජාතිවාදී ඛණ්ඩාංක නිසා ය. 

කොන්දේසි විරහිතව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ද සියලු දේශපාලන සිරකරුවන් ‌කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද ඉල්ලා මහපොළොවේ අරගල කළ දකුණේ සියලු සංවිධානාත්මක අරගලකරුවන් ද හුදෙකලා මිනිසුන් ද ගෞරවයෙන් සිහිපත් කරමි. නමුදු නොලද ජය වෙනුවෙන් සටන අත් නොහැරීමේ වගකීම එතනැම ය.






Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව