වඩ්ඩක්කන්ඩල් සමූහ ඝාතනය

 


1950 දශකයේ පටන් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ සිදු කළ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයන්ට රාජ්‍ය ආරක්ෂක අංශ දැක්වූ දායකත්වය සේ ම, 1970 දශකයේ සිට 2009 වර්ෂය දක්වා වසර 35 ක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා හමුදාව, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු රාජ්‍ය ආරක්ෂ අංශවල සෘජු මැදිහත් වීමෙන් නිරායුධ දෙමළ සිවිල් වැසියන් අමානුෂික ලෙස සමූහ ඝාතනය කිරීමේ ඉතිහාසය, 'ශ්‍රී ලංකාවේ යුද්ධය සහ රණවිරුවන්' පිළිබඳ දකුණේ ප්‍රබන්ධය බිඳ දමමින් සිංහල සමාජයට සිංහල බසින් තව තවත් නිරාවරණය කළ යුතුව ඇති අතර, ඉන්දීය සාම සාධක හමුදාව විසින් සිදු කළ සමූහ ඝාතනයන් පහළොවක් පමණ වූ සංඛ්‍යාව ද ඇතුළුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් නිරායුධ දෙමළ සිවිල් වැසියන් සමූහ ඝාතනය කිරීමේ සිදුවීම් 200 කට ආසන්න සංඛ්‍යාවක් විශ්වසනීය සාක්ෂි සහිතව උතුරු නැගෙනහිරින් වාර්තා වී ඇති බව සිහිපත් කර සිටිමු. වඩ්ඩක්කන්ඩල් සමූහ ඝාතනය යනු ඒ අතරින් එකක් පමණි. වඩ්ඩක්කන්ඩල් විද්‍යාලයේ දී මෙම ඛේදවාචකය අද දක්වා අනුස්මරණය කරනු ලබන අතර, දෙමළ වීම නිසා සිදු කළ සමූහ ඝාතනයන් පිළිබඳ සාමූහික මතකයන් තුළ තවමත් ජීවත් වන දෙමළ ජනතාව සිදු කරන තම ආදරණීයයන්ගේ අනුස්මරණයන්හි දේශපාලනික අර්ථයෙහි නිරවද්‍යභාවය පිළිබඳ සිංහල සමාජය අඛණ්ඩ අවධානය යොමු කළ යුතුව ඇත.  

වඩ්ඩක්කන්ඩල් යනු මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි, එවකට කෘෂිකාර්මික ගම්මානයකි. 1985 ජනවාරි 30 වන දින අලුයම 5.00 ට පමණ තල්ලඩි හමුදා කඳවුරෙන් පිටත් වූ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 200 ක් පමණ කඩ්ඩුක්කරෛ වැව ඔස්සේ වඩ්ඩක්කන්ඩල් වෙත පැමිණියහ. පෙරවරු 6.00 ට පමණ ඔවුන් ගම්වැසියන්ගේ නිවෙස්වලට කඩාවැදී ඉවක්බවක් නැතිව වෙඩි තැබීමට ද පිහිවලින් ඇනීමට ද පහර දීමට ද පටන් ගත්හ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් ද ප්‍රදේශයට ඇතුළු වී ප්‍රහාරයට එක් විය.

එක් හමුදා කණ්ඩායමක් වඩ්ඩක්කන්ඩල් දෙමළ මිශ්‍ර පාසලට කඩාවැදී විදුහල්පතිවරයාට, ගුරුවරුන්ට සහ සිසුන්ට පහර දුන්හ. පාසලට එල්ල කළ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පාසලේ දහඅට දෙනකු මරා දමන ලදැයි වාර්තා වේ. තවත් හමුදා භට පිරිසක් කුඹුරුවල ගොවිතැන් කරමින් සිටි වැසියනට පහර දීමට පටන් ගත් අතර ප්‍රහාරයෙන් බේරී පලා යන්නන් අල්ලාගෙන විත් වෙඩි තබා මරා දමන ලදී. මාර්ගවල ඇවිද යමින් සිටි පුද්ගලයන්ට ද මෙලෙස පහර දෙන ලදී. මරා දමන ලදී.

පැය හයක පමණ කාලයක් පුරා මෙම ප්‍රහාරය අඛණ්ඩව සිදුකර තිබේ. මරා දමන ලද සංඛ්‍යාව 52 ක් බවට වාර්තා වී ඇත. පස්වරු 2.00 ට පමණ හමුදා රථවලට මළසිරුරු පටවන ලෙස හමුදාව ජනතාවට නියෝග කළ අතර ඔවුන් මළසිරුරු තම වාහනවල දමාගෙන තල්ලඩි කඳවුරට රැගෙන ගියහ.

පොන්නර් පොන්නප්පන් (30), සාන්තන් තොම්බයිමියේස් (28), සවාරියන් අල්පොන්ස්පරුල (25), මඩයප්පන් පාණ්ඩියප්පන් (24), මුත්තන්නතේවර් නඩරාසා (39), මුරුකේසු තම්බපිල්ලේ (55), රාසු සෙල්වරාසා (30), කන්නිකවුන්ඩර් සුන්දරලින්ගම් (23), කරුප්පයියා ජෙයරත්නම් (25), පිරන්සි කයිත්තන් (27), පිරන්සි සාමිනාදන් (37), තිරුමාල් රාමචන්දරන් (26), මානවල් වික්ටර් (45), ඇලෙක්සැන්ඩර් පර්නන්දු (72), අරුණාසලම් සුන්දරමූර්ති (45), සෙබමලෙයි පර්නන්දු (21), සෙල්ලයියා රාමසාමි (35), වෙල්ලයිච්චමි මුත්තුරාසා (20), සෙල්ලයියා රාමසාමි (30), වෙන්කඩසාලම් තේවරාජ් (34), වෙල්ලයිච්චමි මුත්තුරාසා (35), ගණප්‍රකාසම් සෙබ්මලෙයි (22), සන්තියකු ඇන්තනි (40), සුප්පන් පලනි (42), සුබ්‍රමනියම් සන්මුගනාදන් (33), සින්නයා සේරුවරාජන් (33), ශ්‍රීකෝරි රද්නතුරෙයි (32), රාමන් තන්ගරාසා (56), රාමසාමි අත්පුතරසා (19), රාමසාමි සෙල්වරාසා (22), රාමන් තන්ගරාසා (35), රාමච්චන්දිරන් තෙවෙන්දුරන් (18), රාමසාමි සෙල්වරාසා (27), පිරන්සි සාමිනාදන් (36), මුත්තුසාමි සත්තියසීලන් (42) යන අය, ශ්‍රී ලංකා හමුදාව විසින් අමානුෂික ලෙස පහර දීමෙන් ද වෙඩි තැබීමෙන් ද කපාකොටා දැමීමෙන් ද ඝාතනය කරන ලද නිරායුධ ගම්වැසියන් පනස් දෙදෙනාගෙන් කිහිප දෙනෙකු වන අතර, මෙම ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලැබූහ. ඝාතනයට ලක්වූවන් අතර කාන්තාවන්, වැඩිහිටියන් සහ දරුවන් ද විය.

පහත දැක්වෙන්නේ මෙම සිදුවීමෙන් දිවි ගලවාගත් මයිල්වාහනම් ‌මෝහන්ගේ මතකයන් ය.

“තල්ලඩි හමුදා කඳවුරේ සිට ආපු ශ්‍රී ලංකා හමුදාව පලාපෙරුමාන් කට්ටු, වඩ්ඩක්න්ඩල් සහ පරපන්කන්ඩඩල් කියන ගම්මාන තුන වැටලුවා. අපිට පාන්දර වාහනේක ශබ්දයක් ඇහුණා. ඒ අය කොහේට එයි ද මොනවා කරයිද කියලා අපිට අදහසක් තිබුණේ නැහැ. පාන්දර 5 ට විතර අපට හැම පැත්තකින්ම වෙඩි ශබ්ද ඇහුණා. මිනිස්සු අවදි වෙලා එහෙමෙහෙ දුවන්න පටන් ගත්තා. වෙඩි තබමින් සිටි හෙලිකොප්ටරයකුත් අහසේ තිබුණා.

ඔවුන් අපේ කිසිවකුගේ වයස ගැන සලකා බැලුවෙ නෑ. තරුණ හෝ මහලු හෝ කාට වුණත් පහර දීලා මැරුවා. කුඹුරෙ හිටිය මිනිසුන්ව අල්ලගෙන අනිත් අයට පෙන්නමින් වෙඩි තිබ්බෙ. මෙහෙම දෙයක් අපි දැක්ක පළමු වතාව මේක. කුඹුරුවැඩ කරමින් සිටි මිනිස්සුන්ට කුඹුරුවලදිම වෙඩි තියලා මැරුවා. පාසලේ ළමයි ඉගෙන ගනිමින් ඉද්දි හමුදාවෙන් විදුහල්පතිව සහ සියලුම ගුරුවරුන්ව පාසලෙන් එළියට ඇදගෙන ඇවිත් ගම්මුන් ඉදිරියේ වධ දීලා වෙඩි තිබ්බා. පාසලේ සිද්දියෙදි දහ අට දෙනෙකුට වෙඩි තිබ්බා. මයිල්වාගනම් ගනේෂ්ගේ ඥාති සොහොයුරාට වෙඩි තියලා, ඔහුගේ ලේ බොන්න කියලා ගනේෂ්ට හමුදාවෙන් අණ කරමින් ඔහුට දරුණු ලෙස පහර දුන්නා.

මේ සියල්ල කළාට පස්සෙ හමුදාව ගම්වැසියකුගේ ලොරියක් අරන් ආවා. අපි තුන් දෙනෙක්ව හමුදාවෙන් අල්ලගෙන හිටියත් ඒ වෙනකොට අපිට වෙඩි තියලා තිබ්බේ නැහැ. හමුදාව අපි තුන්දෙනා ලවා මළසිරුරු ලොරියට පටවගත්තා. ටික වේලාවකින් ඔවුන් අපට කීවේ අපි ඔවුන්ට උදව් කළ නිසා ඔවුන් අපේ ජීවිතය බේරනවා කියලා. අපි එවෙලෙම එතනින් පැනලා දුවලා ගියා. මළ සිරුරුවලින් සමහරක් තල්ලඩි යුද හමුදා කඳවුරට අරන් ගිහින් මන්නාරම රෝහලට ගෙනිච්චා. සිද්ධිය ගැන කරපු පරීක්ෂණවලට ග‍්‍රාම සේවක මහත්තයා ගම්වාසීන්ට උදව් කළා.

මේ ගමට එහා පැත්තේ මුස්ලිම් ගමක් තිබුණා. නමුත් ඔවුන්ට හමුදාවෙන් කිසිම දෙයක් කළේ නැහැ. දින තුනකට පස්සෙ හැම ගෙදරකම අවමංගල කටයුතු සිද්ද කළා. හමුදාව ආපහු ඇවිත් වනාන්තරය වට කළා. ඒ කාලේ අපි එල්.ටී.ටී.ඊ සංවිධානය එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඔවුන් එහි ඉන්න ඇති. නමුත් ඔවුන් ඉන්නෙ කොහෙද කියලා අපි දැනගෙන හිටියෙ නෑ. ඊටපස්සෙ ශ්‍රී ලංකා හමුදාව නොකඩවා දිගින් දිගට ආයෙ ආයෙ ගමට අවා. ගම්මුන්ට වධහිංසා කළා. අපිට නිතර බයෙන් ජීවත් වෙන්න සිද්ද වුණා."

මෙම සමූහ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පරීක්‍ෂණයක් සිදු නොකළ අතර එම ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවේ කිසිදු සාමාජිකයකු මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.


- තක්ෂිලා ස්වර්ණමාලි

මූලාශ්‍ර -

 telibrary, New Mannar, Tamil Guardian වෙබ් අඩවි සහ Massacres of Tamils 1956 - 2008 (NESOHR)

https://www.tamilguardian.com/content/vaddakkandal-massacre-remembered-32nd-anniversary

https://telibrary.com/vaddakandal-massacre-30-01-1985/

http://www.newmannar.lk/2017/01/32_30.html

Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව