1983 කළු ජූලිය පිළිබඳ ජනප්‍රිය සිංහල ප්‍රබන්ධය බිඳ දැමීම

 අළු යට

කළු ජූලිය සහ කළු ජූලියට පෙර සිදු වූ ප්‍රචණ්ඩතා ආවර්ජනය



ලංකා ඉතිහාසයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සිද්ධි දාමය තුළ දකුණේ සිංහල සමාජය වැඩිවශයෙන්ම සවිඥානික වන කළු ජූලිය වනාහි 'උතුරේ හමුදා සෙබලුන් ඝාතනය කිරීමකට ප්‍රතික්‍රියාවක් ලෙස කෝපයට පත් වූ දකුණේ සිංහල මැර පිරිස් විසින් දෙමළ ජාතිකයන්ට විරුද්ධව එල්ල කළ ප්‍රහාරයක්' ලෙස හෝ 'සිංහල දෙමළ කෝලාහලයක්' ලෙස සිංහල සමාජය තුළ ප්‍රබන්ධකරණය වී ඇත. එහෙත් 83 කළු ජූලිය යනු එක් සතියක් තුළ ඇවිළී නිවී ගිය ප්‍රචණ්ඩත්වයක් නොවන අතර එය පනහේ දශකයේ සිට ඇරඹෙමින් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් අසූව දශකයේ මුල් භාගය  වනවිට තව තවත් වර්ධනය වූ, රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරනු ලැබූ දෙමළ විරෝධී වර්ගසංහාරක ප්‍රචණ්ඩත්වයකි.


සිංහල සමාජය තුළ ඉතිහාසය ලෙස ස්ථාපිතව ඇති ප්‍රබන්ධය බිඳ දමා අප සත්‍යයට අභිමුඛ විය යුතු අතර, දශක ගණනාවක් තිස්සේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් වර්ගතාන්ත්‍රික රාජ්‍ය පීඩනයට එරෙහිව සිදුකරනු කරනු ලබන නොනවතින සාමූහික අරගලයේ යුක්තිසහගත බව සිංහල සමාජය  විසින් පිළිගත යුතුව ඇත.


83 කළු ජූලිය යනු ඊට මාස කිහිපයකට පෙර සිට තීව්‍ර වෙමින් තිබුණු, දෙමළ ජනතාව වෙත රාජ්‍යය මගින් එල්ල කරන ලද දැවැන්ත මර්දනයක සහ ප්‍රචණ්ඩත්වයක දිගුවක් බව, දින සහ සිදුවීම් සහිතව පැහැදිලි කරන මෙම ලිපිය 2019 වසරේ  Tamil Guardian වෙබ් අඩවියට Brannavy Jeyasundaram විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.


කළු ජූලියේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය මුදා හැර, මෙම වසරට (2019) වසර 36ක් සපිරේ. සිංහල මැර කණ්ඩායම් විසින් රාජ්‍ය අනුග්‍රහය ලබමින් දියත් කළ මෙම ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය සතියක් පමණ පැවති අතර අවම වශයෙන් දෙමළ ජාතිකයන් 3000 ක් ඝාතනය කිරීම, දෙමළ ජාතිකයින්ගේ වෙළඳසැල් 5000 ක් විනාශ කර දැමීම සහ 150000 කට අධික දෙමළ ජනතාවක් අවතැන් වීම එම කළු ජූලියේ දී සිදුවිය. අවම වශයෙන් දෙමළ කාන්තාවන් 500ක් පමණ දූෂණයට ලක් කළ බවට සැලකෙන අතර බොහෝ පවුල් පණපිටින් පුළුස්සා දමන ලදී. එය විශාල වශයෙන් දෙමළ ජනයා සිය උපන් ගම් බිම් අතහැර යාමට බල කළ පළමු සිදුවීම විය; ගෝලීය දෙමළ ඩයස්පෝරාවකට මූලබීජ සපයමින් ලක්ෂ 5 ක් වූ දෙමළ ජනයා දිවයිනෙන් පලා ගියහ.

කළු ජූලියේ සිදුවූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය,  වර්ග සංහාරයක සියලුම ලක්ෂණ සහිත විය; දෙමළ ජනයා වෙන්කර හඳුනාගත හැකි ඡන්ද හිමි නාම ලේඛන අතට ගත් මැර කල්ලි ඔවුන් සිය ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් කළහ. අති භයංකර සිහිනයක් බඳු දෙමළ ජනයාට එරෙහි මෙම ව්‍යසනකාරී ප්‍රචණ්ඩත්වයේදී, එවැනි භීෂණයක් ඇති වීමේ අරමුණු, හේතු-ඵල සම්බන්ධයක් සහිත හුදු ප්‍රබන්ධයක් තුළට ලඝු කිරීම පුදුමයක්  නොවේ. මේ කතාන්දරය අප බොහෝ දෙනෙකුට හුරුපුරුදු ය; එනම්, 'එල්ටීටීඊය විසින් ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 13 දෙනෙකු මරා දැමීමෙන් පසු දා, සිංහල මැර කල්ලි කලහකාරී වූයේ, එම සිංහල මරණවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන් කෝපයෙන් වියරු වැටුණු බැවිනි' යන්නයි. කෙසේ වෙතත්, නොසලකාහරින ලද සත්‍යය නම්, සිංහල ජනයා වෙත එකී කොටි ප්‍රහාරය පිළිබඳ පුවත ළඟා වීමට පෙර සිටම දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය ආරම්භ වී තිබුණු බවයි.

කළු ජූලිය වනාහි දෙමළ ජනයාට එරෙහිව එක්වරම නැගී ඇවිළුණු ප්‍රචණ්ඩ ක්‍රියා දාමයක් නොවන බවත්, එය කල්තියා සැලසුම් කරන ලද්දක් බවත් මෙම සංහාරයට පෙර සිදුවීම්වලින් මනාව පැහැදිලි වේ. එය දෙමළ ජනතාවගේ ජීවිතය සහ පැවැත්ම සීමා කිරීම අරමුණු කරගත් අතිශයින් සතුරු සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පාදක කරගත් වර්ග සංහාරයකි. පහත දැක්වෙන්නේ කළු ජූලිය දක්වා දුර දිග ගිය ඊට කලින් වූ සිදුවීම් සහිත මාස සහ එම කාලවකවානුව තුළ දිවයිනේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය සඳහා රාජ්‍යය හිතාමතා දුන් විධාන සහ අනුමැතිය පිළිබඳ වාර්තාවකි. මෙම සටහන සම්පූර්ණ සිදුවීම් පෙළගැස්මක් නොවන අතර, එය දෙමළ ජනයාට එරෙහිව ක්‍රමානුකූලව වර්ධනය වූ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ ස්වභාවය ගෙන හැර දැක්වීමේ උත්සාහයක් බව අවධාරණය කිරීම වැදගත්ය.

1983 අප්‍රේල්

දෙමළ සිවිල් වැසියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සඳහා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) (1979) භාවිතා කිරීමට පටන් ගන්නා ලදී. ගාන්ධියම් ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයන් වන අරුලානන්දම් ඩේවිඩ් සහ වෛද්‍ය එස්. රාජසුන්දරම් අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවා තබා ගනිමින් දරුණු වධ හිංසාවලට ලක්කිරීම ඒ අතර කැපී පෙනෙන්නකි. අවසානයේ, කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරයේ රාජ්‍ය අනුමැතිය මත සිදු කළ, දෙමළ සිරකරුවන් සමූල ඝාතනයේදී වෛද්‍ය රාජසුන්දරම් ඝාතනයට ලක් විය.

තවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, යාපනයට ආසන්න ගුරුනගර් හමුදා කඳවුරේ රඳවා තබාගෙන සිටි තවත් දෙමළ ජාතිකයකු වූ කදිර්ගාමතම්බි නවරත්නරාජා අප්‍රේල් 10 වැනිදා අත්අඩංගුවේ දී මරණය පත්වීම පිළිබඳ පරීක්ෂණයේ දී ඔහුට තුවාල 35ක් සිදුවී ඇති බවට සාක්ෂි හමුවිය. ඝාතකයින්ගේ වරද තහවුරු කරන සාක්ෂි සහිත ලිපි ගොනු සොරකම් කිරීමට පොලිසිය උත්සාහ කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමෙන් පසු කරෙයිනගර්හි රත්නසිංහම් ශ්‍රී ස්කන්දරාජා ද හමුදා අත්අඩංගුවේ දී ඝාතනය කර ඇති බව තවත් මරණ පරීක්ෂණයකින් හෙළි විය.

1983 මැයි

මැයි 18 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වර්ජනය කරන ලෙස එල්ටීටීඊය විසින් ප්‍රසිද්ධ ඉල්ලීමක් කළ පසුව, වෙඩි තැබීමකින් එක් හමුදා කෝප්‍රල්වරයෙකු මිය ගියේය. පසුව එදිනම සෙබළුන් 600ක් පමණ රැගත් ගුවන් යානයක් යාපනයට ගොඩ බැස නගරය ගිනිබත් කරන ලදී. නිවාස, කඩසාප්පු සහ පොදු ආයතන හමුදාවේ කොල්ලකෑම්වලට ලක්වෙමින් අළු බවට පත් විය.

කොළඹ අධ්‍යාපන ආයතනවල සිටි දෙමළ සිසුන් වැඩිවැඩියෙන් වෙනස්කොට තැකීම්වලට, හිංසා පීඩාවන්ට සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින් සිටියහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් පිරිසක් දෙමළ සිසුන්ගේ කාමරවලට කඩාවැදී යකඩ මුගුරුවලින් හා පොලුවලින් පහරදී ඇති බව වාර්තා විය. ඒ සම්බන්ධව විශ්වවිද්‍යාල පරිපාලනයට පැමිණිලි කළද, ඔවුන් දෙමළ සිසුන්ගේ ගැටළු විසඳීමට කිසිදු අර්ථාන්විත ක්‍රියාමාර්ගයක් නොගත් අතර බොහෝ දෙමළ සිසුන් තම ආරක්ෂාවට එල්ල වූ තර්ජන හේතුකොට ගෙන අධ්‍යයන කටයුතු අත්හැර දැමූහ.

දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ තවත් අවස්ථාවක දී, වැල්වෙටිතුරෙයි සබාරත්නම් පලනිවේල් තම පවුලේ අයව දුම්රිය ස්ථානයට රැගෙන යාමෙන් පසු නගරයේ හමුදා කඳවුරට බලහත්කාරයෙන් ඇදගෙන යනු ලැබීය. පලනිවේල්ගේ ඥාතීන් බලා සිටිය දී, හමුදා ට්‍රක් රථයකින් ඔහුගේ සිරුර සමතලා කළ අතර, ඊට පෙර හමුදා නිලධාරීන් ඔහුට කිහිප විටක් වෙඩි තබා තිබුණි.

1983 ජූනි

ජූනි 1 වැනිදා දෙමළ සන්නද්ධ කණ්ඩායමක් විසින් වවුනියාවේදී එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙදෙනකු ඝාතනය කරන ලදී. එම ප්‍රහාරයෙන් පසු හමුදා සෙබළුන් විසින් ඉවක් බවක් නොමැතිව ගොඩනැගිලි ගිනි තැබූ අතර කිසිදු ප්‍රහාරයකට දායක නොවූ දෙමළ ජනයාට පහර දුන්හ.  හමුදා සෙබළුන් ගාන්ධියම් කාර්යාලවලට සහ ගොවිපලවලට ද පහර දුන් අතර, එහි පදිංචිව සිටි අනාථයන්ට පළා ගොස් සැඟවීමට සිදුවී ඇත. මෙම දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය විසින් උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කළ දෙමළ ජාතික මගීන්ට සහ දිවයින පුරා දෙමළ ජාතිකයින්ට අයත් වෙළඳසැල්වලට පහර දීමේ පෙළඹුම අවුළුවන ලදී.

මෙහිදී, රජය විසින් වහාම කරන ලද්දේ  15A හදිසි නීති රෙගුලාසි බලාත්මක කරමින්, අධිකරණ පරීක්ෂණයකින් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව මළ සිරුරු බැහැර කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවසර දෙමින් දෙමළ ජනයාට එරෙහි මිලිටරි ප්‍රචණ්ඩත්වයට අනුග්‍රහය ලබා දීමය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනට විදුලි පණිවුඩයක් යවමින් මෙසේ ප්‍රකාශ කළේය: “සාමාන්‍ය තත්වයන් යටතේ ත්‍රස්තවාදියෙකුට වෙඩි තැබුවහොත් ඔවුන්ට මරණ පරීක්ෂණයකට, රිමාන්ඩ් භාරයට පත්වීමට සහ වෙනත් බාධාවලට මුහුණ දීමට සිදුවන නිසා, හමුදා නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය අඩුවෙයි.” මෙම රෙගුලාසිය ක්‍රියාත්මක වූයේ ඉහත විස්තර කළ පරිදි යාපනයේ සහ කරෙයිනගර් ප්‍රදේශවල දෙමළ රැඳවියන් හමුදාව විසින් ඝාතනය කළ බවට අධිකරණ පරීක්ෂණවලින් හෙළි වූ වහාමය.

ජූනි මාසය පුරාම දිවයින පුරා සිදු වූයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය වැඩි වැඩියෙන් වර්ධනය වීම පමණි. දෙමළ ජනයා විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමින් සිංහල මැර කල්ලි විසින් දෙමළ නිවාස සහ දෙමළ ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කරන ලදී. හමුදාව විසින් යාපනයේ දී දෙමළ තරුණයන් කිහිප දෙනෙකු ඝාතනය කළ අතර ඔවුන්ගේ සිරුරු භාරදීම හමුදාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නව රෙගුලාසිය යටතේ මරණ පරීක්ෂණ පැවැත්වුණේ ද නැත.

ලන්ඩනයේ සිට ප්‍රකාශයට පත්වූ ටැමිල් ටයිම්ස් පුවත්පතේ ජූනි කලාපය වාර්තා කළ ආකාරයට, “මැයි 18 වැනිදායින් පසු රටේ කුමන හෝ ප්‍රදේශයක සිදුවූ දෙමළ ජනයාට එරෙහි පහර දීමකින් තොරව එක දවසක්වත් ගත වී නැත.”

1983 ජූලි

ජූලි 1දා, යාපනයේ සිට තොරතුරු වාර්තා කරමින්  මුද්‍රණය වූ ප්‍රධාන පුවත්පත් දෙක වන සැටඩේ රිවිව් සහ සුදන්දිරන් යන පුවත්පත්  රජය විසින් තහනම් කරන ලදී. එල්ල වූ දැඩි වාරණය හේතුවෙන් මෙතැන් සිට තොරතුරු වාර්තා නොවුණු අතර, තොරතුරු වාර්තා වූයේ ඩයස්පෝරාවේ මාධ්‍ය හරහා පමණි.

ජූලි මාසය පුරාම දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ධනය විය. 
අත්අඩංගුවේ සිටි යාපනයේ දෙමළ ගැහැනු ළමුන් තිදෙනෙකු හමුදාව විසින් පැහැරගෙන ගොස් දූෂණය කරන ලද බවත්, ඉන් එක් දැරියක් සියදිවි නසාගත් බවටත් පුවත් පැතිර ගියේය.

ඒ වන තෙක් දෙමළ විමුක්ති අරගලය විසින් ශ්‍රී ලංකා හමුදාවට එල්ල කළ ප්‍රබලම ප්‍රහාරය එල්ල වූයේ ඉන්පසුවයි. එනම්, ජුලි 23 වෙනිදා එල්ටීටීඊය විසින් සැඟවී සිට එල්ල කරන ලද ප්‍රහාරයකින් ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීම යි. අද කළු ජූලිය ලෙස හඳුන්වන,  දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය අනුග්‍රහය ලැබූ ප්‍රචණ්ඩත්වය, වර්ග සංහාරයේ උච්චතම අවස්ථාව කරා වැඩි කල් යන්නට මත්තෙන් ළඟා වූයේ ඉන්පසුවය.

රජයේ අනුග්‍රහය ලැබූ සිංහල මැර කල්ලි දිවයින පුරා සිටින දෙමළ ජනතාවට පහර දුන්නේ ඡන්ද හිමි නාම ලේඛන අතැතිව ඒ හරහා දෙමළ ජාතිකයන් හඳුනා ගනිමිනි. මෙකී දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය දිවයින පුරා ව්‍යාප්ත වූ බව බොහෝ විට ප්‍රකාශ නොවන්නකි. එම ප්‍රචණ්ඩ සිදුවීම් කොළඹට පමණක් සීමා නොවූ අතර, එහි බලපෑමට ලක් වූ සියලුම නගර සහ ගම්වල නිශ්චිත නම් තවමත් නොදන්නා නමුත්, දින හතක් පූරා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය දිවයින පුරා ව්‍යාප්ත වී ගියේය.

කළු ජූලියේ කෲර ප්‍රචණ්ඩත්වය, දිවි ගලවා ගත් දෙමළ ජනයාගේ සාමූහික මතකය තුළ සැඟවී පවතී. පලා යන දෙමළ පවුල් රැගත් වෑන් රථ ගිනිබත් කරන ලදී. රාජ්‍ය ආරක්ෂක අංශ නිහඬව බලා සිටියදී කෝපයට පත් මැර පිරිස් ජයග්‍රාහී ප්‍රීතියෙන් දෙමළ නිවෙස්වලට, ව්‍යාපාරවලට සහ සිරුරුවලට භූමිතෙල් වත් කළහ. දමිළ දරුවන් තාරවලින් දැවෙන ලෝහ බඳුන් තුළට විසි කළ බවට සාක්ෂි තිබේ. සිත් තදින් කම්පනය කරමින් තවමත් අමතක කළ නොහැකි එකී ප්‍රචණ්ඩත්වය නිරූපනය කරන ඡායාරූප අතරින් එකක, පහර කෑම්වලින් වැලකීමට සිය දෑතින් තම හිස බදා සිටින නිරුවත් කරනු ලැබූ දෙමළ මිනිසෙකු  ළඟ සිංහල මිනිසෙක් කැමරාවට මුහුණ දෙන්නේ සිනහසෙමිනි.

බොහෝ දෙනා වර්ගවාදී ප්‍රහාරවලට නිතර මුහුණ දෙමින් සිටියදී කළු ජූලියේ වර්ග සංහාරයේ ප්‍රමාණය හා බරපතල බව විසින් දෙමළ ජාතිය කම්පනයට පත් කරන ලදී. කළු ජූලිය විසින් දෙමළ ජනයා වෙත යළි හැරවිය නොහැකි ලක්ෂ්‍යයක් කරා යාමට සංඥාව නිකුත් කළ අතර, එය විසින් දෙමළ සන්නද්ධ අරගලයට පණ පොවමින් වසර 26 ක දිගු යුද්ධයක් ආරම්භ කළේය. රජය, තමන් සහ අනෙකුත් අපරාධකරුවන් වගඋත්තරදායකත්වයට යටත් කරනු වෙනුවට, ස්වයං පාලනයක් සහ වෙනම රාජ්‍යයක් සඳහා වූ දෙමළ ඉල්ලීම් නීති විරෝධී කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය. ජුලි 30දා ලන්ඩන් ටයිම්ස් මෙසේ ලිවීය: ”හමුදාව විසින් දෙමළ ජනයාට එරෙහිව බරපතළ  අපරාධ සිදු කර ඇති බව සාක්ෂි සහිතව ඉදිරිපත් කරන විට, රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ එය ගණන් නොගෙන මුළුමනින් නොසලකා හැරීමේ ප්‍රතිපත්තියකිනි”.

මෙකී දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්ව ක්‍රියාදාමයෙන් පසු රාජ්‍යය විසින් දැනුවත්ව හිතාමතා දෙමළ ජනතාව මත එල්ල කළ ප්‍රචණ්ඩත්වය වඩා දරුණු තලයකට රැගෙන යන ලදී. සංස්ථාපිත වර්ගවාදය හරහා සිදුවන වෙනස් කොට සැලකීම්, ප්‍රචණ්ඩත්වය, සහ දණ්ඩමුක්තිය හේතුවෙන් පරීක්ෂණයකින් තොරව දෙමළ මළ සිරුරු වළ දැමීමට හැකි වීම වැනි දේ වඩාත් නරක අතට හැරුණු අතර එයින් සිදුවූයේ සටන්කාමී ව්‍යාපාරයකට පුළුල්ව ව්‍යාප්ත වීම සඳහා සහයෝගය ලැබීමයි. එනම් වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සටනයි. දශක තුනකට ආසන්න කාලයක් පැවති මෙම සටන 2009 දී දෙමළ ජනතාවට එරෙහිව රාජ්‍ය අනුග්‍රහය ලත් තවත් වර්ග සංහාරයකින් ඛේදජනක ලෙස අවසන් විය.

අපගේ ඉතිහාසය මෙසේ  හෙළිදරව් කිරීමෙන්, අපගේ සත්‍යයන් ආරක්ෂා කර ගැනීමට සහ අපගේ අරගලය වඩාත් සමීපව තේරුම් ගැනීමට අපට හැකියාව ලැබෙයි.  
Noolaham.net සහ Sangam.org හි ඉතා සවිස්තර ලේඛනාගාරයක් නොමැති වූවානම් මෙම කාර්යය කළ නොහැකි වනු ඇත. ඒ සඳහා අපි ඔවුන්ට අතිශයින් කෘතඥපූර්වක වන්නෙමු.


තක්ෂිලා ස්වර්ණමාලි
ස්තුතිය - කත්‍යානා අමරසිංහ ට


https://www.tamilguardian.com/content/beneath-ashes-remembering-black-july-and-violence-%C2%A0

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව