තෛයිට්ටි හමුදා විහාරය - සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍රමණයේ තවත් නිදසුනක්

 



මුල් ප්‍රකාශනය - නිවහල් වෙබ් අඩවිය

http://www.nivahal.com/2023/06/thaiyattiPeoplesprotest.html

උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් බෞද්ධ හමුදා විහාරස්ථාන ඉදිකිරීමේ දේශපාලන බල ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම උතුරේ සිදු කරමින් සිටී. උතුරේ දෙමළ ජනතාවත් දිගින් දිගටම එයට විරෝධය දක්වමින් සිටිති. එය හුදෙක් බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට එරෙහි හුදෙකලා විරෝධයක් ලෙස පටු අර්ථදැක්වීමක් දකුණ තුළ ගොඩනගනු ලැබුව ද, උතුර තම නොනවතින අරගලය තුළ දිගින් දිගටම නිශ්චිතව ප්‍රකාශ කරනු ලබන්නේ තමන් එරෙහි වන්නේ ශ්‍රී ලංකා වර්ගතාන්ත්‍රික රාජ්‍යයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍රමණවලට බවයි.

ජනතා විරෝධය නොතකමින් යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ තෛයට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් අලුතින් ඉදි කරන ලද තිස්ස විහාරස්ථානයට එරෙහි උද්ඝෝෂණ ද, අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් බාධාකිරීම් මධ්‍යයේ උතුරේ ජනතාව විසින් දිගින් දිගට සිදු කරමින් පවතී. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව විසින් තිස්ස විහාරස්ථානය ඉදිකර තිබෙන බවයි. මෙය රජයේ සැලසුම් සහගත උපක්‍රමයක් බවත්, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය විසින් නීති විරෝධී බෞද්ධ විහාරස්ථාන පිහිටුවා දෙමළ ජනතාවට එරෙහිව ක්‍රමානුකූල සංස්කෘතික සංහාරය දිගින් දිගටම සිදු කරගෙන යන බවත් විරෝධතාකරුවෝ ප්‍රකාශ කර සිටිති.


මේ සම්බන්ධව උතුරේ ජනතාව වෙනුවෙන් මල්වතු අස්ගිරි නාහිමියන් වෙත නීතිඥ සුගාෂ් කනගරත්නම් විසින් කරන ලද ඉල්ලීමෙහි සඳහන් වන්නේ, ‘අපි බුද්ධාගමට ගරු කරනවා. සිංහල ජනතාවට අපි ආදරෙයි. අපි විරුද්ධ වෙන්නේ බෞද්ධ ආක්‍රමණයට යි. අපි යාපනයේ නාග විහාරයට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ නැහැ. අපි නීති විරෝධී ආක්‍රමණවලට එරෙහිව සටන් කරනවා. එබැවින් අපගේ සාධාරණත්වය තේරුම් ගෙන මෙම නීති විරෝධී ආක්‍රමණවලට එරෙහිව සටන් කිරීමට අප හා එක්වන ලෙස ගෞරවනීය අස්ගිරි සහ මල්වතු පාර්ශවයෙන් අපි ඉල්ලා සිටිනවා.’ යනුවෙනි.


තෛයට්ටි විරෝධතාවයේ නිරත ජනතාව චෝදනා කරන්නේ දෙමළ පවුල් 15 කට අයත් පරප්පු 100 කට අධික (අක්කර 8 කට ආසන්න) භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව විසින් තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි. දෙමළ ජනතාවට අයත් මෙම පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසත්, අනවසරයෙන් ස්ථාපිත කර ඇති බෞද්ධ ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් බලකරමින්, සැලසුම්සහගත රාජ්‍ය ව්‍යාපෘතියක් ලෙස බලහත්කාරයෙන් සිදු කරන උතුරේ බෞද්ධකරණයට එරෙහිව ජනතාව විරෝධය දක්වා සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ එම්.ඒ.සුමන්තිරන් පවසන පරිදි තිස්ස විහාරස්ථානය ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට 2021 වසරේදී තෙලිප්පලෙයි ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේදී තිරණයක් ගෙන තිබේ. විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතිය හිමිව නොමැති බව උද්ඝෝෂණයේ යෙදී සිටින දෙමළ ජනයා ද සඳහන් කරයි.  

මෙම විහාරස්ථානය ස්ථාපිත කිරීමේ පුවත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ, ‘කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය අප්‍රියෙල් 27 දින පැවැත්වුණු බවත්, තිස්ස විහාරයේ විහාරාධිපති ගිංතොට නන්දාරාම හිමිපාණන්ගේ අනුශාසනා සහ මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොටගේ උපදෙස් මත හමුදා භටපිරිස් විසින් චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරන කරනු ලැබූ බවත්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස්හි කැපවීම හා උත්සාහය මත මෙම ස්තූපයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කරන ලද බවත්, උත්සව අවස්ථාවට මහා සංඝරත්නය, යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයන් සහ සැදැහැවත් බැතිමතුන් පිරිසක් ද සහභාගී වූ බවත්’ ය. මෙම හමුදා විහාරස්ථාන ඉදිකිරීමේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා, රජය විසින් සිංහල ඉතිහාස ප්‍රබන්ධය භාවිතා කරන අතර, සඟවන ලද පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත මුත් රාජ්‍යය විසින් වසා දමන ලද ඓතිහාසික පසුබිමක් ද මේ සියල්ලට පිටුපසින් පවතින බව අප අමතක නොකළ යුතු ය.

මැයි 3-5 විරෝධතාවය

තෛයට්ටි විහාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, එම පෞද්ගලික ඉඩම් නැවත හිමිකරුවන්ට පවරා දෙන ලෙසත් නීතිවිරෝධී බෞද්ධ විහාරස්ථානය ඉවත් කරන ලෙසත් බලකරමින් පවත්වන ජනතා උද්ඝෝෂණ මැයි 3 වෙනිදා සිට මැයි 5 වන දින දින දක්වා විහාරය අසල මුල් වරට සිදු කරන ලදී. එය මැයි 3 වන දින සවස ආරම්භ කරන ලදී. දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) විසින් කැඳවා තිබූ මෙම විරෝධතාවයට දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ නායක පී.අයිංගරනේෂන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

විහාරය ඉදිකිරීමට විරුද්ධව මෙසේ මැයි 3 වැනිදා සිට 5 වැනිදා දක්වා විරෝධතාවයක් දියත් කිරීමට දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු ජනතාව කටයුතු කළ අවස්ථාවේ පානීය ජලය හා බෙහෙත් ඇතුළු විරෝධතාකරුවන්ට අත්‍යාවශ්‍ය දෑ ලබාදීමට පොලිසිය විසින් අවහිරතා පනවා තිබූ අතර, එම බාධා ඉවත්කරවා ගන්නා ලද්දේ මානව හිමිකම් කොමිසමේ මැදිහත් වීමෙනි. මෙම ස්ථානය පරීක්ෂා කිරීමට මැයි 3 වැනිදා පැමිණි මල්ලාකම් මහේස්ත්‍රාත් ගයාත්‍රි සේලවන් විනිසුරුවරිය ප්‍රකාශ කොට තිබුනේ එතැන විරෝධතා පැවැත්වීමේ අයිතියක් මහජනතාවට තිබෙන බවයි.
 
මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත්තේ විහාර වන්දනාවට බාධා නොකරන ලෙස මිස උද්ඝෝෂණ නොකරන ලෙස නොවේ. එම නියෝගයෙහි සඳහන් වන්නේ ‘සාමය කඩ නොවන අයුරින් සියලු දෙනා කටයුතු කළ යුතුයි. විහාරස්ථානය ඉදිරිපිට හෝ මාර්ගය තුළ අවහිරතා ඇති නොකළ යුතුයි. විහාරස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාවට හෝ විහාරස්ථානයේ පැවැත්වෙන උත්සවයට බාධාවක් සිදු නොකළ යුතුයි.’ යනුවෙනි.

මෙම විරෝධතාවය හේතුකොටගෙන විහාරය හා ඒ අවට ආරක්ෂාව තර කර තිබුණු අතර ප්‍රදේශයට පොලිසිය සහ හමුදාව යොදවා තිබුණි. තෛයට්ටි නීතිවිරෝධී විහාරස්ථානයට එරෙහි විරෝධතා ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා ආරක්ෂක අංශ 3 වෙනිදා රාත්‍රියේ කටයුතු කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි කලබලකාරී තත්වයක් ඇති විය. උද්ඝෝෂණයට සහභාගී වූ බොහෝ දෙනෙක් ආරක්ෂක අංශ විසින් පලවා හරින ලදී. කෙසේ වෙතත්, දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ එන්. කාන්දීපන් යන මන්ත්‍රීවරුන් විරෝධතා භූමියෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

මැයි 4 වන දින අලුයම විරෝධතාවයට සහභාගී වූ මන්ත්‍රීවරුන් බැලීමට ගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු ද ඇතුළුව මෙම උද්ඝෝෂණයේ දී කාන්තාවක් ඇතුළු උද්ඝෝෂණකරුවන් 5 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව හේතු දැක්වීමට එම අවස්ථවේ දී පොලිසිය අසමත් විය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් 4 වන දින පෙරවරුවේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ, ‘අද උදෑසන අපගේ ආධාරකරුවන් තෛයට්ටි විහාරය අසලට රැස්වූ අවස්ථාවේදී කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එහෙත් අපි තවමත් මෙම ස්ථානයේ රැඳී සිටිනවා. විහාරස්ථාන පරිශ්‍රයට ඇතුළු වීමට පොලිසිය තහනම් කරල තියෙනවා. මාර්ගයට රැස්වන අයටත් දරුණු විදියට තර්ජනය කරලා පොලිසියෙන් පළවා හරිනවා. මෙම පොලිස් මර්දනය දැඩි ලෙස හෙළා දකිමින් අපි මෙම අරගලය ඉදිරියටම ගෙන යනවා. මේ විරෝධතාව ශක්තිමත් කිරීමට පෙළ ගැසෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’ යනුවෙනි.

යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් 4 දා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ වන විට කන්කසන්තුරේ තෛයට්ටි ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද විහාරයට එරෙහිව මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත වන බව එම රැස්වීමේදී නිවේදනය කළ ඒ.සුමන්දිරන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ ආරක්ෂක අංශ විසින් උද්ඝෝෂණකරුවන්ට බාධා කිරීමට විරෝධය පළ කරමින් සහ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කරමින් අනවසරයෙන් ඉදිකර ඇති විහාරයට විරෝධය පළ කරමින් තමන් ඇතුළු කණ්ඩායම ද එම ස්ථානය කරා යන බවයි. ඉන් අනතුරුව ඒ.සුමන්දිරන් සහ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.සිරිදරන්, ඩී.සිද්ධාර්ථන්, අංගජන් රාමනාදන් සහ උතුරු පළාත් කථානායක සී.වී.කේ.ශිවඥානම් යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පිටව ගියහ. යාපන දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පිටව ගිය මන්ත්‍රීවරු තෛයට්ටි විහාර ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ.සුමන්දිරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උද්ඝෝෂණයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් හමුවී එදින සාකච්ඡා කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.සිරිදරන්, ඩී.සිද්ධාර්ථන්, අංගජන් රාමනාදන්, උතුරු පළාත් කථානායක සී.වී.කේ.සිවඥානම්, උතුරු පළාත් හිටපු මන්ත්‍රී පී.කජදීපන් යන අය ද විහාරස්ථාන පරිශ්‍රයට පැමිණ විරෝධතාවයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කර විරෝධතාවයට සහයෝගය පළ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සහ මාවෙයි සේනාධිරාජා ද අනවසරයෙන් ඉදිකර ඇති විහාරස්ථානය නැරඹීමට පැමිණියහ.

මැයි 22 - 23 විරෝධතාවය

මැයි 22 සහ 23 යන දෙදින තුළ ද විහාරස්ථානය අසළ නැවත උද්ඝෝෂණ දියත් කිරීමට විරෝධතාකරුවන් කටයුතු කරන ලදී. එම උද්ඝෝෂණය සම්බන්ධව සංවිධායකයින් විසින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය නිවේදනය මෙසේ ය.

‘තෛයට්ටි ප්‍රදේශයේ ඇති අනවසර තිස්ස විහාරස්ථානය ඉවත් කරන ලෙසත් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින දෙමළ ජනතාවට හිමි පෞද්ගලික ඉඩම් නැවත ලබා දෙන ලෙසත් ඉල්ලා තෛයට්ටි නගරයට පෙළ ගැසෙන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

තෛයට්ටි ප්‍රදේශයේ අනවසරයෙන් පෞද්ගලික ඉඩම් ආක්‍රමණය කර තිස්ස විහාරස්ථානය ඉදිකිරීමට එරෙහිව සහ පෞද්ගලික ඉඩම් නීත්‍යනුකූල හිමිකරුවන්ට ලබා දෙන ලෙස බලකරමින් 22 වන දින පස්වරු 3.00 සිට පස්වරු 7.00 දක්වා උද්ඝෝෂණයක් පැවැත්විණි.

උද්ඝෝෂණය තහනම් කිරීමට වාරණ නියෝගයක් ඉල්ලා උසාවියට ගිය පොලිසිය උසාවියේදී අසත්‍ය ප්‍රකාශ කරමින් අධිකරණය නොමග යවා වාරණ නියෝගයක් ගැනීමට උත්සාහ කළේය. කෙසේ වෙතත්, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ විහාරස්ථානයේ වන්දනාවට බාධා නොකළ යුතු බවත්, විහාරස්ථානයට යන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා නොකළ යුතු බවත්, වන්දනාමාන කිරීමට පැමිණෙන ජනතාවට සහ විහාරස්ථානයේ සිදුවන උත්සව කටයුතුවලට බාධා සිදු නොකළ යුතු බවත්ය.

එම තීන්දුව විකෘති කරමින්, විරෝධතාකරුවන්ට තර්ජනය කරමින් විරෝධතාවයක් පැවැත්විය නොහැකි බවත් වහා විසිර යන ලෙසත් පවසමින් විරෝධතාකරුවන් පලවා හැරීමට පොලිසිය උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, අධිකරණ නියෝගයට අනුව විරෝධතා දැක්වීමේ පූර්ණ අයිතිය තමන්ට ඇති බව අවධාරණය කළ විරෝධතාකරුවෝ අවශ්‍ය නම් තමන් අත්අඩංගුවට ගත යුතු බව පවසමින් දිගින් දිගටම විරෝධතාවයේ නිරත වූහ.

අද විරෝධතාවය තෛයට්ටි විහාරය අසලදී පස්වරු 3 සිට 7 දක්වා පැවැත්වුණු අතර අධිකරණ නියෝගයට අනුව හෙට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා සාමකාමී විරෝධතාව ක්‍රියාත්මක වෙයි. බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍රමණවලට එරෙහිව සමස්ත දෙමළ ජාතියම ඒකරාශී වී විරෝධය පළ කළහොත් මෙවැනි ආක්‍රමණ පාලනය කිරීමටත්, ආක්‍රමණික ඉඩම් නිදහස් කිරීමටත්, හදිසි විහාර ස්ථාපිත කිරීම් නැවැත්වීමටත් හැකිය. මෙම අරගලයේදී හෙට (23) දින උදෑසන 9.00 ට තෛයිට්ටි විහාරස්ථානය අවටදී පැවැත්වෙන උද්ඝෝෂණයට එක්වන ලෙස සියලුම දෙමළ ජාතිකවාදීන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරමු.’

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ නායකත්වය යටතේ මැයි 22 සහ 23 යන දෙදින සිදු කළ විරෝධතා ව්‍යාපාරයේ දී, එයට එක්ව සිටි දෙමළ ජාතිකයන් 9 දෙනෙකු 23 වැනි අගහරුවාදා පලාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එසේ සිදු කර ඇත්තේ මහජන උද්ඝෝෂණයේ අයිතිය තහවුරු කරමින් අධිකරණය විසින් නිර්දේශය ලබා දී තිබිය දී ය. විරෝධතාවට එක්ව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ ඔසවාගෙන ගොස් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නිල ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවේ දී  කටයුතු කර තිබේ.

මැයි 22 වැනිදා දියත් කළ විරෝධතාවයට එක්ව සිටි නීතිඥ සුගාෂ් කනගරත්නම් චෝදනා කළේ සිංහල බෞද්ධ රාජ්‍යය දෙමළ ජනතාවගේ හැඟීම්වලට ගරු නොකරන බවයි. කනගරත්නම් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ, ‘ජනතාවගේ ඉඩම් ජනතාවට ලබා දෙන්න කියලා අරගල රැසක් අපි දිගින් දිගටම මෙහෙයවා තිබෙනවා. නමුත් අපේ ඉල්ලීම් නොසලකන සිංහල බෞද්ධ රජය, තමන්ගේ රාජ්‍ය මර්දනයේ කොටසක් ලෙස හමුදාව සහ පොලිසිය භාවිතා කර, දෙමළ ජනතාවගේ හැඟීම්වලට ගරු නොකර, අපේ ඉඩම් අල්ලාගෙන, අපේ මිනිස්සුන්ව ඉඩම්වලින් පන්නා දමා, අපේ කෝවිල් වනසා දමා, දෙමළ ජනතාවගේ ඉඩම්වල නීතිවිරෝධි ගොඩනැගිල්ලක් ඉදිකරලා එය විවෘත කිරීමට සූදානම් වෙනවා.” යනුවෙනි.

මෙම සිදුවීම සම්බන්ධව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් (TNPF) පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය

2023 මැයි 25 වන දින දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මහජන ඉඩම් අනවසරයෙන් අත්පත් කරගනිමින් දෙමළ ජනතාවගේ ඉඩම්වල ඉදිකළ තෛ‍ෙට්ටි විහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි.

‘යාපනයේ තෛයට්ටි ප්‍රදේශයේ පසුගිය 23 සහ 24 දෙදින තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කිරීමට කැමැතියි. යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප වතාවක්ම මේ පිළිබඳව මෙම සභාවට කරුණු ඉදිරිපත් කර ඇතත් අප සංවිධානයේ ස්ථාවරය මා මේ අවස්ථාවේ සටහන් කරනවා. විශේෂයෙන්ම අපේ පක්ෂයේ ලේකම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතාට ශ්‍රී ලංකා පොලිසිය විසින් අමානුෂිකව සහ නීති විරෝධී ලෙස පහරදුන් බව සහ එම ප්‍රදේශයේ සිදුවන සත්‍ය තත්ත්වය මෙහි සටහන් කිරීමට කැමතියි.

යාපනය දිස්ත්‍රික්කයේ තෛයට්ටි ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද බෞද්ධ විහාරස්ථානයක් පිළිබඳව ඔබ දන්නවා ඇති. එය නීතිවිරෝධී ලෙස ස්ථාපිත කර ඇති බව පැවසෙන්නේ, එය ආසන්න වශයෙන් පරප්පු 120 ක භූමි භාගයක එනම් පවුල් 15 ක නීත්‍යානුකූල බැඳීම් සහිත අක්කර 7 සිට 8 දක්වා වූ ඉඩමක පිහිටුවා ඇති සම්පූර්ණ නීති විරෝධී ඉදිකිරීමක් බැවින්. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින ආරක්ෂක කලාපය තුළ මෙම විහාරස්ථානය ඉදිකිරීම පිළිබඳව මා මුලින්ම දැනගත් විගස, 2021 වර්ෂයේ දී මෙම විහාරස්ථානයට මුල්ගල තැබුවේ වත්මන් ආරක්ෂක ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා යන ප්‍රවෘත්තියෙන් පසුව, මම සහ සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ද මේ පිළිබඳව අවධානය යොමු කළා. එකල සම්බන්ධීකරණ කමිටු සභාපති වූ පාලක පක්ෂය නියෝජනය කළ අංගජන් රාමනාදන් මහතා විසින් අප මෙම විරෝධතා වැඩපිළිවෙල ආරම්භ කිරීම වැළැක්වීමට එම අවස්ථාවේ දී උත්සාහ කළ නමුත්, අවසානයේ දී අනවසර ඉදිකිරීම් වැළැක්වීමට සුදුසු පියවර ගන්නා බවටත් පෞද්ගලික ඉඩම්වල ඇති විහාරස්ථාන සහ මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව පියවර ගන්නා බවටත් සහතික වුණා.

කෙසේ වුවද, එම නිර්දේශ නොතකා මෙම අනවසර විහාරස්ථානයේ ඉදිකිරීම් අවසන් කර තිබෙනවා. මෙම නීතිවිරෝධී ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව, ඉඩම් හිමිකරුවන් සහ අප සංවිධානයේ සාමාජිකයින් පසුගිය 23 වැනිදාත් විරෝධතාවක් ආරම්භ කළේ මේ පසුබිම තුළයි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතාට අමානුෂික ලෙස පහර දුන්නා. මේ පිළිබඳව පුවත්, පින්තූර සහ වීඩියෝ සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල පළවී තිබෙනවා.

ඒ සමගම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස ගජේන්ද්‍රන් මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස කිසිවකු පොලිසියට උපදෙස් දුන්නේ දැයි නොදන්නා නමුත් ඔහු වෙනුවට විරෝධතාවයේ නිරත වූ අප සංවිධානයේ නීතිඥවරයකු ඇතුළු 9 දෙනෙකු පොලිසිය විසින් එම ස්ථානයේ දී අත්අඩංගුවට ගත්තා. ඔවුන් ඊයේ වනතුරු රඳවාගෙන සිටි අතර පසුව අධිකරණය මගින් ඔවුන් මුදා හැර තිබෙනවා. මීට අමතරව පලාලි ප්‍රදේශය භාර පොලිස් නිලධාරියා විසින් මොවුන් අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අධිකරණය යාපනය මූලස්ථාන පොලිසියට නියෝග කර තිබෙනවා. මට ලැබුණු තහවුරු වූ තොරතුරු අනුව මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කළ පලාලි පොලිස් ස්ථානාධිපතිවරයාට විවිධ වංචා චෝදනා එල්ල වී ඇති අතර ඔහුට එරෙහිව මිනීමැරුම් නඩුවක් ද පවරා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ඇතුළු අප සංවිධානය සමඟ එක්ව සිටි 9 දෙනෙකුට නීති විරෝධී ලෙස පහරදී අත්අඩංගුවට ගැනීමේ පසුබිම මෙයයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ පොලිසිය මෙහිදී හැසිරී ඇති ආකාරයයි. පොලිසිය ක්‍රියා කරන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කිව්වත් ඇත්තටම මෙතන සිද්ධ වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අපරාධ නීති සංග්‍රහයේ අංක 106 වගන්තියට අනුව මහජන සාමයට බාධා විය හැකි ක්‍රියාකාරකම් තිබෙන බව පවසමින් ඔවුන් අපට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණා.

සාමයට කඩකිරීමට දායක වීමට මෙහි ඇත්තටම සිදු වුණේ කුමක්ද? ඇත්ත වශයෙන්ම පෞද්ගලික ඉඩමක සැබෑ භූමි ප්‍රමාණය උසාවියෙන් වසන් කරමින් ජනතාවගේ නීත්‍යනුකූල ඉඩම් අයිතිය මුළුමනින්ම උඩුයටිකුරු කරමින් අනවසරයෙන් ඉදිකරන ලද විහාරස්ථාන ආරක්ෂා කිරීමට වාරණ නියෝග ලබා ගත්තා. පොලිසිය නීති විරෝධී කටයුත්තක් ආරක්ෂා කළ අතර ඒ නීති විරෝධී ක්‍රියාවට විරුද්ධ වූ ජනතා නියෝජිතයින්ට සහ ජනතාවට පහර දීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් සිදු කරලා තියෙනවා. මෙහි ඇති උත්ප්‍රාසය නම් මෙතෙක් අපට සිදුවී ඇති අසාධාරණයන් පිළිබඳව සොයා බැලීමේදී මේ සභාවේ පාලක පාර්ශ්වය සහ ජනාධිපතිවරයා පවසන්නේ දෙමළ ජනතාව එවැනි පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් තවදුරටත් කියා සිටියේ මෙරට බහුතරයක් වන ප්‍රජාවක් ආණ්ඩු බලය තමන්ගේ කර ගෙන මේ රටේ සමාන අයිතිවාසිකම් සහ හිමිකම් ඇති අනෙකුත් ජනවර්ගවල ජනතාවගේ දේශපාලන අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි කර ඇති බව යි. නීතිවිරෝධී ක්‍රියාකාරකම් භාවිතා කරමින් දෙමළ ජනයාගේ උපන් බිමේ අයිතිය අහිමි කිරීම දිගින් දිගටම සිදු කරගෙන යන බව ද ඔහු තවදුරටත් පැවසීය.

පොලිසිය විසින් කරන ලද තදබල නීති විරෝධී ක්‍රියාවක් වන, පොලීසිය විසින් උසාවිය හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් පැහැදිලි සාක්ෂි සහිත බොහෝ කරුණු විනිසුරුවරයාට වසන් කරමින් මෙම උද්ඝෝෂණයට එරෙහි තහනම් නියෝගය ලබාගැනීම පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමු කර මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ප්‍රකාශ කරන ලදී.

තක්ෂිලා ස්වර්ණමාලි  
මැන්මදරාසා චන්ද්‍රශේගරන්


Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව