කුමුදිනී සංහාරය 1985.05.15

 




ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 'කුමුදුනී' සමුද්‍ර යාත්‍රාවේ ගමන් කරමින් සිටි නිරායුද දෙමළ වැසියන් පිරිසක් සමූහ ඝාතනය කර මෙම මැයි මස 15 වන දිනට වසර 38 ක් සපිරේ. කුමුදිනී බෝට්ටුවේ සිටි මගීන් 72 දෙනා අතරින් 36-48 ත් දක්වා වූ සංඛ්‍යාවක් සාහසික ලෙස කපාකොටා ඝාතනය කළ බවට, වධ හිංසා ලැබ දිවි ගලවාගත් මගීන් ද දිවි පිදූවන්ගේ ඥාතීන් ද මානව හිමිකම් ක්‍රියාකාරීන් ද මානව හිමිකම් සංවිධාන ලේඛන ද සාක්ෂි දරයි. ඩෙල්ෆ්ට් (නෙඩුන්තීව්) දුපතේ ස්ථාපිත කර තිබෙන කුමුදිනී ස්මාරකයට උපහාර දක්වමින් සෑම මැයි 15 වන දිනකම ඩෙල්ෆ්ට් වැසියන් විසින් ‌මෙම ඛේදවාචකය අනුස්මරණය කරනු ලබයි.

කුමුදිනී සංහාරය සිදු වූ පසු Amnesty International සංවිධානය මගින් ඝාතනයට ලක් වූ මගීන් 23 දෙනෙකු නම් වශයෙන් හඳුනාගත් අතර, NESOHR සංවිධානය විසින් මෙම සිදුවීමේ දී ඝාතනය කළ පුද්ගලයින් 43 දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කර ඇත. එනම්, පසුපතී නිර්මලාදේවි (20), කන්දයියා සතාසිවම් (56), ‌ජේසුදාස් (46), මරියම්මා පතිනාදම් (49), කනකලින්ගම් (34), තිල්ලනාදන් (32), ගණප්‍රකාසම් මරියමානික්කම් (45), සදයාර් ගෝවින්දන් (46), සෙබමලෙයි අන්තෝනිප්පිල්ලෙයි (45), සෙබමලෙයි කිරුස්ඩි (24), නිමලි (18), අනුෂියා (23), යෝගිනී (14), පූරණම් (22), වී. කන්දයියා (44), එස්.සන්තිරකුමාර් (30), ධර්මලිංගම් බාබු (13), කුමාරසාමි විනයාගම් (38), සබාවති දේවනායි (68), ගණප්‍රකාසම් දේවසකායම් (42), වෛත්තිලිංගම් සතාසිවම් (45), රාමන් උරුගන් (52), කරෙයියුර් සින්නයියා (35), මුත්තන් මනිවන්නන් (13), රොකේෂියන් සන්දිරකුමාර් (18), තොප්පායි නාගෙන්තිරම් (23), සින්නවන් ඇන්තනි (65), රාමනාදන් (16), වේලුප්පිල්ලෙයි පුස්පරාසා (22), ගණසේකරම් (28), විශ්වලිංගම් සුබාජිනී (1ට අඩු), කනකම්මා (55), පලනි මෝකනාදන් (27), ධර්මලින්ගම් අමිර්තලින්ගම් (18), නමසිවායම් කාන්තයියා (45), රාමලින්ගම් පරලෝකනාදන් (35), කාර්ත්තිකේසු (45), කේ. පාර්වතිප්පිල්ලෙයි (40), එස්.නාගේන්ද්‍රන් (32), කුසලකුමාරි (28), සාන්තලින්ගම් (1), ජී. සරෝජාදේවි (24), ශෂිකලා දනපාලසිංහම් (3) යන අය යි.

කුමුදිනී සමුද්‍ර යාත්‍රාව යනු ශ්‍රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ (යාපන දිස්ත්‍රික්කයේ) දූපත් කිහිපයක් හරහා මගී ප්‍රවාහනයට ‌රජයෙන් යොදවන ලද මගී ප්‍රවාහන බෝට්ටුවකි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයාගැනීම සඳහා දූපත් වාසීහු මෙම බෝට්ටු සේවාව භාවිතා කළහ. 1985 මැයි මස 15 වන දින ඩෙල්ෆ්ට් දූපතේ සිට නයිනතිව් හරහා පුන්කුඩුතිව් දක්වා ගමන් ඇරඹූ කුමුදිනී බෝට්ටුව නයිනතිවු දෙසට ගමන් කරමින් සිටිය දී මුහුද මැද දී නාවික හමුදා බෝට්ටුවක් විසින් නවත්වන ලදී. එම නාවික හමුදා බෝට්ටුවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු කුමුදිනී බොට්ටුවට ඇතුළු වූ අතර දෙදෙනෙක් තමන් පැමිණි බෝට්ටුවේ ම නතරව වූහ. එම සියලු පුද්ගලයන් ශ්‍රී ලංකා නාවික හමුදා සෙබලුන් බව හඳුනාගෙන ඇත.

කුමුදුනී යාත්‍රාවට කඩාවැදුණු ඝාතකයින් සතුව තුවක්කු තිබූ අතර ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් අඳින නිල් පැහැති කලිසම්වලින් සහ කොට කලිසම්වලින් ද ටී ෂර්ට්වලින් ද සැරසී සිටියහ. ඔවුන් විසින් සියලුම මගීන්ට සහ කාර්ය මණ්ඩලයට බෝට්ටුවේ ඉදිරිපස කොටසට ඇතුළු වන ලෙස නියෝග කරන ලදී. සියලුම මගීන්ට ඔවුන්ගේ  නම, වයස, ලිපිනය සහ ඔවුන් යන ගමනාන්තය කෑගසා පැවසීමට අණ කරන ලදී. එම ඝෝෂාව අතර එකිනෙකා බැගින් පිටතට එන ලෙස ඔවුන්ට තුවක්කුවක් පෙන්වමින් සෙබලුන් විසින් නියෝග කර ඇත. මගීන්ව බලහත්කාරයෙන් කෑගැස්සවීමෙන් ඇති වූ ඝෝෂාව නිසා මෙලෙස රැගෙන ගිය එක් එක් පුද්ගලයාට සිදුවන්නේ කුමක්දැයි ඉදිරි කොටසේ ඉතිරිවන්නන් දැන සිටියේ නැත. රැගෙන ගිය මගීන්ව කපා කොටා මරා දමා තිබූ ආකාරය දිවි ගලවා ගත්තවුන් විසින් දක්නා ලදී. ප්‍රාදේශීය රා මදින්නන් විසින් රා මැදීමට භාවිතා කරන පිහි එකතු කර, මගීන් ඝාතනය කිරීම සඳහා අපරාධකරුවන් විසින් භාවිතා කරන ලද බව ගම්වාසීන් විසින් පසු කාලයේ දී ප්‍රාදේශීය මානව හිමිකම් කණ්ඩායම් වෙත වාර්තා කර තිබුණි.

මෙම සංහාරය සිදු කර භටයින් පලා ගිය පසු කුමුදිනී යාත්‍රාව යාපනය වෙරළට වේගයෙන් ඇදී ගිය අතර ඒ වන විටත් බොහෝ දෙනෙක් මිය ගොස් සිටියහ. ගොඩබිමට පැමිණි පසු යාත්‍රාවේ සිටි තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගත කර ඇත. මෙම ඛේදවාචකයට ගොදුරු වූවන්ගෙන් අති බහුතරය ඩෙල්ෆ්ට් දූපත් වාසීන් වූ අතර කයිට්ස් දූපත් වැසියන් සහ ගුරුනගර්වාසීන් කිහිප දෙනෙක් ද වූහ. තම ඥාතීන් මෙසේ සාහසික ලෙස ඝාතනයට ලක් වූ බව දූපත් වැසියනට අසන්නට ලැබුණේ ප්‍රවෘත්ති මාධ්‍ය හරහා ය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආක්‍රමණ හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ උතුරු දූපත් වාසීන් අනාරක්ෂිත ජීවිත ගෙවූ බවට මෙය එක් නිදසුනක් පමණි.

ඇම්නේස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින්, දිවි ගලවා ගත් අයගේ ඇසින් දුටු සාක්ෂි හඳුනාගෙන වාර්තා කර ඇති අතර වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වෙත සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. 1985 මැයි 15 වන දින ඩෙල්ෆ්ට් සහ නයිනතිව් අතර මැද මුහුදේ දී මගී බෝට්ටුවක ගමන් කරමින් සිටි නිරායුධ දෙමළ මගීන් ඝාතනය කිරීමට නාවික හමුදා නිලධාරීන් වගකිව යුතු බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයට ලිඛිතව ලැබුණු සාක්ෂි ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ අතර, රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී. නයිනතිව් දූපතෙහි නාවික හමුදා කඳවුරේ සිටි නාවික සෙබළුන් මෙම ඝාතනවලට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ අතර, එවකට ජාතික ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යවරයාව සිටි ලලිත් ඇතුලත්මුදලි ප්‍රකාශ කර සිටියේ මෙයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න පෙන්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව මෙම සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මෙසේ ය.

සරෝ රාසරත්නම්ගේ ප්‍රකාශය

“අපි විනාඩි 30ක් විතර කුමුදිනී බෝට්ටුවේ යද්දී මුහුද මැදදි නතර කළා. නාවික හමුදාවේ අය බෝට්ටුවට නැග්ගා. ඔවුන් අප සියලු දෙනාම බෝට්ටුවේ ඉදිරිපසට රැගෙන ගියා. ඔවුන්ගෙන් එක් අයෙකු අතේ තුවක්කුවක් තිබුණා. සිංහල කතා කරන්න දන්න, ජේසුදාසන් දන්න කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. ඔවුන් අපෙන් ඇහුවා අපි කොහෙද යන්නේ කියලා. බෝට්ටුවේ පිටුපස විශාල ශබ්දයක් ඇහුණා. ජේසුදාසන් සහ කුමුදිනියෙ වැඩ කරපු පස්දෙනා මුලින්ම බෝට්ටුවෙ පිටුපසට අරන් ගියා.

සිද්ද වෙන්නෙ මොකද්ද කියලා අපි දැනගෙන හිටියෙ නෑ. නාවික හමුදාවේ නිලධාරීන් අපේ නම් සහ ගම් ශබ්දනගලා ප්‍රකාශ කරන්න අණ කළා. අපි තේරුමක් නැති බලාපොරොත්තුවෙන් ඒ කියපු විදියට කෑගැහුවා. ඊට පස්සේ නාවික හමුදාවේ අය අපි එක්එක්කෙනාට අඬගැහුවා. මුලින්ම පිරිමි අය එකින් එක ගියා, ඊට පස්සේ ගෑණු අය යන්න පටන් ගත්තා. මම තමයි අන්තිමට ගියේ. නිර්මලා ඒ වෙනකල් මාත් එක්ක හිටියා. නිර්මලා මට කිව්වා මුකුත් කරන එකක් නෑ, යමු කියලා. එයා කිව්වා අපේ හැඳුනුම්පත බලනවා කියලා. නිර්මලාගෙන් පස්සෙ මම පිටිපස්ස බැලුවා. කවුරුවත් හිටියෙ නෑ. යන්න අකමැති වුණත් අපිට යන්න සිද්ද වුණා, අණ කරපු නිසා. මම ගිය තැන නාවික හමුදාවේ කෙනෙක් හිටියා. ඔහු මාව තල්ලු කළා. තවත් කෙනෙක් මගේ බෙල්ලට, පපුවට සහ හිසට පිහියෙන් ඇන්නා. ඊට පස්සේ මොකද වුණේ කියලා මට හරියට මතක නැහැ. මාව ඇදලා අරන් බිම වැටිලා හිටපු අනිත් අය උඩට දැම්මා මතකයි. මේ මගේ ඔළුවේ සහ බෙල්ලේ තියෙන්නෙ ඒ තුවාල කැළැල්”

අන්නලච්මි සිවලිංගම්ගේ ප්‍රකාශය

“මම මගේ දරුවා සමඟ ඉඳගෙන නාවික හමුදා නිලධාරියාට මගේ හැඳුනුම්පත පෙන්නුවා. වාඩි වෙලා ඉන්න එපා කියලා මාව උඩට එක්කන් ගියා. එක නාවික හමුදා භටයෙක් මගේ අතින් අල්ලාගෙන මට පිහියෙන් ඇන්නා. ඊට පස්සේ මොකද වුණේ කියලා මට මතක නැහැ. ඊළඟට මට තේරුණා, මම ඉන්නේ රෝහලක කියලා. මම දිගටම මගේ දරුවා ඉල්ලුවා. මගේ දරුවා නිවසේ සිටින බවත් එළකිරි බොන බවත් අනිත් අය මට පැවසුවා. මගේ තුවාල නිසා කට අරින්න බැරුව අවුරුද්දක් දියර ආහාර ගත්තා. මගේ දරුවාත් එතෙන්දි මරලා බව මම දැනගත්තේ සිද්ධිය වෙලා සති හයකට පස්සේ."

ගනපතිපිල්ලේ ආනන්දකුමාර්ගේ ප්‍රකාශය 

“අපේ බෝට්ටුව නවත්තලා අනිත් බෝට්ටුවේ හිටිය අය අපිට ඇතුළට යන්න අණ කළා. අපිව ඇතුළට දාලා වහගෙන එතන ඉන්න කවුරුහරි සිංහල දන්නවද කියලා ඔවුන් අපෙන් ඇහුවා. කීප දෙනෙක් ඔව් කියලා ඉස්සරහට ගියා. එයාලට සිද්ද වුණේ මොකද්ද කියලා අපි දන්නෙ නෑ. අපි හිටිය කාමරයෙන් පිටත නාවික හමුදා සාමාජිකයින් දෙන්නෙක් තුවක්කු අරන් මුරකරගෙන හිටගෙන හිටියා. එලියේ තවත් දෙන්නෙක් අත්බෝම්බ තියාගෙන හිටියා.

ඇතුළේ ඉන්න හැමෝටම හයියෙන් කෑගහලා නම් කියන්න කිව්වා. ඉතින් අපි හැමෝම එහෙම කළා. හමුදාවෙන් අපිට එහෙම කරන්න කිව්වෙ ඒ ඝෝෂාව නිසා පිටත සිද්ද වෙන දේ අපිට ඇහෙන එක වසන් කරන්න. ඔවුන් මිනිස්සුන්ට පිටුපසට යන්න කියලා අණ කරන්න පටන් ගත්ත. මම පිටිපස්සට යනකොට මගේ නළලට පොල්ලකින් ගැහුවා. ඉන් පස්සේ මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. ඒ කාමරේ ඇතුලේ පොඩි ළමයිනුත් හිටියා. අපි එක්ක හිටපු මාස 6ක් වයසැති බිළිඳාටත් සෙබලු පිහියෙන් ඇනලා මරලා තිබුණා. ගැහැණු ළමයින්ව දූෂණය කළා. මිනිස්සුන්ව මැරුවා. බෝට්ටුවේ 72 ක් හිටියා. ඒ අතරින් ජීවිත බේරගත්තු අයත් ගොඩක් වධ හිංසාවලට ලක් වුණා. මාව ඉස්පිරිතාලෙට අරන් ගිහින් දවස් 4කට පස්සේ මට සිහිය ආවා. මට වැඩට යන්න බැරි වුණා. මගෙ රෝගී තත්වය නිසා ඊට පස්සෙ මට රස්සාවක් හොයාගන්නත් බැරි වුණා.”

තවත් සාක්ෂියක්

"අපි 1985 මැයි 15 වෙනිදා උදේ 7.45 ට විතර රජයේ දියත් කරන කුමුදිනී බෝට්ටුවට නැග්ගා. එම දිනයේදී බෝට්ටුව නයිනතිව් දූපත දෙසට පැය බාගයක් පමණ ගමන් කරද්දී ෆයිබර් ග්ලාස් බෝට්ටුවකින් ආව කිහිප දෙනෙකු විසින් කුමුදිනී බෝට්ටුව නැවැත්වීමට නියෝග කළා. මිනිස්සු හය දෙනෙක් කුමුදිනී බෝට්ටුවට නැග්ගා. ‌දෙන්නෙක් කුමුදිනී බෝට්ටුවට බැඳලා තිබුණු ෆයිබර් ග්ලාස් බෝට්ටුවෙම නැවතිලා හිටියා. කුමුදිනී බෝට්ටුවට නැග්ග හය දෙනා ළඟ නාවික සහ හමුදා නිලධාරීන් රැගෙන යන රයිෆල් තිබුණා. ඔවුන් හැමෝම නිල් පාට දිග හෝ කොට කලිසම් සහ ටී ෂර්ට් ඇඳගෙන හිටියා. ඒ ඇඳුමෙන් මේ මිනිස්සු නාවික හමුදා සාමාජිකයන් බව මට වැටහුණා.

සියලුම මගීන්ට සහ කාර්ය මණ්ඩලයට බෝට්ටුවේ ඉදිරිපස කොටසට ඇතුළු වන ලෙස නියෝග කළා. පසුපස කොටස සහ රියදුරු කුටිය සම්පූර්ණයෙන්ම හිස් වුණා. ඉදිරිපස කොටසට බලහත්කාරයෙන් ඇතුළු කරන ලද සියලුම මගීන්ට ඔවුන්ගේ නම්, රැකියා, පදිංචි ප්‍රදේශය, යමින් සිටින ස්ථානය ආදිය නැවත නැවත කියමින් ශබ්දනගා කෑගහන්න අණ කළා. එක් අයෙක් තුවක්කුවක් පෙන්වමින් කැඩිච්ච දෙමළෙන් ඒ නියෝගය කළේ. කවුරුහරි කටහඬ පහත් කළොත් හෝ හඬක් නැඟුවේ නැත්නම් ඔහුට වෙඩි තබන බවට තර්ජනය කළා. මේ ආකාරයට මගීන්ට කෑගසන්නට සැලැස්වීමත් සමඟම මගීන්ගෙන් එක් අයෙකු බැගින් වරින් වර කැඳවා පසුපස කොටසට ගෙන ගියා.

මගීන්ව බලහත්කාරයෙන් කෑගැසීමෙන් ඇති වූ ඝෝෂාව නිසා මෙහෙම අරන් ගිය එක් එක් පුද්ගලයාට සිද්ද වෙන්නෙ මොකද්ද කියලා මම හෝ ඉදිරිපස කොටසේ හිටිය අනෙක් අය දැනගෙන හිටියේ නෑ. මේ ආකාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු පමණ මට කලින් පසුපස කොටසට කැඳවා ගෙන ගියා. බෝට්ටුව ළඟම වැටුණු සිරුරක් ගහගෙන යන හැටි මම හිටගෙන හිටිය තැනට පෙනුනා.

මගේ වාරය ආවාම මම පසුපස කොටසට ගියා. එතෙන්ට යනකොට මම දැක්කා හැමතැනම ලේ සහ කපලා දාපු මිනිස් සිරුරු කැබලි. ඊට පස්සේ මගේ ඔළුවට පහරක් වැදිලා මම වැටුණා. මාව ඇදගෙන ගිහින් මගේ ඔළුව මොකකින්හරි කැපුවා කියලා මට දැනුණා. මගේ බඩට සහ කකුල්වලට තවත් තුවාල කළා. මාව බෝට්ටුවේ පතුලේ පුවරු අතරට වැටුණා. මම මැරිලා වගේ පෙන්නලා එතන වැතිරුණා. තවත් සිරුරු මගේ මතට වැටෙන බව දැනුනා. පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ අඳෝනා මට ඇහුණා.

විනාඩි 45කට විතර පස්සෙ ෆයිබර් ග්ලාස් බෝට්ටුව පණ ගන්වලා එතනින් පිටත් වෙනවා මට ඇහුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වුුුණු පුද්ගලයන්ගෙන් එක් අයෙක්  නයිනතිව් දූපතේ නාවික කඳවුරේ දැක්ක නාවික හමුදා සෙබළෙක් බව මට අඳුනගන්න පුලුවන් වුණා."

ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාර

1985 මැයි 15 දින ශ්‍රී ලංකා නාවික හමුදව විසින් කුමුදිනී යාත්‍රාව තුළ දී මෙසේ දෙමළ සිවිල් වැසියන් කපාකොටා සමූහ ඝාතනය කිරීමේ සිදුවීම, ඊට පෙර දින එනම්, 1985 මැයි 14 දින එල් ටී ටී ඊ සංවිධානය විසින් අනුරාධපුරයේ දී සිංහල සිවිල් වැසියන් සමූහ ඝාතනය කිරීමේ සිදුවීම සිහිපත් කරමින්, සාධාරණීකරණය කිරීමට සිංහල බහුතරය උත්සාහ කරනු ඇත. මෙය එයට ප්‍රතිප්‍රහාරක් ලෙස හුවා දැක්වීම අපි මින් පෙර ඉතිහායේ දී ද අත්දැක ඇත්තෙමු.  මැයි 14 දින සිදුවීම තුළ ද ස්ථාන කිහිපයක දී එල් ටී ටී ඊ සංවිධානය විසින් නිරායුද සිංහල වැසියනට සිදු කළ වෙඩි තැබීම් දෙස බලනු වෙනුවට සිංහල බහුතරය විසින් බලනු ලබන්නේ ශ්‍රී මහා බෝධිය දෙස ය. එම බැලීම තුළ ද ඊනියා බෞද්ධ රාජ්‍යයක සංකේතයක් වෙත ප්‍රහාරය එල්ල කිරීමේ දේශපාලනික අර්ථය එම බහුතරය විසින් මගහැර යයි.

එල්ටීටීඊය විසින් සිදු කළ එම මැයි 14 ප්‍රහාරය, 1985 මැයි 12 දින වෙල්වැටිතුරෙයිහි දී ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ සිවිල් වැසියන් සමූහ ඝාතනය කිරීම හේතුකොට ගෙන සිදුකළ ප්‍රතිප්‍රහාරයක් බව ප්‍රකාශ කරනු ලැබේ. වැල්වෙටිතුරෙයි හෙවත් වැල්වායි (VVT) වටලන ලද ශ්‍රී ලංකා හමුදාව 1985.05.12 වන දින නිරායුද දෙමළ තරුණයන් 24 දෙනෙකු ප්‍රජා ශාලාවක සිරකර එම ගොඩනැගිල්ලට අත්බෝම්බයක් විසි කර පුපුරවා හැර එම තරුණයින් 24 දෙනාම ඝාතනය කළ අතර හින්දු දේවස්ථානයේ වතුර ටැංකිය අසලදී තවත් සිවිල් වැසියන් 12 දෙනෙක් ද එදිනම තවත් සිවිල් වැසියන් 34 දෙනෙක් ද වශයෙන් වැල්වෙටිතුරෙයිහි සිවිල් වැසියන් 70 දෙනෙකු ඝාතනය කරන ලදී.

එකී සමූහ ඝාතනයට හේතුව එල් ටී ටී ඊ ය විසින් බිම් බෝම්බ ප්‍රහාර 2 කින් වැල්වැටිතුරේ දී ශ්‍රී ලංකා රජයේ සොල්දාදුවන් 10 දෙනෙකු සහ නිලධාරියෙකු ඝාතනය කිරීම බව පැවසෙයි. එසේ මුත් ඔවුන් සන්නද්ධ හමුදා සෙබළුන් මිස නිරායුද සිවිල් වැසියන් නොවේ. එසේ තර්ක කරන්නේ නම් 1985 මැයි මස ආරම්භයේ පටන් ශ්‍රී ලංකා හමුදාව විසින් සැප්තැම්බර් මාසය දක්වා නිරායුද දෙමළ සිවිල් ගම් වැසියන් අමානුෂික ලෙස මරා දමමින් අඛණ්ඩ සමූහ ඝාතන මාලාවක් දියත් කර ඇත. එම සමූහ ඝාතන මාලාව ආරම්භ කරන ලද්දේ 1985.05.03 දින මහින්දපුර සහ දෙහිවත්ත ප්‍රදේශවලදී සිංහල මැර කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකා හමුදාව විසින් නිරායුද දෙමළ සිවිල් වැසියන් 50 දෙනෙකු ඝාතනය කිරීමෙනි.

ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාර හඳුනා ගැනීමට වෙර දරන්නේ නම් සමස්ත දෙමළ සන්නද්ධ අරගලය ප්‍රතිප්‍රහාරයක් ලෙස හඳුනාගත යුතුව ඇත. එම ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර තුළ සිදු වූ ඝාතනයන් සමාන තලයෙහි ලා සැලකිය නොහැක. තවද, ප්‍රමාණාත්මකව ගණන් බැලීමට වෙර දරන්නේ නම් එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කළ සිංහල සිවිල් වැසියන් සමූහ ඝාතනයට වඩා අතිශය වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ සිවිල් වැසියන් සමූහ ඝාතනය කළ බව පිළිගැනීමට අප විවෘත විය යුතු ය.

සිංහල සමාජයේ බහුතරය විසින් හඳුනාගනු ලබන්නේ නිරායුධ සිවිල් වැසියන් සමූහ ඝාතනය කිරීම, ඩොලර්ෆාම් සහ කෙන්ට්ෆාම් ගම්මානවලින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කළ බව ය. එහෙත් එම ගම්මාන ඊට පෙර ශ්‍රී ලංකා හමුදාව විසින් සමූහඝාතනය කළ දෙමළ ගම්වැසියන් පදිංචිව සිටි පාරම්පරික දෙමළ භූමීන් බව ද, දෙමළ ජනතාව සමූහ ඝාතනය කරමින් පලවා හැර, අවට දෙමළ ජනයා පෙළනු පිණිස සිංහල මැර කල්ලි සහ නිදහස් කළ සිරකරුවන් පදිංචි කළ ප්‍රදේශ බව ද අප අමතක නොකළ යුතු ය. එසේම නිරායුධ සිවිල් දෙමළ වැසියන් සමූහ ඝාතනය කිරීමේ ඉතිහාසය 50 දශකය තරම් ඈතට දිවෙන බව ද, රාජ්‍ය දෘෂ්ටිවාදයට අවනත සිංහල බහුතරය නිශ්ශබ්දතාවය තුළින් හෝ සහභාගීත්වය තුළින් දෙමළ විරෝධී රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට තම එකඟත්වය ප්‍රකාශ කර ඇති බව ද අප අමතක නොකළ යුතු ය.

මෙයින් කිසිදු නිරායුද සිවිල් මිනිස් ඝාතනයක් සාධාරණීකරනය කරනු නොලබන අතර, සත්‍යය සත්‍යය විලසට පිළිගෙන පීඩක රාජ්‍යයක ප්‍රබන්ධකරණයෙන් මිදීමට මෙයින් යෝජනා කරනු ලැබේ. ශ්‍රී ලංකා ‌රාජ්‍යය විසින් සිංහල ජනතාවට වසා දමන ලද රාජ්‍ය අපරාධයන් නිරාවරණය වීමේදී ඒවා අසත්‍ය පුවත් බවට බහුතර ජනතාව විසින් චෝදනා කරනු ලබන්නේ 'යුගයක රජයන මතය පාලක පන්තියේ මතය' බැවින් බව අවබෝධ කොටගත යුතු ය.  

- තක්ෂිලා ස්වර්ණමාලි


තහවුරු කරනු පිණිස සබැඳි


https://tamilnation.org/indictment/indict034.htm#jr

https://tamilgenocidememorial.org/wp-content/uploads/2022/09/Massacres-of-Tamils-1956-2008.pdf

https://www.tamilnet.com/art.html?artid=38259&catid=13

https://www.tamilnet.com/art.html?artid=8990&catid=79

https://telibrary.com/en/kumuthiniboatmassacre-15-05-1985/

https://tamilnation.org/indictment/indict033.htm

https://tamileelamarchive.com/view_article_details.php?id=655

https://www.tamilguardian.com/content/35-years-kumuthini-boat-massacre-sri-lankan-navy

https://www.tamilguardian.com/content/36-years-kumuthini-boat-massacre-sri-lankan-navy

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව