දීපචෙල්වන්ගේ 'ස්මාරක ශිලාවත' (නඩුගල්)

 


මධුර මනෝහර පොළොවක සියල්ලන් සුඛිත මුදිතව සිටිනා කලෙක අපට සාහිත්‍යයෙන් වළාකුළු මත පාව යා හැක. එතෙක්, වධ වේදනා විඳ මියෙන මිනිසුන් ද සතුන් ද ගහකොළ ද වෙනුවෙන් නොනවතින අරගලයක අවශ්‍යතාව මහපොළොව මත තව තවත් ප්‍රබලව ශේෂව ඇත.

සිංහල ප්‍රබන්ධ දෙමළට පරිවර්තනය වීමේ කාර්යභාරය මේ මොහොතේ මේ දූපත මත ඇති සැබෑ දේශපාලනික වුවමනාවක් නොවීම සත්‍යය යි. සිංහල සමාජයට තවමත් දෙමළ අරගලකරුවා ත්‍රස්තවාදියෙකු වීමේ සැබෑව ද සන්නද්ධ දෙමළ ජාතික අරගලයේ ‌අභිලාෂයන්ගේ යුක්තිසහගත බව පිළිගැනීම තබා අවම වශයෙන් පූර්ණ බලතල සහිත ෆෙඩරල් ක්‍රමයක අවශ්‍යතාවය සම්බන්ධ වචන මාත්‍රයකුදු නොදොඩා උතුරු දකුණු ඊනියා සමගිය ගැන ම දොඩන සිංහල සමාජයේ ඒකීය රාජ්‍ය ලෝලීත්වය ද හඳුනාගැනීමට නම් අතැම් සිංහලෙන් දෙමළට සිදු කරන පරිවර්තන උපකාරී වනු ඇත. 

එහෙත් දෙමළ සමාජය සම්බන්ධ සියුම් දේශපාලනික නිරවද්‍යතාවන් පැහැදිලිව හඳුනාගැනීමට තරම් සිංහල පාඨක සමාජය මෝරා නැති බැවින්, සිංහල සමාජයට කැඳවන දෙමළ නිර්මාණ පිළිබඳව අප ප්‍රවේසම් විය යුතුව ඇත. මන්ද මේ මොහොතට අත්‍යවශ්‍ය වූ නිශ්චිත නිවැරදි දේශපාලනික අරමුණු උදෙසා සහයෝගී නිර්මාණ තේරීමේ වගකීම නොසලකා සිටිය නොහැක්කා වූ ප්‍රබල දේශපාලනික අවශ්‍යතාවක් ලෙස මේ මොහොත තුළ මේ දූපත මත ඇත.

සිංහල අධිපතිවාදී රාජ්‍ය පීඩනයට ප්‍රතිචාරය ලෙස ගොඩනැගුණු දෙමළ ජාතික අරගලයේ සන්නද්ධ ක්‍රියාමාර්ග සහ සිංහල රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවන් අතර වෙනස සලකුණු කිරීමට අසමත් සිංහල සමාජයක ජාතිවාදය සුරතල් නොකිරීමේ වගකීම අප සතු ය.

දීපචෙල්වන්ගේ ස්මාරක ශිලාවත වනාහි එකී වගකීම මනාව දරන ලද්දා වූ ද, දකුණ අන්ධ කළ රාජ්‍ය දෘෂ්ඨිවාදයට කරනු ලබන අභියෝගයක් වූ ද, එල් ටී ටී ඊ සංවිධානය සහ ඊළාම් රාජ්‍ය්‍ය පිළීබඳ සිංහල ප්‍රබන්ධය බිඳ දමන්නා වූ ද, තීරණාත්මක පරිවර්තන කෘතියකි.

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව