මන්නාරම් සංහාරය - 1984 දෙසැම්බර් 4

 

1984.12.04 දින ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ තරුණයකු අත්අඩංගුවට ගෙන ඉසෛමාලෛතිව් සිට යුද හමුදා කඳවුරට රැගෙන යමින් සිටි හමුදා රථය බිම් බෝම්බයකට හසු විය. එම රථය සමඟ තවත් හමුදා රථ දෙකක් බිම් බෝම්බ පිපිරුමට ගොදුරු වූ අතර එක් සෙබළෙකු මිය ගොස් සෙබළු එකොළොස් දෙනෙකු තුවාල ලැබී ය.

මෙම සිදුවීමට ශ්‍රී ලංකා හමුදාව විසින් දැක්වූ ප්‍රතික්‍රියාව වන්නේ එදිනම, එනම් 1984 දෙසැම්බර් 4 වන දින ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන් විසින් මන්නාරම් ප්‍රදේශයේ නිරායුධ දෙමළ සිවිල් වැසියන් 200 කට අධික සංඛ්‍යාවක් සමූහ ඝාතනය කිරීම යි.

තල්අඩි හමුදා කඳවුරේ සිට සිවිල් වැසියන් සිටින ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකා හමුදාව මෙම සංහාරය අරඹන ලදී. North-East Secretariat On Human Rights විසින් ප්‍රකාශිත Massacres of Tamils 1956 - 2008 කෘතියට අනුව, හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් 15 දෙනෙකු මන්නාරමේ දී පණපිටින් පුළුස්සා දමන ලදී. ඉන්පසු හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගයේ ගමන් ගත් සිවිල් වැසියන් 30 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන පණපිටින් පුළුස්සා දමන ලදී. නගරයේ මිනිසුන් බලා සිටිය දී මිනිසුන් 45 දෙනෙකු දුමාරය නංවමින් මන්නාරම් නගරය මැද ගිනි ගෙන දැවුණි.

එදිනම තල්අඩි සහ සිලාවත්තායි යුද හමුදා කඳවුරුවලින් පිටත්ව ගමන ඇරඹූ හමුදා භටයින් මන්නාරම හරහා මැදවච්චි මාර්ගයේ ගමන් කර සිරුනාවත්කුලම්, නොච්චිකුලම්, කල්ලික්කඩයිකාඩු, උයිලන්කුලම්, පරපන්කන්දල්, උයිර්ත්තරසන්කුලම්, අත්තික්කුලි, චෙම්මන්තිව්, මුරුන්කන් හරහා මඩු පාරට ඇතුළු විය. එම ගමන් මග පුරා සොල්දාදුවන් විසින් සිවිල් වැසියනට ප්‍රහාර එල්ල කරන ලද අතර නිවාස හා කාර්යාල ගිනිබත් කරන ලදී. සිවිල් වැසියනට වෙඩි තබා ඝාතනය කරන ලදී. කුඹුරුවල වැඩකරමින් සිටි ගොවීන්ට ද වෙළඳසැල්වල සහ ආයතනවල සිටියවුන් ද, දරුවනට කිරි දෙමින් සිටි මව්වරුන්ට ද හමුදාව විසින් වෙඩි තබන ලදී. චෙම්මන්තිව් සමූපකාරයේ සහ මුරුන්කන් තැපැල් කාර්යාලයේ සේවකයෝ ද, ඝාතනයට ලක්කළ වැසියන් අතර වූහ. මධ්‍යම රෝහලට සහ රෝමානු කතෝලික කන්‍යාරාමයට ද හමුදාව විසින් පහර දෙන ලදී.

තල්අඩි කඳවුරෙන් පිටත් වූ හමුදා සොල්දාදුවන් මඩු පාරට පැමිණ මගීන්ගෙන් පිරුණු බස් රථයක් නවත්වන ලදී. සියලු මගීන්ට බස් රථයෙන් බසින ලෙස සොල්දාදුවෝ අණ කළහ. සියලු මගීන්ට සහ රියදුරුට හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. තවත් බස් රථ මෙබදු ප්‍රහාරයන්ට ලක්විය. 

දිනය අවසන් වන විට මන්නාරම හා ඒ අවට නිරායුධ සිවිල් වැසියන් 200 කට අධික පිරිසක් හමුදාව විසින් ඝාතනය කර තිබුණි. 20 දෙනෙකු පමණ අතුරුදහන් කරවූ අතර, දෙමළ තරුණයන් රාශියක් හමුදා කඳවුරු වෙත ගෙන යන ලදී. ඝාතනයට ලක් කළ සියලු සිරුරු ප්‍රවාහනය කිරීමට දින තුනක් ගත විය.

Massacres of Tamils 1956 - 2008 කෘතියට අනුව, ඇන්තනි කුරුසුදාසන් (23), අලකයියා කාලිමුත්තු (31), මුත්තුචාමි සුබ්‍රමනියම් (58), මන්සන් සිවනප්පන් (34), මුරුකේසු නවරත්නම් (54), මුරුකේසු සෙල්ලම්මා (60), මානවල් ඇලෙක්ස් (52), මයිල්වාකනම් ජෙයකුමාර් (32), ඇන්තනි සෙබමාලෙයි (48), කෙන්ටිමරියදාස් මියේස් (57), ඇන්තනි යොකනාතා (18), ඇන්තනි යොකනාතන්මිරාල් (18), අප්පුත්තුරෙයි වීරසිංහම් (40), සුසෙයියප්පු ඉන්මානුවෙල් ලැම්බට් (24), ඉමානුවෙල් සුසයියප්පු ලැම්බට් (24), රාමයියා කන්දසාමි (50), රාමලිංගම් රගුනාදන් (40), රාමලිංගම් ලක්ෂ්මනන් (50), මුහමඩ් කනිවා සුල්තාන් (36), කුප්පුසාමි සෙල්ලදුරෙයි (55), අරුල්මලර් ජෝන් (28), කේ.ටී. රාජරත්නම් (67), කරුප්පයියා අච්චුදන් (34), කරුප්පයියා පෙරුමාල් (60), පිලිප් පිලෙන්දිරන් (56), අල්පිරට්පෝල් නොයලිම්මානු (45), අල්පොන්ස් සුසෙයිනාදන්කුරු (34), අන්ඩිආරුමුගම් සුන්දරරාජ් (45), යක්කොවු මැනුවල් (50), පෙදුරු ආරියරත්නම් (42), අලකන් කාලෙමුත්තු (65), සවාරියන් සන්තියකුපරුණා (32), සවාරියන් සන්තියකුපරිනන්තු (33), වල්ලිපුරම් තියකරාසා (40), රිචාට්කුලස් තෙකිලයාක් (48), මිලසකිපු අප්පුල්මජිතු (43), සින්නතම්බි සුබ්‍රමනියම් (51), පූසාරි කාන්දසාමි (46), එස්. කතිරබන් ආරුමුගම් (72), සන්තිය සුසෙයිනාදන් (36), අක්කිනිමුත්තු රාමසාමි (34), බ්‍රැන්සිසවරි සේරම් (54), සෙබමලෙයි මෙරිකර්මිලාරානි (28), ලොරන්ස්පිල්ලේ බැවිලුප්පිල්ලෙයි (47), සන්තියප්පිල්ලෙයි මාරියම්පිල්ලෙයි (30), සාමිනාදන් කන්නසාමි (28), කප්පනෙයිනා නජිමුදීන් (32), වේලු බනීර්චෙල්වම් (31), පොන්නම්බලම් (40), අරුලනන්දම් දුරෙයිරාජා (32), පොන්නයියා අලකයියා (65), පෙන්සමීන් තවරත්නම් (45), සෙල්ලයියා සන්මුගනාදන් (45), වේලු රාජලිංගම් (25), සීමාන්පිල්ලෙයි සන්තියම්පිල්ලෙයි (58), වේලු ගනපතිප්පිල්ලෙයි (58), පිලෙන්දිරන් අල්පොන්ස් (55), වේලුප්පිල්ලෙයි ගනපතිප්පිල්ලෙයි (58) සහ සුසෙයි නීක්කිලස් (38) සමූල ඝාතනයට ලක්වූවන්ගෙන් කිහිප දෙනෙකි.

මෙම සිදුවීම සම්බන්ධව විභාග කිරීමට එවකට ශ්‍රී ලංකා ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලදී. සිදුවීමේ සාක්ෂිකරුවෙකු වූ, දෙමළ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි මෙතෝදිස්ත පූජක ජෝර්ජ් ජෙයරාජසිංහම් 1984 දෙසැම්බර් 13 වැනි දින තම රථයෙන් ගමන් කරමින් සිටිය දී ශ්‍රී ලංකා හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරන ලද අතර ඔහුගේ සිරුර වාහනයත් සමඟ පුළුස්සා දමා තිබුණි. ඔහු සමඟ සිටි තවත් තිදෙනෙකු ද එම අවස්ථාවේ දී එලෙසම ඝාතනය කර පුළුස්සා දමන ලදී. ජනාධිපති විමර්ශන කොමිසමේ සාමාජිකත්වය දැරූ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ රෝමානු කතෝලික පූජක මේරි බැස්ටියන් ද 1985 ජනවාරි 6 වන දින ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කරන ලදී. එම අවස්ථාවේ දී තවත් සිවිල් වැසියන් දහ දෙනෙකු ද ඝාතනය කර ඇත. මෙම ඝාතන සම්බන්ධව එවකට ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. 

අන්බුරාසා විසින් '1984 ලේවැකි දෙසැම්බර් 4' නමින් 2022 දෙසැම්බර් 4 දින තැබූ සටහනක මෙලෙස සඳහන් වෙයි.

"1984 දෙසැම්බර් 4 මන්නාරම් ජනතාවගේ ජීවිතයේ අමතක නොවන දිනයකි. මම එවකට පාසල් සිසුවෙක්මි. එය පාසලේ තුන්වන වාර නිවාඩුව ආරම්භ වන දිනය යි. එදින අපි පිට්ටනියේ පැළ උගුල්ලමින් සිටියෙමු. වෙලාව පෙරවරු 11 ට පමණ වන්නට ඇත. මන්නාරම කොළඹ ප්‍රධාන මාර්ගයේ වියතරසන්කුලම් හන්දිය අසළ කට්ටුක්කරයිකුලම් අසළ දී ශ්‍රී ලංකා හමුදාව ඉලක්ක කර බිම් බෝම්බයක් පිපිරී ගියේය. ප්‍රහාරයෙන් එක් හමුදා සෙබළෙකු මියගියේ ය. එම පිපිරුමෙන් පසු යුද හමුදාව කෝපයෙන් ප්‍රධාන මාර්ගය දෙපස හමුදා රථ ධාවනය කරමින් පාරේ ඇවිද යමින් සිටි පුද්ගලයින්, කුඹුරුවල වැඩ කරමින් සිටි ගොවීන්, රජයේ සේවකයන් ආදී ඇසට පෙනෙන සියල්ලන්ටම වෙඩි තබා මරා දැමූහ. මුරුන්කන් තැපැල් කාර්යාලයේ සේවය කරමින් සිටි සේවකයින් සහ වෙළඳසැල්වල සිටි මිනිසුන් ද මරා දමන ලදී. බස් රථයක් නවතා එහි සිටි සියලු මගීන් බස්සවා එම මගීන් පෝලිමක හිටවා වෙඩි තබා ඝාතනය කර ඇත. දිවි ගලවා ගත් ඇතමුන් මෙම සමූල ඝාතනය පිළිබඳ බොහෝ බිහිසුණු අත්දැකීම් විස්තර කර ඇත. තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ඇතැමුන් පැය කිහිපයකට පසු රෝහල්ගත කිරීමෙන් දිවි ගලවා ගත්හ. වෙඩි වැදී මියගිය අයගේ සිරුරු කුඹුරුවල, පාරවල්වල වැටී තිබූ අතර ඒවා දිනකට හෝ දෙකකට පසු මිහිදන් කරන ලදී. මේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 250ක් පමණ බිලි ගෙන ඇත. මේ සිදුවීම මන්නාරම දිස්ත්‍රික්කය කැළඹූ බිහිසුණු සිදුවීමක් වන අතර මේ සිද්ධියෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කය යථා තත්ත්වයට පත් වීමට වසර ගණනාවක් ගත වූ බව එකල විසූ අය දනිති. සංහාරය සිදුවී අදට හරියටම වසර 38 ක් සපිරේ. ඝාතනයට ලක්වූවන් සිහිකරනට සිහිවටන ගලක්වත් නොමැතිවීම මහත් ශෝකයකි, මහත් වේදනාවකි. නමුත් මේ රටේම මිනිසුන් විසින් අපගේ ස්මාරක කඩා බිඳ දමා හන්දිවලත් මාවත් අයිනේත් තමන්ගේ ආගමික සංකේත ඉදිකරන කරන උද්‍යෝගය දකිනවිට මගේ හදවත වේදනාවට පත්වෙයි.

1984 දෙසැම්බර් 4 වැනිදා හමුදා ප්‍රහාරයෙන් මන්නාරම් දිස්ත්‍රිකය බියෙන් ඇළලී ගිය අවස්ථාවේ වීදිවල කුමකින් කුමක් සිදුවන්නේ දැයි නොදැන මාවතට විත් අන්‍යයන්ට උදව් කිරීමට ඉදිරිපත් වූවෝ වෙති. මෙතෝදිස්ත පූජක ජෝර්ජ් ජෙයරාජසිංහම් ඇතුළු තරුණයින් හා රෝමානු කතෝලික පූජක මේරි බැස්ටියන්, වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සහ රෝහල් කාර්ය මණ්ඩලය තම ජීවිතය පරදුවට තබමින් තුවාලකරුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වූයේ ප්‍රදේශයේ පැවති දැඩි භීතිය මධ්‍යයේය. මෙම දෙසැම්බර් 04 වෙනිදා බොහෝ මිනිසුන්ගේ ජීවිත බේරාගත් පුද්ගලයා වන්නේ මුරුන්කන් රෝහලේ සේවයේ නිරතව සිටි වෛද්‍ය ආරුමුගම් තිරුනාවුකරසු ය. මැදියම් රැයේ පවා කුසගින්න, වෙහෙස නොතකා විවේකය නොලබා ඔහු රෝගීන්ට ප්‍රතිකාර කළේ ය. විශේෂයෙන්ම, කුරිරු මිලිටරි පාලනය සහ අරාජිකත්වය තුළ, ඔහු අපගේ ප්‍රජාවට රැකවරණය සැලසීය. ඉතාම තීරණාත්මක මෙම කාල වකවානුවේදී ඔහු ප්‍රදේශයෙන් ඉවත් නොවී ජනතාව අත්නොහැර සිටියේ ය. ඔහුගේ බිරිඳ වන සිවපූසමලර් ගුරුවරියෙකි. මම මුරුන්කන්හි ඇයගේ ශිෂ්‍යයෙක් මි. මගේ පියා මුරුන්කන් පාසලේ උපවිදුහල්පති වරයා නිසා මට ඔවුන්ව අඳුනගැනීමට අවස්ථා රාශියක් ලැබුණි."

අන්බුරාසා විසින් ඉහත සඳහන් කරන ලද වෛද්‍ය ආරුමුගම් තිරනාවුකරසු තමන් අත්විඳි සිදුවීම අද මෙසේ සිහිපත් කරයි.

"මම වසර 50කට වැඩි කාලයක් වෛද්‍ය වරයෙක් විදියට සේවය කරලා තියෙනවා. මුරුන්කන් වල වෙච්ච සිදුවීම මම මුහුණ දුන්නු බිහිසුණුම අත්දැකීමක්. 1984 12 4 වෙනිදා හවස මම මුරුංගන් තැපැල් කන්තෝරුවේ ඉන්නකොට සෙම්මන්දිව් සහ තැපැල් කන්තෝරුව අතර මන්නාරමට යන පාරේ ළතෝනියක් ඇහුණා. පාරේ හිටපු අයට ගෙවල්වලට දුවන්න කියලා මම මගේ බිරිඳයි ළමයිනුයි පූජක නිවසේ ආරක්ෂිතව නවත්වලා ඉස්පිරිතාලෙට ගියා.

මන්නාරම බස් එක ආවේ ව්ව්නියාවෙන්. මුරුන්කන් තැපැල් කන්තෝරුව ළඟ බස් එක නවත්වලා මගීන් සියල්ලන්ට හමුදාව බස් එකෙන් බහින්න කිව්වා. සිංහල හා මුස්ලිම් අය එක පැත්තකත් දෙමළ අයට අනෙක් පැත්තෙත් හිට ගන්න නියෝග කළා. බසයේ සිංහල ‌කොන්දොස්තර විලියම්, සොල්දාදුවන්ට වැඳ වැටී බැගෑපත්ව ඉල්ලුවා එල් ටී ටී ඊ නොවන ඒ අහිංසක මිනිසුන්ට වෙඩි තියන්න එපා කියලා. හමුදාව ඔහුව තල්ලු කර දමා සියලු දෙමළ ජනයාට වෙඩි තැබුවා.

එතන තැපැල් කන්තෝරුවෙ හිටිය සියලුම සේවකයින්ට එළියට එන්න හමුදාවෙන් අණ කරලා සිංහල මුස්ලිම් අයට එක පැත්තක හිටගන්න කිව්වා. හැඳුනුම්පත අතේ තියාගෙන තාප්පයට මුහුණ ලා හිටගන්න දෙමළ අයට අණ කළා ඊටපස්සෙ ඔවුන්ව වෙඩි තියලා මැරුවා. හමුදාව මුරුන්කන් සිට උයිලන්කුලම් දක්වා ගියේ පාරේ, කෙත්වල, ආයතනවල සිටි මිනිසුන්ට වෙඩි තබමින්. මේ සිද්දියෙන් 250 ක් පමණ මියගිය බව පැවසෙනවා.

සෙබළු පිට වෙලා ගියාම පියතුමන්ලා සහ තරුණයින් තුවාලකරුවන් සහ මියගිය අය වාහනවලින් මුරුන්කන් සහ මන්නාරම රෝහලට රැගෙන ගියා. විශාල තුවාල සහිතව ලේ කැටි ගැසී මෙහි පැමිණි අයට ලේ කැටි ගැසීම නැවැත්වීමට අවශ්‍ය බෙහෙත් වර්ග සහ උපකරණ සමග රෝගීන් මන්නාරම යැව්වා. කනකරත්නම් වෛද්‍යතුමිය මෙහි පැමිණ මියගිය අයගේ සිරුරු කොටස් පරීක්ෂා කර වාර්තාව ඉදිරිපත් කළා. මුරුන්කන් රෝහලේ හිටපු අපි හැමෝම ඒ කියන්නෙ දන්ත ශල්‍ය වෛද්‍යවරයා, ඖෂධ සංයෝග කරන්නා, හෙදියන්, පරිත්‍යාගශීලීන්, කම්කරුවන්, ස්වේච්ඡා සේවකයන් සහ තරුණයිනුත් එකතුවෙලා තුවාල ලැබූවන්ට උපකාර කළා. දේවගැතිවරුන් සහ කතෝලික පියතමන්ලා රෝගීන්ව මන්නාරම් රෝහලට යවන්න වාහන ලෑස්ති කරලා, තුවාලකරුවන්ට කෑම බීම දීලා, මිනිසුන්ගේ බයත් ආතතියත් සමනය කරන්න උත්සාහ කළා. මෙම සිදුවීම ස්මාරකයක සනිටුහන් කළ යුතු යි. අනාගත පරම්පරාව මේ ගැන දැනගන්න අවශ්‍ය යි."


එම ආරුමුගම් තිරුනාවුකරසු වෛද්‍යවරයාගේ පුත් බාලමුරුගන් තිරුනාවුකරසු විසින් 1984.12.4 දින ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලද මන්නාරම් සංහාරය සිහිපත් කරමින්, 2022.12.4 වන දින සමාජ ජාල ගිණුමක මෙලෙස සටහන් කර තිබුණි.

"මම ඒ දිනවල පෙර පාසල් සිසුවෙක්මි. පාසල් ගුරුවරියක් වූ මගේ මව පාසලේ උගන්වා පැමිණ අපට ආහාර බෙදා දුන්නාය. ඒ අපේ ප්‍රමාද වූ දිවා ආහාරය යි. ඒ දැල්ලන් ව්‍යාංජනයත්, ආහාර බෙදා තිබූ තද නිල් පැහැති බඳුනත් මට තවම මතකය. අපට අසල කොතැනක හෝ වෙඩි තැබීමේ ශබ්දය අඛණ්ඩව ඇසෙන්නට පටන් ගත්තේය. එය යුද සමයේ ආරම්භක වකවානුව වූ බැවින් එවකට අපට වෙඩි තැබීමේ ශබ්දය හුරුපුරුදු නොවීය. එබැවින් එම වෙඩි හඬ පැමිණෙන්නේ කුමන පැත්තෙන්ද කොපමණ දුරින්දැයි අපට අනුමාන කළ නොහැකි විය. අපි සියල්ලන් කම්පනයට පත්ව කෑගැසුවෙමු. අපි අසළ තිබුණු පල්ලියට දුවගෙන ගොස් වැසිකිළිවල සැඟවුණෙමු. අපි පල්ලියට දිව යන අතරමගදී මගේ අම්මාගේ මිතුරු ගුරුවරයක් 'අයියෝ, මුන් මරනවා' කියා කෑගසමින් වේගයෙන් දිව යන ආකාරය අපි දුටුවෙමු. ඔහු ජීවිතය බේරාගැනීමට දිව යන බව අම්මා කීවා ය. මගේ පියා වෛද්‍යවරයෙකි. හමුදා ප්‍රහාරයට ලක්වූ තුවාලකරුවන් ප්‍රතිකාර කිරීමට රෝහලට රැගෙන යාමට ඔහු පිටත්ව ගියේ ය. අපි ඔහුගෙන් බැහැර නොයන ලෙස ඉල්ලා බියෙන් කෑගැසුවෙමු. එහෙත් ඔහු පිටත්ව ගියේ ය.

පැය කිහිපයකට පසු මගේ පියා කම්පනයට පත් මුහුණින් සහ කඳුළු පිරුණු දෑසින් ආපසු පැමිණ අම්මා සමඟ තමා දුටු ඛේචවාචකය පිළිබඳව කීවේය. අපි සියල්ලන් හඬන්නට පටන් ගත්තේ එය අපගේ එවැනි පළවෙනි අත්දැකීම නිසා ය. එහෙත් කල් ගත වන විට පියාගේ පමණක් නොව එබඳු සිදුවීම් අප සියලු දෙනාගේ ජීවිතවල කොටසක් බවට පත්විය.

එදින, ශ්‍රී ලංකාවේ ඊනියා 'ආරක්ෂක අංශ', මුරුන්කන් තැපැල් කාර්යාලය ඉදිරිපිට බස් රථ දෙකක් නවතා, ඔවුන්ගේ ජනවාර්ගිකත්වය අනුව පෙළ ගැසීමට අණ කර, ඔවුන්ගේ අනන්‍යතාවය සහ වාර්ගිකත්වය සනාථ කිරීම සඳහා හැඳුනුම්පත ළඟ තබා ගන්නා ලෙස නියෝග කර ඇත. සිංහල පුද්ගලයෙක් වූ එක් බස් කොන්දොස්තර වරයෙක් ශ්‍රී ලංකා 'ආරක්ෂක අංශ' සමඟ දැඩි ලෙස වාද කරමින් තම බස් මගීන් මරා දැමීම වැළැක්වීමට හැකි පමණින් උත්සාහ කළේ ය. නමුත් ඔහුට හමුදා සෙබළෙකු විසින් කම්මුල් පහරක් ගසා තර්ජනය එල්ල කර, ඔහුගේ අසුන යට අත්බෝම්බයක් තබා ඔහුගේ විරෝධය නිහඬ කර සියලු දෙමළ බස් මගීන් වෙඩි තබා මරා දමන ලදී.

200 කට අධික සියලු සිවිල් ඝාතනයන් අවසන් වූ පසු, මෙම ප්‍රහාරය සඳහා අණදුන්, ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදා අණදෙන නිලධාරියා, සිනහවකින් යුතුව, පිළිවෙළට උජාරුවෙන් ඇඳි  නිල ඇඳුමෙන් සැරසී රෝහලට ගොස් තුවාලකරුවන් ප්‍රාදේශීය රෝහලට මාරු කිරීමට වෛද්‍යවරයාට උදව් කළේය. ජනතාව ගලවා ගැනීමේ මානුෂීය මෙහෙයුමට ආරක්ෂක අංශ උදව් කළ බව ශ්‍රී ලංකා ගුවන්විදුලිය විසින් එහි ශ්‍රාවකයන්ට හෙවත් 'ඇදහිලිවන්තයන්ට' පුනරුච්චාරණය කිරීමට පටන් ගත් අතර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ ඇදහිලිවන්තයන් එය විශ්වාස කිරීමටත් හමුදාව මවාපෑ ඔවුන්ගේ ගලවාගැනීමේ උත්සාහය ප්‍රශංසා කිරීමටත් පටන් ගත්හ.

ඒ සිදුවීම නැවත මගේ පවුලේ කිසිවෙක් විසින් හෝ වෙනත් අයකු විසින් නැවත නැවත අපට මතක් නොකළ ද දිවි ගලවා ගන්නට දිව ගිය ඒ ගුරුවරයා දකින විට, දැල්ලන් ව්‍යාංජනය ආහාරයට ගන්නා විට, ඒ තද නිල් පිඟාන දකින විට, එම තැපැල් කන්තෝරුව පසු කරන සෑම විට මගේ හදවත තවමත් වේගයෙන් සැලෙන අතර එය නැවැත්වීමට කිසිදු තුවක්කුවකට නොහැක.

හමුදාවෙන් අපට පැවසුවේ ඔවුන් රෝගීන් රොහලෙන් රෝහලට මාරු කිරීමට උදව් කළ බව මතක තබා ගන්නා ලෙසයි. ඔවුන් මතක තබා ගන්නා ලෙස පැවසුවේ මරණ ගැන හෝ සිදු වූ වෙනත් අනතුරු ගැන නොවේ. අපව කම්පනය කළ දේ මතක තබා නොගෙන ඔවුන්ට අවශ්‍ය දේ මතක තබා ගන්නා ලෙස ඔවුන් අපට නියෝග කරන ලදී. අවාසනාවකට එම අණදෙන නිලධාරියා වසර 12කට පමණ පසු යාපනයේ වරනි රෝහලේදී මට මුණගැසුණේ ඔහුගේ ජයග්‍රහණ සඳහා ඔහු ලැබූ උසස්වීම් රැසක් සමඟින් සහ තවත් කුරිරු කතාවක් සමඟිනි."





- තක්ෂිලා ස්වර්ණමාලි

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව