ගුරුනගර් දේවස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයේ 29 වෙනි අනුස්මරණය නිමිත්තෙනි

දකුණ එරෙහි විය යුත්තේ පාස්කු දින ප්‍රහාරයට පමණ ද?


යාච්ඥා කරමින් සිටි සිවිල් ජනතාව ඉලක්කකොට, යාපනයේ ගුරුනගර් කතෝලික දේවස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මෙම නොවැම්බර් මස 13 වන දිනට වසර 29 ක් සපිරෙයි.


1993 නොවැම්බර් 13 වන දින උදෑසන 7.30 ට පමණ යාච්ඥා කිරීම සඳහා ජනතාව රැස්ව සිටින අවස්ථාවක දී යාපනයේ ශාන්ත ජේම්ස් දේවස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෝම්බ දෙකක් හෙලන ලදී. එම ප්‍රහාරයෙන් දේවස්ථානය සහ ඒ අසල පිහිටි ළදරු පාසලක්, කඩ සාප්පු දෙකක් සහ අවට නිවාස දහයක් ද විනාශ වූ අතර, මේරි ජෙයසීලි තාසියස් (50), ඇන්ටන් අංචලා (40), කුරෝස් අකිනස් 60), ජෝන්ලූත්තු සේවියර් (45), ආරෝකිනාතර් සිල්වන් සජීවන් (18), ඇන්ටන් පුස්පලීල (41), මේරි සින්තුයා මදුරනායකම් (2 ½),  සිංගරාසා ජුජින් කමලිත්ත (15), කබීරියල් ඇන්ටන් (48), අක්කිනෙස් කුරුසුපිල්ලේ (80), මේරි වෙන්නිලා අන්තෝනිපිල්ලේ  (27), සිංගරායර් ජානි කනෝජි (08) යන අය ඝාතනයට ලක් වූ අතර 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූහ.

අධික කිතුණු ජනගහනයක් වාසය කරන ගුරුනගර්හි වෙරළ තීරයේ පිහිටි ශාන්ත ජේම්ස් දේවස්ථානය 1861 දී ඉදිකරන ලද ඓතිහාසික ගොඩනැගිල්ලක් වන අතර ප්‍රහාරයෙන් එයට දැඩි අලාබහානි සිදු විය.  ශාන්ත ජේම්ස් යනු යාපනයේ විශාලතම සහ පැරණිතම රෝමානු කතෝලික දේවස්ථානවලින් එකකි.

එදිනම සවස ශ්‍රී ලංකා සුපර්සොනික් බෝම්බ ප්‍රහාරකයින් කොකුවිල් නාන්තවිල් අම්මාන් කෝවිල ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ නමුත් එම බෝම්බ කෝවිලෙහි පසුපස ඉඩමකට වැටී ඇති අතර කෝවිලට සිදුවීමට නියමිතව තිබූ හානිය වැළකුණු නමුත් අවට නිවාස හයකට හානි සිදු වී පුද්ගලයින් කිහිප දෙනක් තුවාල ලැබූහ. නොවැම්බර් 14 වැනිදා සවස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වරනි හි වයිරවර් කෝවිලට ද ප්‍රහාරයක් එල්ල කළේය. එයින් කෝවිලට දැඩි අලාබහානි සිදු වී පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර අවට නිවාස රැසකට හානි සිදුවිය. එයට ආසන්න දෙසැම්බර් 30 දින සවස ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව චාවකච්චේරි නගර මධ්‍යයේ පිහිටි දකුණු ඉන්දියානු දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළේය.

1993 නොවැම්බර් 13 වන දින ගුරුනගර් දේවස්ථානයට එල්ල කළ හමුදා ප්‍රහාරයෙන් පසුව, එම ප්‍රහාරය ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරේ සිවිල් වැසියනට අතිශය දැනුවත්ව ඉලක්කකොට එල්ල කරනු ලබන ප්‍රහාරයන් පිළිබඳව 1993 නොවැම්බර් 17 වන දින ඩී.ජේ. අම්බලවානර් - තෝමස් සවුන්ද්‍රනායගම් සහ නල්ලෙයි තිරු සම්බන්ධර් යන පූජකතුමන්ලා සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශයේ මෙසේ සඳහන් ‌වෙයි.

''හින්දු, ක්‍රිස්තියානී සහ කතෝලික ආගම්වලට අයත් උතුරේ ආගමික නායකයින් වන අපි, දෙමළ ජනතාවගෙන් පළිගැනීමේ සහ රාජ්‍ය ත්‍රස්තවාදයේ එකම චේතනාවෙන් මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රියා කලාපයට දැඩි විරෝධය පළ කර සිටිමු. පසුගිය පුනරීන් මෙහෙයුම්වලින් අනතුරුව, ගුවන් හමුදාව සිය සුපර්සොනික් බෝම්බ හෙලන යානා යොදාගෙන යාපනය ලේකම් කාර්යාලයට බෝම්බ හෙලීම සහ යාපනයේ ප්‍රධාන වීදියේ පිහිටි ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සිදු කළ අතර යාපනය මහ රෝහල අවට ආරක්‍ෂිත කලාපය තුළට බෝම්බ හෙළා රෝහලට හානි කරමින් රෝගීන් සහ මහජනතාව භීතියට පත් කරන ලදී. කිලිනොච්චි සහ මුලතිව් රෝහල්වලට ද ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවට අපට වාර්තා වී තිබේ. චාවකච්චේරියේ වෙළෙඳ පොළ ද බෝම්බ දමා විනාශ කර ඇත. මෙම සියලු ස්ථාන, පූජනීය නමස්කාරය සහ පොදු සේවාවන් සඳහා පමණක් භාවිතා කරන ස්ථාන වන අතර ඒවා ගුවන් හමුදා ප්‍රහාරක ඉලක්ක වීම සම්බන්ධව, ශ්‍රී ලංකා රජයට අහිංසක ලෙස පෙනී සිටිමින් මගහැර යා නොහැක. මෙම සිදුවීම් අහඹු සහ කලාතුරකින් සිදුවන සිදුවීම් නොවන අතර, ඒවා දෙමළ ජනතාවට එරෙහි රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් බව අපට නිගමනය කළ හැකි තරමට මෑත අතීතයේ නිතර නිතර නැවත නැවත සිදු වී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව උතුරේ සිදු කළ ගුවන් ප්‍රහාර පිළිබඳ සමීප සංඛ්‍යා ලේඛන අධ්‍යයනයකින් පෙනී යන්නේ එම වැටලීම්වලට ගොදුරු වූවන් සෑම විටම පාහේ අහිංසක අසරණ සිවිල් වැසියන් වූ බව ය. තත්වය මෙසේ තිබියදී මෙය සංවිධානාත්මක රාජ්‍ය ත්‍රස්තවාදය යැයි නිගමනය කිරීම කිසිවකුටත් වැළැක්විය නොහැක. ශ්‍රී ලංකා රාජ්‍යය විසින් ප්‍රදර්ශනය කරන ආකාරයට, අහිංසක සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීමෙන් ගුවන් හමුදාවකට ගෞරවයක් ගෙන දිය හැකිද යන්න අපි ප්‍රශ්න කර සිටිමු. අප රජයෙන් ඉල්ලා සිටින්නේ ගුවන් හමුදාව පාලනය කරන ලෙසත් එය රාජ්‍ය ත්‍රස්තවාදයේ මෙවලමක් වීමට ඉඩ නොදෙන ලෙසත්ය. අපගේ අභිලාෂය සාමය මෙන්ම සාධාරණ සාමයයි.'' 

ශ්‍රී ලංකා රාජ්‍යය විසින් දෙමළ විමුක්ති අරගලයට එරෙහිව ගෙනගිය යුද ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාසල්, පූජනීය ස්ථාන, රෝහල්, පොදු ස්ථාන ඇතුළු දෙමළ ආරක්‍ෂිත කලාප රාශියකට ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් දෙමළ සිවිල් වැසියන් අධික සංඛ්‍යාවක් මරා දමන ලදී.


North-East Secretariat On Human Rights විසින් ප්‍රකාශිත Massacres of Tamils 1956 - 2008 කෘතිය සහ Tamilnation.org වෙබ් අඩවිය ඇසුරින්
- තක්ෂිලා ස්වර්ණමාලි

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව