සත්තුරුකොන්ඩාන් සංහාරය



සත්තුරුකොන්ඩාන් සමූල ඝාතනයේ  32 වන අනුස්මරණය මෙම වසරෙහි මෙම මාසයේ දී, එනම්  2022.09.09 දින මඩකලපුවේ දී සිදුකෙරිණී. 


සත්තුරුකොන්ඩාන් සමූලඝාතනය යනු 1990 සැප්තැම්බර් 9 වෙනි දින මඩකලපු දිස්ත්‍රික්කයට අයත් සත්තුරුකොන්ඩාන් යුද හමුදා කඳවුර තුළ දී ‌දෙමළ සිවිල් වැසියන් 184 දෙනෙකු අමානුෂික ලෙස ඝාතන කිරීමේ ‌ඛේදවාචකය යි. එම ඝාතනයට ලක්වූවන් මඩකලපුවට ආසන්න ගම්මාන වන  සත්තුරුකොන්ඩාන්, කොකුවිල්, පන්නිඅච්චිඅඩි සහ පිල්ලයාරඩි ගම්වාසීන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සරණාගතයින් ය.

ඝාතනට ලක් වූ 184 දෙනා අතර  කාන්තාවන් 85 දෙනෙක්, වයස අවුරුදු 10 ත් 1 ත් අතර දරුවන් 42 ක්, වයස අවුරුද්දට අඩු දරුවන් 5 දෙනෙක්, ගැබිණි කාන්තාවන් 9 දෙනෙක්, වයස අවුරුදු 68 ට වැඩි වැඩිහිටියන් 28 දෙනෙක් සහ නව ‌යෞවනයින් ද ළමයින් ද වැඩිහිටියන් ද වූ බව සඳහන් වේ.

මෙම සමූල ඝාතනයට ලක් කළ 184 දෙනා  අතරට සත්තුරුකොන්ඩාන් ගම් වැසියන් 38 ක්, කොකුවිල් ගම්සීන් 47 ක්, පන්නිඅච්චිඅඩි ගම් වැසියන් 37 ක් සහ පිල්ලයාරඩි වාසීන් 62 ක් ඇතුළත් ය.

1990 සැප්තැම්බර් 9 වැනි දින පස්වරු 5.30 ට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ පිරිසක් ප්‍රදේශයට පැමිණ සියලු දෙනාටම පාරට එන ලෙස නියෝග කර ඇත. පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කර මුදාහරින බව පවසමින් ඔවුන්ව පාගමනින්ම ඒ ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා කඳවුර වෙත රැගෙන ගියහ. මෙය එම ප්‍රදේශයේ පීඩාකාරී කාල වකවානුවක් වූ බැවින්, බොහෝ දෙනෙක් ප්‍රදේශය අතහැර නගරයට ගොස් සිටි අතර, ගම්ප්‍රදේශයේ ඉතිරිව සිටි අය බොහෝ විට වයෝවෘද්ධයින්, කාන්තාවන්, දරුවන්  සහ නව යෞවනයින් වූහ.

පහත දැක්වෙන්නේ සත්තුරුකොන්ඩාන් සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන 21 හැවිරිදි කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් විසින් ලබා දුන් ප්‍රකාශයක පටිගත කරන ලද කොටසකි. 

“කමාන්ඩෝ භටයින් 50ක් පමණ ඇවිත් අපෙන් 150 දෙනෙක් පමණ පා ගමනින් කැඳවාගෙන ගියා. රාත්‍රී 7.00ට හෝ 8.00ට පමණ අපි සත්තුරුකොන්ඩාන් හමුදා කඳවුරට ළඟාවුණා. අපෙන් හතර දෙනෙක් ඉතිරි අයගෙන් වෙන් කරලා, කඩුවලින් හා කිනිසිවලින් පහර දීලා කඳවුරෙන් පිටතට ඇදගෙන ගියා. ඊටපස්සෙ අපේ හැමෝම එක තැනකට ගෙනිහින් පහර දීලා ටයර්වලින් පුච්චලා දැම්මා."

පහරකෑමට ලක්ව තුවාල ලැබූ ක්‍රිෂ්ණකුමාර් අඩ අඳුරේ සැඟවී පළායාමට සමත් විය. පළා යද්දී අසල නිවසකට ඇතුළු වී වතුර ඉල්ලා පානය කළ ඔහු පසුව තම ගමට ගොස් පාළු නිවසක නැවතී සිටියේ ය. ඉන්සු ඔහු මඩකලපුව නගරයේ පිහිටි තම ඥාති සොහොයුරියගේ නිවසට යාමට සමත් වූ අතර එහි ආරක්ෂිතව රැඳී සිටියේ ය.

කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් විසින් ටැමිල්නෙට් වෙබ් අඩවියට තවදුරටත් මෙසේ පවසා තිබුණි. ''හමුදා සෙබලු එතෙන්ට ගෑනු ළමයි අරන් ආවෙ ඒ ළමයින්ගෙ ඇඟේ නූල් පොටක්වත් නැතුව. ඒ ළමයින්ගේ කටේ පස් පුරවලා දිගින් දිගටම හමුදා සෙබලු ඔවුන්ව දූෂණය කළා. ඊට පස්සෙ සෙබලු කඩු අරගෙන ඔවුන්ගේ පියයුරු කපලා අයින් කළා. එයින් තුන් දෙනෙක් ලිඳකට තල්ලු කළා. උන් ගැහැනුන්ව දූෂණය කර කර, මර මරා, මළකඳන් වළකට දමමින් ඉන්නකොටයි මම හෙමිහිට කළුවරේ එලියට බඩ ගාගත්තෙ. මම හමුදා කඳවුරේ වැට දිහාට රිංගලා කෑම්ප් එක පිටිපස්සේ ලඳු කැලේ හැංගුනා. පස්සේ සොල්දාදුවෝ ටයර් ගෙනල්ලා වළේ තිබුණු මළකඳන්වලට ගිනි තිබ්බා. පාන්දර තුන විතර වෙනකල් ගින්න ඇවිලුනා. ගිනිමැලේ නිවුනට පස්සේ වළට පස් දාලා වැහුවා.”

1994 දී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය විසින් එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිව සිටි සමයේ සිදු කරන ලද සමූල ඝාතන පිළිබඳව විමර්ශනය කිරීම ඇරඹූ අතර, 1997 දී චන්ද්‍රිකා විසින් පිහිටුවන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම විසින් සත්තුරුකොන්ඩාන් සමූල ඝාතනය පිළිබඳව විමර්ශනය කරන ලදී. පොදු පෙරමුණු රජය විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රධානී විශ්‍රාමික විනිසුරු කේ.පාලකිද්නාර් සිය අවසන් වාර්තාවෙන් මෙම සංහාරය විමර්ශනාත්මකව විස්තර කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරුන් තිදෙනෙකු වන වර්ණකුලසූරිය, හේරත් සහ විජේනායක වගකිව යුතු පාර්ශ්ව ලෙස විනිසුරුවරයා විසින් හඳුනා ගන්නා ලදී. විනිසුරුවරයා සිය වාර්තාවෙන් ශ්‍රී ලංකා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ සමූල ඝාතනය සඳහා ප්‍රබල සාක්ෂි ඇති බවත්, අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ය.

මානව හිමිකම් කාර්ය සාධක බලකාය විසින් වැරදිකරුවන් යැයි කියනු ලබන පුද්ගලයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇතත්, චෝදනා කරන ලද අපරාධකරුවන්ට එරෙහිව රජයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ය.

ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කළ වන්තාරුමූලෙයි ග්‍රහණයට ගැනීමෙන් දින කිහිපයකට පසුව මෙම සත්තුරුකොන්ඩාන් සංහාරය සිදු විය. එම සංහාරයෙන් පසු නැගෙනහිර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැකවරණය පතා නතරව සිටි දෙමළ ජාතික සරණාගතයින් 158 දෙනෙකු ශ්‍රී ලංකා සොල්දාදුවන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් නැවත කිසි දිනෙක කිසිවකු විසින් යළි නොදක්නා ලදී.

මඩකලපුව දිස්ත්‍රික්කය තුළ, 1980 දශකයේ අග භාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී, සිවිල් වැසියන් 1,100ක් අතුරුදහන් වූ අතර, ඔවුන් සියල්ලන් මරා දමන ලද බවට උපකල්පනය කරනු ලැබේ.

- තක්ෂිලා ස්වර්ණමාලි



Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව