සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලන ඛේදවාචකය

 සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලන ඛේදවාචකයට

49 වසරක් ගතවීම නිමිත්තෙනි


1974 ජනවාරි 3 වෙනි දින සිට සතියක් පුරා පැවති සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනය වන 1974 ජනවාරි 10 වන දින ශ්‍රී ලංකා පොලිසිය විසින් සම්මේලනයට පහර දීමේ ඛේදවාචකය සිහිපත් කිරීම සඳහා යාපනය වීරසිංහම් ශාලාව අසළ ඉදිකර තිබෙන ස්මාරකය අබියස, එම ප්‍රහාරයෙන් ඝාතනය කරන ලද දෙමළ ජනතාව වසරක් පාසා අනුස්මරණය කරනු ලබයි. ශ්‍රී ලංකා වර්ගතාන්ත්‍රික රාජ්‍යය විසින් සිදු කරන ලද දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයන් සිංහල සමාජය විසින් යළි යළි ආවර්ජනය කරමින් විරෝධය දැක්වීමේ අවශ්‍යතාව වනාහි, අවසන් නොවූ දෙමළ ජාතික අරගලයේ යුක්තිසහගත දේශපාලන අභිලාෂයන් අවම වශයෙන් හෝ ඉටුවන තෙක් අහෝසි නොවන්නකි. ඉන්මතු ද එකී මතකයන් සිංහල සමාජයේ අනාගත පරම්පරාවන්ට පවරා දිය යුතුව ඇත්තේ ස්වයං නීර්ණ අයිතිය සඳහා වූ දෙමළ ජාතික අරගලය යුක්තිසහගත බව සම්ප්‍රේෂණය කළයුතු බැවිනි. 

සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය යාපනයේ පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කළ ද, සම්මේලනය යාපනයේ පැවැත්වීම සම්බන්ධව විරෝධය පෑ සිරිමා බණ්ඩාරනායක රජය විසින් එය කොළඹ පවත්වන ලෙස සංවිධායක මණ්ඩලයට බල කරන ලදී. කොළඹ දී මෙන්ම යාපනයේ දී ද, යාපනයේ නගරාධිපතිවරයා හරහා රජය විසින් සංවිධායකයින්ට දිගින් දිගටම බාධා කරන ලදී. සම්මන්ත්‍රණය සඳහා එළිමහන් වේදිකා ඉදිකිරීමට අවසර දීම අවසන් මොහොත දක්වාම අත්හිටුවන ලද අතර වෙනත් රටවලින් සමුලුව සඳහා යාපනයට යාමට අවශ්‍ය වූ බොහෝ පර්යේෂකයන්ගේ වීසා ප්‍රතික්ෂේප කරන ලදී. එහෙත් ශ්‍රී ලංකා රජය විසින් කළ බාධා නොතකමින් සමුළුව යාපනයේ ම පැවැත්වීමට සංවිධායකයෝ සමත් වූහ. සම්මේලනයේ සංවිධායකයිනට දෙමළ ජනතාව දක්වූ දැඩි සහයෝගය අබියස සීමිත පර්යේෂකයන් පිරිසකට වීසා ලබා දීම කරා පසුබැසීමට ශ්‍රී ලංකා රජයට සිදු විය. 

සමුළුව යාපනයේ පැවැත්වීමට එකඟ නොවූ සම්මන්ත්‍රණ සංවිධායක කමිටුවේ සභාපති තම්බයියා සිය තනතුරෙන් ඉල්ලා අස්වුණු අතර මහාචාර්ය විද්‍යානන්දන් විසින් එම තනතුරෙහි වගකීම භාරගන්නා ලදී. බාධක මධ්‍යයේ 1974  ජනවාරි 3 වැනිදා සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය යාපනයේ දී ආරම්භ විය. දහස් ගණනින් දෙමළ ජනයා සමුළුවට සහභාගි වීමට යාපනයට ඇදී එන්නට වූහ. මින් පෙර කිසිදු ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සමුළුවක් සඳහා නොපැවැති උනන්දුවකින් ජනතාව මෙයට සහභාගී වූ අතර සමුළුව දැවැන්ත ආකාරයෙන් පවත්වන ලදී. සමුළුව පැවැත්වෙන දින කිහිපය පුරාවටම යාපනය උත්සවශ්‍රීයෙන් යුක්ත විය. සියලු මාවත් සාම්ප්‍රදායික දෙමළ සැරසිලිවලින් අලංකාර කර තිබණු අතර ජනතාව ප්‍රබෝධමත්ව සිටියහ.

මෙම සම්මේලනය යාපනයේ වීරසිංහම් ශාලාවේ දී පැවැත්වුණු අතර සතියක් මුළුල්ලේ ලොව පුරා දෙමළ විද්වතුන් එහිදී තම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළහ. සම්මේලනයේ සමාප්ති දිනය වන ජනවාරි 10 දිනයේ දී, දේශනවලට මහජනතාවට සවන් දීමට අවස්ථව ලබාදීම සඳහා ද සංස්කෘතික වැඩසටහන්වලට සහභාගිවූවන්ට ත්‍යාග බෙදාදීම සඳහා ද සංවිධායකයින් විසින් මහජන රැස්වීමක් සංවිධානය කර තිබුණි.  මේ සඳහා වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදි කළ දැවැන්ත එළිමහන් වේදිකාව අබියස පනස් දහසකට අධික පිරිසක් රැස්ව සිටි අතර එළිමහන් රැස්වීම් භූමිය පිරී ඉතිරී ගොස් ජන ගඟ මාර්ග දක්වා ද පැතිරුණි.

දෙස් විදෙස් දෙමළ විද්වතුන්ගේ දායකත්වයෙන් සතියක් පුරා පැවති සිව්වැනි දෙමළ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ අවසන් දිනයේ සමුළුවේ අවසාන අංගය වූයේ දෙමළ භාෂාවේ ශ්‍රේෂ්ඨත්වය සහ ඒ මත පදනම් වූ සංස්කෘතිය පිළිබඳව දෙමළ භාෂා විශාරධයන් විසින් කරනු ලබන දේශනයන් ය. ඉන්දියාවේ සිට පැමිණි කීර්තිමත් දෙමළ විද්වතෙකුවූ තමිල්නාඩුවේ මහාචාර්ය නයිනා මොහොමඩ් විසින් සමුලුවේ අවසන් දේශනය පවත්වමින් සිටිය දී, යාපනයේ සහකාර පොලිස් අධිකාරි එස්. කේ. චන්ද්‍රසේකර ගේ නායකත්වයෙන් යුත්, රයිෆල් - කඳුළු ගෑස් - බැටන් පොලු - වේවැල්පළිහ වලින් සන්නද්ධ හතළිහකට අධික පොලිස් භට කණ්ඩායමක් ජීප්රථ සහ ට්‍රක්රථවලින් සම්මේලන භූමියට කඩාවැදී ජනතාවට රැස්වීම් භූමියෙන් ඉවත් වන ලෙස නියෝග කරමින් රැස්ව සිටි ජනතාවට පහර දෙන්නට වූහ. වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකර තිබු එළිමහන් වේදිකාව අබියස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් වෙත ඔවුහු බැටන් පොලුවලින්, රයිෆල් කඳන් වලින්, කදුළු ගෑස්වලින් ප්‍රහාර එල්ල කරමින් වෙඩි තබන්නට වූහ. ප්‍රහාරයෙන් ගැලවීම පිණිස, ජනයා තෙරපෙමින් ද එකිනෙකාට උපකාර කරගනිමින් ද විවිධ දෙසට දිව යන්නට වූ අතර සමහරෙක් දිව ගොස් යාපන කොටුව පසෙක වූ දිය අගලට පැන්නහ.

තරුණයන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන් සිටින දෙසට සහ පොලිස් රථ දෙසට බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරමින් පොලිස් ප්‍රහාරයට එරෙහිව නැගී සිටි අතර වයෝවෘද්ධ මිනිසුන් බෝතල් සහ ගල් එකතු කර පහර දෙන තරුණයින් අතට ලබා දෙමින් සහයෝගය දැක්වූ ආකාරය, එදින සිදුවීමට මුහුණදුන් තවමත් ජීවත් වන්නන් විසින් සංවේදීව සිහිපත් කරයි.

අහස දෙසට තැබූ වෙඩි වැදීමෙන් ගිනිගත් විදුලි රැහැන්, ප්‍රහාරයෙන් බේරීමට පලා යන ජනතාව මතට කඩා වැටී කිහිප දෙනෙක් එතැනම ඝාතනයට ලක් වූහ. වේළුපිල්ලේ කේසවරාජන් (15) පරම්සෝති සරවනපවන් (26) වෛද්‍යනාදන් යෝගනාදන් (32) ජෝන් පිදාලිස් සික්මැරින්හම් (52) පුලේන්ද්‍රන් අරුලප්පු (53) රාසදුරෙයි සිවානන්දම් (21) රාජන් දේවරත්නම් (26) සින්නතුරෙයි පොන්නතුරෙයි (56) සින්නතම්බි නන්දකුමාර් (14) ඇතුළු 11 දෙනෙකු මෙම ඛේදවාදකයෙන් ඝාතනය කරන ලද අතර 50 කට අධික සංඛ්‍යාවකට බරපතල තුවාල සිදුකරන ලදී. එමෙන්ම විශාල දේපල හානි ද සිදුකරන ලදී.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඔස්වල්ඩ් ලෙස්ලි ද ක්‍රෙස්ටර් ගේ ප්‍රධානත්වයෙන් යුත්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී මානික්කවාසගර් සහ යාපනයේ හිටපු අගරදගුරු සබාපති කුලේන්ද්‍රන් සාමාජිකත්වය දැරූ  ත්‍රිපුද්ගල කොමිසම විසින්, 1974 පෙබරවාරි 18 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද, 1974 ජනවාරි 10 ඛේදවාචකය පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෙසේ සඳහන් වෙයි.

"අපට නොවැළැක්විය හැකි නිගමනය නම්, මෙම රාත්‍රියේ (1974 ජනවාරි 10) නිරායුධ පුරවැසියන්ට ප්‍රචණ්ඩකාරී සහ අනවශ්‍ය ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිසිය වැරදිකරු වූ බවයි. ඉතා දුෂ්කර අවස්ථාවල දී පවා කල්පනාකාරීව කටයතු කිරීමට බැඳී සිටින සිවිල් පොලිස් බලකායකින් අපේක්ෂා කෙරෙන නිවැරදි විනිශ්චයකට එළඹීමේ හැකියාව ඔවුන් සතුව නොතිබීම අපේ බලවත් කනස්සල්ලට හේතු වෙයි.

එදින කායික හානි, දේපල හානි සහ ජීවිත හානි සිදුවූයේ, පොලිස් නිලධාරියකු විසින් ගන්නා ලද මුළුමනින්ම වැරදි සහගත සහ අමනෝඥ තීරණයකින් දියත්  වුනු සිද්ධි දාමයකට අහිංසකයන් බිලි වීමෙනි. අනාරක්ෂිත සහ අහිංසක පුරවැසියන්ට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරය අපට කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක."

විමර්ශන කමිටු වාර්තාව එසේ වෙද්දී ශ්‍රී ලංකා රජය විසින් සහකාර පොලිස් අධිකාරි එස්. කේ චන්ද්‍රසේකර ඇතුළුව මෙම සිද්ධියට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දෙන ලදී. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී යාපන නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමට සහ සිංහල අධිපතිවාදී රාජ්‍ය පීඩනයට එරෙහි සන්නද්ධ අරගලය වෙත දෙමළ තරුණයින් තව තවත් නැඹුරු වීමට මෙම දෙමළ පර්යේෂණ සම්මේලන ඛේදවාචකය ද හේතුවිය.


- තක්ෂිලා ස්වර්ණමාලි


තොරතුරු මූලාශ්‍ර - North-East Secretariat On Human Rights විසින් ප්‍රකාශිත Massacres of Tamils 1956 - 2008 කෘතිය, Tamil Nation වෙබ් අඩවිය සහ Tamil Guardian වෙබ් අඩවිය








Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව